ඔස්කාර් සම්මාන 6කට නිර්දේශ වුණු ස්පීල්බර්ග් ගේ යුද අශ්වයා

ස්ටීවන් ස්පීල්බර්ග් ගැන නොදන්න චිත්‍රපට රසිකයෙක් සොයා ගැනීමට බැරි තරම්. ඔහු ලොව සිටින වඩාත්ම ජනප්‍රියම සහ අසීමිත බොක්ස් ඔෆීස් සාර්ථකත්වයක් ඇති විශිෂ්ට සිනමාකරුවෙක්. මේ දෙසැම්බර් මස ඔහුගේ චිත්‍රපට දෙකක් එකවර නිකුත් වුණා. එයින් එකක් තමයි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ටින් ටින්. මා අද පාඨක ඔබට ඉදිරිපත් කරන්නේ ඔහුගේ අනෙක් චිත්‍රපටය වූ වෝර් හෝස්ය.

පළමුවන ලෝක යුද්ධ සමයේ ගම්බද එංගලන්තයේ සහ යුරෝපයේ සුන්දරත්වය පසුබිම් කරගත් තිරිසන් සත්ත්වයකු (අශ්වයකු) ගැන වූ මේ හද සසල කරවන චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපට අතලොස්සට වැටෙනවා. 1982 මයිකල් මොරපර්ගෝ විසින් රචනා කළ ළමා නවතකාවක් ඇසුරෙන් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබුණා.

වෝර් හෝස් ආරම්භ වන්නේ ජෝයි නමැති අශ්වයකු සහ ඇල්බට් නම් යොවුන් තරුණයෙකුගේ මිත්‍රත්වය සමඟයි. ඇල්බට් ඔහුව හීලෑ කර පුහුණු කරන්න සමත් වෙනවා. නමුත් 1 වන ලෝක යුද්ධයත් සමඟ ඔවුන් දෙදෙනාට වෙන් වෙන්නට සිදු වෙනවා. ජෝයි නම් අශ්වයා යුද්ධය මැදින් අසාමාන්‍ය සංචාරයක යෙදෙන්නේ ඔහු මුණ ගැසෙන බ්‍රිතාන්‍ය හමුදාව, ජර්මානු සොල්දාදුවන් සහ ප්‍රංශ ගොවියකුගේ මිණිබිරිය වැනි බොහෝ දෙනකුගේ ජීවිත වෙනස් කරමින්.

අධ්‍යක්ෂවරයාගේ භාවාත්මක මුද්‍රාව චිත්‍රපටයේ ප්‍රථම දර්ශනයේ සිටම ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ ඔහු මෙම කතාවේ තිරිසන් මිනිසත් සම්බන්ධය සහ කතාවේ මනෝභාවය මුල සිටම ඉදිරිපත් කළ ආකාරය ඇසට කඳුළක් නගමිනුයි. දර්ශන තල වු ගම්බද එංගලන්තය බොහෝ කලක සිට ස්පීල්බර්ග් සමඟ නිර්මාණකරණයේ යෙදුණු කැමරා ශිල්පී යානුස් කමින්ස්කි තම කාචයට හසුකර ගෙන ඇත්තේ යුද්ධය මධ්‍යයේ වුවත් එහි සුන්දරත්වය නොනැසී පවතින අයුරිනුයි.

තිර රචකයන් වූ ලී හෝල් (බිලී එලියට්) සහ රිචඩ් කර්ට්ස් (ලව් ඇක්චුවලි සහ බ්‍රිජට් ජෝන්ස් ඩයරි චිත්‍රපට) ප්‍රේක්ෂක අපට ඉතාමත් සුපිරිසිදු ආදර කතාවක් තිළිණ කරනවා. ව්‍යුහමය වශයෙන් එය නාට්‍යයක හා ආදර කොමඩියක නාටකීය කොටස් (ඇක්ට්) 3 මූලධර්මයන්ට බැඳීී තිබෙනවා. කතා නායකයන් දෙදෙනා හමු වෙනවා. ඔවුන් වෙන් වෙනවා, ඔවුන් නැවත එක්වීමට මහත් වූ සටනක යෙදෙනවා. ගතිගුණය, තානය, ධිවනිය, නාදය, මාත්‍රය ගත් කළ වෝර් හෝස් සංගීීත සංධවනියක් වැනියි. එයට සුදුසු පසුබිම් සංගීතය තවත් ස්පීල්බර්ග් ගේ දීර්ඝකාලීන නිර්මාණ සගයකු වූ ජෝ විලියම්ස් විසින් ඉතා මැනවින් සම්පාදනය කර ඇත්තේ අපට මෙවැනිම පිරිපුන් චිත්‍රපට වූ නැෂනල් වෙල්වට්, ද බ්ලැක් ස්ටැලියන්, ද හෝස් විස්පරර්, සීබිස්කට් සිහියට නගමිනි.

යුද්ධය සහ එහි බලපෑම් ගැන වෝර් හෝස් තරම් පරිණත යෞවනයන්ට කියා දුන් චිත්‍රපටයක් මෑතකදී මා දුටුවේ නැහැ. පළමුවන ලෝක යුද්ධය අශ්වයකුගේ ඇසින් ඉදිරිපත් කරන්නට ස්පීල්බර්ග් සමත් වී තිබෙනවා. ශ්‍රේෂ්ඨ සිනමාකරුවන් වූ ජෝන් ෆෝඩ් සහ ඩේවිඩ් ලීන් ගේ චිත්‍රපටවල දුටු මනස්කාන්ත දර්ශන බොහොමයක් සහ ශ්‍රේෂ්ඨ ප්‍රංශ සිනමාකරු රොබට් බ්‍රෙසන් ගේ බල්තසාර් (බූරුවකුගේ ඇසින් ලෝකය දුටු හැටි) හි සංගත වුණු අනුවේදනීයභාවය කැටි කර ගත් මේ චිත්‍රපටය ඔවුන්ට කළ භක්තිමත් ප්‍රණාමයක් යැයි කිව්වොත් නිවැරැදිය.

මෙහි ජෝයි ගේ චරිතය සඳහා අශ්වයන් 14 දෙනකු යොදා ගත්තා. එයින් ප්‍රධාන අශ්වයෙකු වූ ෆයින්ඩර් නම් අශ්වයා සීබිස්කට් චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය රඟපෑවා.

ඊට අතරව ස්පීල්බර්ග් විසින් ඩිජිටල් තාක්ෂණයෙන් සංස්කරණය කළ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය මෙයයි. ඔහු සාම්ප්‍රදායික ලෙස සංස්කරණ මේසයක් මත තබාගෙන චිත්‍රපට කැපීම දිගටම පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රසිද්ධියට පත් වී තිබුණා.

වෝර් හෝස් හි විශාල සුන්දරත්වයත් විශාල බලයක් මේ කොලුවා හා අශ්වයා යන දෙදෙනාටම පොදු භාවාත්මක සංචාරයේ ගැබ් වෙනවා. ස්පීල්බර්ග් විශ්වාස කරන්නේ ප්‍රේක්ෂක අප විසින් මෙම චිත්‍රපටය පෙන්නුම් කරන මානව හා ස්වභාව ධර්මතා උකහා ගැනීමට සමත් වේ යැයි කියාය. ලබන අවුරුද්දේ ඔස්කාර් සම්මාන තරගයට ඉදිරියෙන් සිටින නිර්මාණයක් ලෙස වෝර් හෝස් සැළකිය හැකියි. විශිෂ්ට චිත්‍රපටයක අඩංගු වෙන සියලුම ගුණාත්මක අංශවලින් පිරිපුන් වූ මෙම චිත්‍රපටය නැරඹීම උසස් කෘති රස විඳින සිනමා රසිකයන්ට අනිවාර්ය වෙනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව