Q & A

කුමර කන්‍යාවි සමඟ සිනමාවට

ධනංජය සිරිවර්ධනට,

ඔබේ රංගනයන් විශිෂ්ට බව කීවොත් එය අතිශයෝක්තියක් නොවේවි. රංගිර හී රඟපෑම ඒ අතරින් සුවිශේෂයි. රංගිර චරිතය ගැන යමක් පවසන්න. එමෙන්ම සිනමාවට දායක නොවන්නේ ඇයිද?

ක්ලෝඩ් ද ලිවේරා - නාලිනී ලිවේරා

මීගමුව, කටුවාපිටිය වතුයාය.

රංගිර හි මා රඟන චරිතයේ උඩුපෙළ සරල වුවත් ගැඹුරින් බලන කළ ඉතාමත් සංකීර්ණ චරිතයක්. ඒ පිළිබඳ වටහා ගැනීමට තරම් රස වින්දනාත්මක ඥානයක් තිබීම ගැන මා ඉතා සතුටු වෙනවා. ඇත්තටම එය සාර්ථකව රූපණය කිරීමට රංගිර පිරිවරෙන් ලැබෙන සහාය ගැන කියන්නම ඕනෑ. ඔවුන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය නිසාම මේ නිර්මාණය ඉතාම සාර්ථක වුණා. ගුණදොස් පැවැසීම ඔබ වැනි රසිකයන්ගේ වැඩක්.

1980 ගණන්වල පැවැති භීෂණ සමයේ කලාකරුවකු වටා ගෙතුණු කතාවක් ඇතුළත් ‘කුමරි කන්‍යාවි’ මගේ ප්‍රථම සිනමා අත්දැකීම මේ දිනවල රූගත කෙරෙනවා. හොඳ සිනමා නිර්මාණයක් ලැබුනු විට දායක වීම තමයි මගේ සිනමාව.


අලුත් අය අතර දක්ෂ අයත්

වසන්ත කුමාරසිරිට,

ඔබ හොඳ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්. නවක නළු නිළියන් ගැන ඔබට හැෙඟන දැනෙන දේ අපට කියනවද? ඔබේ අලුත් නිර්මාණ මොනවාද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා -මීටියාගොඩ, මරදානවත්ත.

තිලකසිරි,

නව පරපුරේ දක්ෂ ශිල්පීන් සිටිනවා සේම අදක්ෂ අයත් සිටිනවා. ඒ අයගේ පැවැත්ම රඳා පවතනින්නේ ඒ පිරිසගෙ කල්ක්‍රියාව මතයි. ඒ වගේම අපේ ක්ෂේත්‍රයේ පැවැත්මට නව පරපුරක් තිබිය යුතුයි. ජ්‍යෙෂ්ඨයන්ගේ යුතුකම වන්නේ නව පරපුරට නිවැරැදි මඟ කියාදීම. නව පරපුරේ අතලොස්සක් වැරැදි කළාට හැමෝම එහෙම නැහැ.

මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම රංගනයෙන් එකතුවන ගමන් අලුත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනයට දායක වෙලා තියෙනවා.


භාර්යාවෝ සමඟ සතුටක්

සබීතා පෙරේරාට,

ඔබ රඟපෑ ‘නදියා, සමීන් ඕර් ආස්මාන්, සබ්කේ බාප්, මජබු, ආග් හී ආග්, රූබී යන පකිස්ථාන් චිත්‍රපටවල පිටපත් වෙළෙඳපොලේ තිබෙනවාද? එකල එම චිත්‍රපටවල රඟපෑමේදී ඔබ ලැබූ සුන්දර අත්දැකීම් මොනවාද? භාර්යාවෝ ටෙලි රංගනය ගැන යමක් කියන්න.

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ

එම චිත්‍රපවල පිටපත් තියනවාද කියා මා නම් හරියටම දන්නේ නැහැ. එම චිත්‍රපටවල රඟපාන සමයේදී ලද සෑම අත්දැකීමක්ම මට නම සුන්දරයි. භාර්යාවෝ ටෙලි නාට්‍ය තුළින් නවක පිරිසක් සමඟ ටෙලි නාට්‍ය රංගනයට ලැබීම ගැන මා ඉතා සතුටු වෙනවා. ඒ ගැන විමසූ ඔබට බොහෝම ස්තුතියි.


පෙනිලා කැපෙනවාට වඩා

ගංගු රොෂානාට,

ඔබ හැම විටම පුංචි තිරයේ නොපෙනී සිටින්නේ ආඩම්බරකම නිසාද? ඔබට නිර්මාණයන්ට කවුරුත් කතා කරන්නේ නැතිද?

ආනන්ද වික්‍රමාරච්චි

ඉහළ තල්දූව.

පෙනිලා කැපෙනවාට වඩා කලාතුරකින් ලැබෙන හොඳ චරිතයක් කිරීම තුළින් මා ලබන සතුට හොඳටම ඇති. ඒ වගේම මට ලැබෙන නිර්මාණ නම් බොහෝමයක් තිබෙනවා. මට ගැළපෙන චරිත තෝරා බේරා ගෙන කාටවත් කරදරයක් නොවන විදියට මගේ වෘත්තිය කිරීම තමයි මගේ අරමුණ. ළඟදී Qඅමුතු මිනිස්සු’ ටෙලි නාට්‍ය තුළින් ඔබට මගේ රඟපෑම් දැකගත හැකියි. එමෙන්ම මේ දිනවල ආනන්ද එස්. විජේසිරිගේ ‘නෙත් අඳ බිසවු’ වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල යෙදෙනවා.


බීච් බෝයි කෙනෙක් වෙලා

බුද්ධික රඹුක්වැල්ලට,

ඔබ විදෙස් සිනමා නිර්මාණයකට දායක වූ බව දැනගන්නට ලැබුණා. ඒ ගැන විස්තරයක් කියනවාද?

ගිල්බට් පෙරේරා

හෝකන්දර දකුණ

ඇත්තටම, ඔස්කාර් සම්මානලාභී කැමරා ශිල්පී ‘වෙන්තෝ ගුවාන්’‘ නැමැති චීන ජාතික නිර්මාණකරුවා බෙල්ජියම් ෆිල්ම් ඇකඩමිය වෙනුවෙන් නිර්මාණය කළ ‘ගුඩ් නයිට් කළම්බෝ’ චිත්‍රපටයේ මා රඟපෑවේ බීච් බෝයිගේ චරිතයක්. ඒ චිත්‍රපටය ලැබීම නිසා මා ජාත්‍යන්තර චිත්‍රපට නිර්මාණය ගැන අවබෝධයක් ලැබුවා.

ඇත්තටම මේ රංගනය ගැන මා ඉතා සෑහීමකට පත් වෙනවා.


අලුත් තනතුර ගැන

රෝමා රෝෂිට,

ඔබට ළඟදී ලැබුණු තනතුර ගැන යමක් කියනවාද?

තිසූලි තිලක්ෂණා -අලව්ව.

ඇත්තටම, මට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලක්සළු සල ආයතනයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස පත්වීමක් ලැබුණා. ඒ ගැන මා බෙහෙවින් සතුටු වෙනවා. ඒ වගේම කලා කටයුතුවලත් මා රැඳී සිටිනවා.


ලැබුණොත් ගයනවා

චලක චමුපතිට,

ඔබේ පියා ජනප්‍රිය ගායන ශිල්පී මිල්ටන් පෙරේරා. ඔබේ හඬ ඔහුගේ හඬට ඉතාම සමානයි. ඔබ චිත්‍රපටවලට ගීත ගයා තිබේද?

මිල්ටන් ප්‍රනාන්දු

උතුරු මූදුකටුව

මගේ පියා මෙන් මට චිත්‍රපට සඳහා ගීත ගායනා කිරීමට තවම නම් ආරාධනා ලැබී නැහැ. ඉදිරියේදී ආරාධනා ලැබෙයිද දන්නේ නැහැ. එසේ ලැබුණොත් මා ගීත ගායනා කරනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව