සමහරු මං ඇත්තටම ත්‍රස්තවාදියෙක් කියලා හිතනවා

ද ර් ශ න් ධ ර් ම රා ජ්

ගිනි අවිය අතට ගත් පසු යෝගා නපුරුය, රෞද්‍රය. එහෙත් ආදරය ඉදිරියේ සංවේදීය. තම සංවිධානය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරන යෝගාගේ සිත සොරාගත් තරුණිය පාර්වතීය. යෝගා සහ පාර්වතී කෙටි කලකින්ම සුපෙම්වතුන් බවට පත් වෙයි. එහෙත් යුද භූමියේ ආදරය තහනම් මාතෘකාවකි. එහෙයින් ඔවුන් දෙපළ ආදරය සහ මනුස්සකම ඉදිරියේ අතරමං වෙයි.

කවුද මේ යෝගා . . . යෝගා ජීවත් වන්නේ මාතා සිනමා පටයේය. යෝගාගේ ඇත්ත නම දර්ශන් ධර්මරාජ්.

මචං, ප්‍රභාකරන්, ඉර හඳ යට, ගාමනි, සිංහාවලෝකනය වැනි සිනමා සිත්තම් රංගනයෙන් හැඩ කළ දර්ශන් පුංචි තිරයට ද නුහුරු අයකු නොවෙයි. සුධීර, ටිකිරි සහ උංගි, සඳ යළිත් ඇවිදින්, සිහින වසන්තයක්, සුදු කපුරු පෙති ඔහු රඟපෑ ටෙලි සිතුවම් කිහිපයකි.

දර්ශන් පිළිබඳ මේ දිනවල වැඩිපුුරම කතාබහ කෙරෙන්නේ මාතා නිසාය.

* දර්ශන් ‘මාතා’ චිත්‍රපටයෙන්ම කතාව පටන් ගත්තොත් හොඳයි?

යෝගාට ලැබෙන ප්‍රතිචාර යහපත් වගේම අයහපත්. මම එහෙම කියන්නේ සමහරක් අය මූණටම බැන්න හින්දා.

* රඟපානවා හරි නැහැ කියලද?

නෑ, නෑ මං තිරයේදී පෙන්වන නපුරුකමට. මං නෙවෙයි, යෝගා තමයි නපුරු.

* දර්ශන් ඇත්තටම නපුරු පාටයි?

පිස්සුද, ගොඩක් අය මගේ බාහිර පෙනුමටයි රැවටෙන්නේ. වෙලාවකට මං රඟපාපු චිත්‍රපට, නාට්‍ය දකිද්දී මම පුදුම වෙනවා. ඒ මගේම නපුරුකම දැකලා. ඒත් සැබෑ ජීවිතයේදී මං හරිම සංවේදී චරිතයක්. පුංචි දේකට වුණත් ඇස් දෙකේ කඳුළු පිරෙනවා. අනික මට වැඩිපුරම ලැබුණේ අතිශය භයංකර ගතිගුණ ඇති චරිත.

* මං එතැනට තමයි මේ එන්න හැදුවේ. දර්ශන්ගේ රංගනය එකම රාමුවකට කොටු වෙලා වගෙයි?

මෙතෙක් මං රඟපෑ නිර්මාණයන්ගෙන් සියයට අනූවක පමණ මට ලැබුණේ ත්‍රස්තවාදියාව නිරූපණය කරන්න. ඒත් මචං සහ සිංහාවලෝකනය වැනි චිත්‍රපටවල වෙනස්ම චරිත රඟපෑවා. මං හිතන්නේ ‘මාතා’ හි යෝගාත් සාම්ප්‍රදායික රාමුවේ නැහැ.

* ඒ කිව්වේ?

යෝගාගේ දරුණුකම එන්නේ ආයුධත් එක්කයි. ඔහු ඇත්ත දිවියේදී එහෙම නැහැ.

* තිරයේදී ත්‍රස්තවාදියකු වීම නිසා ඔබට මඟ තොටේදී සෑහෙන්න අකරතැබ්බ වෙලා තියනවා කියලා මං අසා තිබෙනවා.

ඒක නම් එහෙම තමයි. දවසක් මං කොහේ හරි යන්න බස් එකකට නැඟලා අසල අසුනකින් වාඩි වුණා. මට දැන් කතා බහෙන් තේරෙනවා පිටි පස්සේ අසුනේ ඉන්න දෙන්නා හොඳටම බය වෙලා මං ඇත්තටම ත්‍රස්තවාදියෙක් කියලා. ඒ දෙන්නා බැස්සෙත් මං බැහපු තැනින්මයි. ඉතින් මං සුහදව කතා කරලා මං නළුවෙක් පමණයි යන්න පහදලා දිීලා ඔවුන්ගේ බිය දුරු කළා. තවත් වරෙක කොළඹ හෙට්ටිවීදියේ ගමනක් යමින් ඉන්න කොට නාඳුනන පිරිසක් ඇවිත් මට හොඳටම ගැහැව්වා. අනේ මන්දා මට අදටත් හිතන්නට බැහැ ඊට හේතුව.

* දර්ශන් රංගනයට පිවිසුණේ කොහොමද?

මගේ ගම රක්වානේ. රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. ඒ කාලයේ ඉඳලම රඟපාන්න ආසයි. ඒත් ගමෙන් පිටත තිබුණු ලෝකය ගැන පුළුල් අවබෝධයක් මෙන්ම රංගනයට ඉඩකඩක් මට ලැබුණේ නැති තරම්. ඔහොම ඉද්දී මට ආරංචියක් ආවා සිඩ්නි චන්ද්‍රසේකර මහතාගේ අලුත්ම නාට්‍යයට දමිළ චරිතයක් කරන්න නවකයකු හොයනවා කියලා. මම ඊට ඇප්ලයි කළා. ඉන්ටර්වීව් එකේදී 108 දෙනෙකුගෙන් පළමුවෙනියා වුණේ මං.

* පළමු රංගන අත්දැකීම?

සිඩ්නි මහත්තයා මාව නාට්‍යයකට ගත්ත බවට විතරයි මං දන්නේ. දර්ශන තලයට ගොස් පිටපත දීලා දෙබස් ටික බලා ගන්න දුන්නමයි මට වැටහුණේ මං රඟන්නේ කමල් අද්දරආරච්චිගේ පුතා හැටියට කියලා. මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා. මොකද කමල් සර් කියන්නේ මගේ ජීවිතයේ හිටපු වීරයෙක්. ඔහු සමඟ කළ පළමු රංගනය තවම මට අදහා ගන්න බැහැ. මුලදි මුලදි සිංහල දෙබස් දෙමළ බසින් ලියාගෙන කිව්වේ. ඇත්තටම සිඩ්නි මහත්තයා තමයි මගේ ගුරුවරයා. ඊට පස්සේ අශෝක හඳගමගේ මේ පාරෙන් එන්න නාට්‍යයට සම්බන්ධ වුණා. මං ඇක්ටිං ඉගෙන ගත්තේ ඒ නිර්මාණයෙන්.

* ඔබ උපතින්ම දෙමළ ජාතිකයෙක්. මොන වගේ පිළිගැනීමක්ද ක්ෂේත්‍රයෙන් ඔබට ලැබුණේ?

කියන්න සන්තෝෂයි, සිංහල නළු නිළියන්ගෙන් වගේම නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු මට ගොඩක් උදව් කළා. රඟපාන්න ඕන විදිහ පවා කියලා දුන්නා. ඒක නම් පුදුම සහයෝගයක්. මෑතකදී වඩාත් ප්‍රබලව සිදු නොවුණත් මුල්කාලීන චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වෙලා හිටපු බොහෝ දෙනෙක් දෙමළ අය. ඒ අයගේ සහයෝගීත්වයෙන් බිහි වූ සිංහල චිත්‍රපට සදා අමරණීයයි. දෙමළ නළුවෝ ලංකාවෙ අඩු හින්දමද දන්නේ නැහැ කට්ටිය මට බොහොම ආදරෙයි.

* දර්ශන් රංගනයට අමතරව අධ්‍යක්ෂණයට ද පිවිස ඇති බවට දැනගන්නට ලැබුණා?

ඔව්. මං ෂෝට් ෆිල්ම් දෙකක් කළා. ඒවා ජේඩ් ග්‍රීන් ආයතනයේ නිෂ්පාදනයක්. මා ඇතුළු කිහිප දෙනෙකුයි එම ආයතනය පවත්වා ගෙන යන්නේ. අප මොඩ්ල් බැංකුවක් හදන්නත්, අලුත් ටැමිල් නළු නිළියෝ යොදලා නිර්මාණ කිහිපයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. දෙමළ අයට විතරක් නෙවෙයි, ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තු වන සිංහල අයටත් ජේඩ් ග්‍රීන් විවෘතයි.

* තවමත් රක්වානේම නේද පදිංචිය?

ඔව්. කොළඹ ආවාම යාළුවකුගේ නිවසක ඉන්නවා. හැමදාම කොළඹ ඉන්න බැහැ.

* මොකද අප්පේ ඒ?

මගේ රංගන දිවියට තල්ලුවක් දුන්නේ කවුරුද යන වග ඇසුවොත් පළමුව රක්වාන මගේ ගමේ සිංහල අය කියයි කියන්නේ. දෙවනුව ඉතිරි නම් ටික කියනවා. ගමේ අය මගෙත් එක්ක නිබඳව හිටියා. ඒ අය මට විශේෂ උත්සවයක් තියලා සංවිධානය කොට සම්මානයක් පවා ලබා දුන්නා. එය මට ඔස්කාර් සම්මානයටත් වඩා වටිනවා.

* අවසන් වශයෙන් ඔබේ අලුත් නිර්මාණ පිළිබඳ පැවසුවොත්?

චිත්‍රපට කිහිපයකට කතා කරලා තියනවා. සමහර ඒවා ප්‍රතික්ෂේප කළා. හේතුව යමක් කරන්න පුළුවන් චරිත මිසක් මල් ගස් වටේ දුවන චරිත රඟපාන්න මට නොහැකි නිසා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව