ෆිල්ම් ෆෙයාර් ඉතිහාසයේ පළමුවරට හොඳම අධ්‍යක්ෂණය කාන්තාවකට...

කොතෙක් සම්මාන උළෙලවල් තිබුණ ද හොලිවුඩයේ ඇකඩමි සම්මාන උළෙලට සමාන කළ හැකි බොලිවුඩයේ සම්මාන උළෙල, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලයි. මෙවර ෆිල්ම් සිටි හි රිලයන්ස් මීඩියාවර්ක්ස් චිත්‍රාගාරයේදී ජනවාරි 29 වැනිදා පැවැත් වුණේ පනස්හත් වැනි ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලයි.

ෂාරුක් ඛාන් සහ රන්බීර් කපූර්ගේ නිවේදනයෙන් රස ගැන්වුණු මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උත්සවය ඉතිහාසයේ වෙනසක් කළ සම්මාන උළෙලකි. ඒ පළමුවරට සෝයා අක්තාර් හොඳම අධ්‍යක්ෂණයට සම්මාන හිමි කර ගැනීම නිසයි.

‘සින්දගී නා මිලේගි දොබරා’ සිනමාපටය අධ්‍යක්ෂණය කළ ඇය, අධ්‍යක්ෂණය සඳහා සම්මාන දිනා ගත්තේ, අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ පළමු කාන්තාව වෙමිනි.

එමෙන්ම ‘සින්දගී නා මිලේගි දොබරා’ සිනමාපටය වැඩිම සම්මාන ගණනකට හිමිකම් කී සිනමාපටයයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම දෙබස්, හොඳම චිත්‍රපටය (විචාරක), හොඳම නැටුම් අධ්‍යක්ෂණය, හොඳම සිනමාකරණය, හොඳම සහාය නළුවා යන සම්මාන හතම ලැබුණේ එම සිනමාපටයටයි.

හොඳම නළුවා වූයේ ‘රොක්ස්ටාර්’ කතානායකයා වූ රන්බීර් කපූර්ය. ‘ද ඩර්ටි පික්චර්’ රංගනයට විද්‍යා බාලන් හොඳම නිළිය වූවාය.

හොඳම නවක නිළිය වූයේ ප්‍රියංකා චොප්රාගේ ඥාති සොයුරියක වූ පරිනීති චොප්රායි. ඒ ‘ලේඩීස් වර්සස් රිකී බාහි’ කුලුඳුල් රංගනයටයි. හොඳම නවක නළුවා ‘ෆෝස්’හි රැගූ විද්‍යාත් ජම්වාල්ය.

හොඳම නළු නිළියන් ලෙස විචාරක සම්මානයන්ට පාත්‍ර වූයේ ‘රොක්ස්ටාර්’ හි රන්බීර් සහ ‘7 කූන් මාල්’ හි ප්‍රියංකා චොප්රායි. ‘ඩිල්ලි බෙලි’ අධ්‍යක්ෂණය කළ අබිනේ ඩියෝ හොඳම නවක අධ්‍යක්ෂවරයා වූයේය. ආර්. ඩී. බර්මන් සම්මානයේ හිමිකරු වූයේ ‘තනූ වෙඩ්ස් මනූ’ හි ක්‍රිස්නායි.

මීට අමතරව,

* හොඳම සංගීත අධ්‍යක්ෂණය – ඒ. ආර්. රහ්මන් (රොක්ස්ටාර්)

* හොඳම පද රචනය – ඉර්ෂාඩ් තමිල් (නාදන් පාරින්දේ)

* යාවජීව සම්මානය – අරුණා අයිරානි

* හොඳම සහය නිළිය – රාණි මුඛර්ජි (නෝ වන් කිල්ඩ් ජෙසිකා)

* හොඳම සහය නළුවා - ෆාරන් අක්තාර් (සින්දගී නා මිලේගි දොබරා)

* හොඳම කතාව - සංජේ චෞහාන් (අයෑම් කලාම්)

* හොඳම තිර රචනය – අක්ෂත් වර්මා (ඩිල්ලි බෙලි)

* හොඳම දෙබස් - ෆාරන් අක්තාර් (සින්දගී නා මිලේගි දොබරා)

* හොඳම ගායිකාව - ඌෂා උතුප් සහ රේඛා භාරද්වාජ් (7 කූන් මාෆ් හි ‘ඩාලිං’ ගීයට)

* හොඳම ගායකයා – මෝහිත් චෞහාන් (රොක්ස්ටාර්හි ජෝ භි මේන්’ ගීය)

ඔවුහු එසේ ජනවාරි 29 වැනිදා සම්මානයක සතුට විඳ ගත්හ.

හතළිස් දෙවසරක ගායන දිවියේදී ෆිල්ම් ෆෙයාර් සම්මානයකට ඌෂා උතුප් හිමිකම් කීවේ පළමු වතාවටය.

සම්මාන උළෙල ඇරැඹුණේ ෂාරුක් හා රන්බීර් ඇරැඹූ ඛාන් - කපූර් යුද්ධයෙනි. ඛාන්ලාගේ සහ කපූර්ලාගේ බොලිවුඩයේ පුරවරුණ, ඛාන්, කපූර් දෙදෙනා කියන්නට පටන් ගත්හ.

රේඛා උළෙලේ ආකර්ෂණය දිනා ගත්තේ ඇඳුම් පැළඳුම්වලින් පමණක් නොවෙයි. ඇය උළෙලේදී අභිෂේක් බච්චන් සමඟ නර්ථනයක යෙදෙන්නට අවශ්‍ය බව කියා සිටියාය. එහෙත් ඒ වනවිට අභිෂේක් පිටව ගොස් සිටියේය. ‘ඕ සිංහයා ගොඩනැඟිල්ල හැරදා ගිහින්’ එවිට ඇය පැවසුවාය.

කරීනා, කරිෂ්මා මෙන්ම රන්බීර් ද කාන්තා ඇඳුමකින් සැරසී ඡායාරූපයකට පෙනී සිටීම ද කාගේත් අවධානය දිනා ගත්තක් විය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව