වෙස් මුහුණේ භාව

භාරතීය රස ශාස්ත්‍රයේ භාව නිරූපණය සඳහා ප්‍රධාන ක්‍රමවේද සතරක් පැහැදිලි කර ඇත. ඒවා අභින නමින් හැඳින්වෙයි.

ආංගික අභිනය
වාචික අභිනය
සාත්වික අභිනය
ආහර්යාභිනය

මේ සිව් විධ අභිනයට අනුව අප වෙස් මුහුණක භාව විශ්ලේෂණය කිරීමට යන්නේ නම් අපට වඩාත් වැදගත් වන්නේ සාත්වික අභින පරිච්ඡේදයයි. සාත්වික අභිනය යනු මුහුණේ ඉරියව් සහ ඉංගිතයන්හි සිදුවන භාවාත්මක උත්තේජනයයි. මුහුණේ ඉංගිත (ජ්චජඪචත ට්ඥඵබභපඥ) භාවාත්මක තලයක මෝදු කර ගන්නා ශාස්ත්‍රයේ ක්‍රමවේද 32 ක් ඇතැයි භරත හඳුන්වයි. ඒවා තවත් සියුම් කරමින් ව්‍යභිචාරී භාව ලෙස ද පැහැදිලි කර ඇත.

වෙස් මුහුණ බිහි වෙන්නට පෙර ගෝත්‍රිකයා මුහුණ වර්ණ ගන්වා ගත්තේ යැයි අපි කලින් පැහැදිලි කළෙමු. මුහුණ වර්ණ ගැන්වීම වනාහි සාත්වික අභිනයට අයත් ක්‍රියාවලියක් නොවේය. මුහුණ වර්ණ ගැන්වීම හෙවත් වේශ නිරූපණය අයත් වන්නේ ආහර්යාභින නමැති අභින වර්ගීකරණයටයි. එනයින් බලන කල මුහුණේ එල්ලා ගන්නා වෙස් මුහුණ ද අයත් වන්නේ වෙස් නිර්මාණ නමැති ආහර්යාභිනයට විය හැකිය. එහෙත් වෙස් මුහුණ නිර්මාණය වන්නේ චරිතයක භාව ලක්ෂණයක් සාත්වීකරණය කිරීමෙන් වන නිසා මෙහිදී සාත්වික අභිනය පරිච්ඡේදය අපට වැදගත් වේ.

ලංකාවේ පහතරට වෙස් මුහුණු අතර වඩාත් ප්‍රාසංගික චරිත ලක්ෂණ ඇත්තේ කෝලම් මුහුණුවලය. රාක්ෂ, ප්‍රේත, යක්ෂ සහ දේව ආදී මුහුණු උත්පත්ති කථා මත පදනම් වූ අධි යථාර්ථවත් ප්‍රකාශනයන්ය. එහෙත් කෝලම් මුහුණුවල ඇත්තේ ස්වභාවිකත්වයයි. රජ බිසෝ කට්ටුවෙන් පටන් ගෙන අවශේෂ පහත් චරිතයක් වූ පරයා දක්වා මේ සෑම චරිතයක්ම මහ පොළොවේ ජීවත් වන ස්වභාව මිනිසුන්ගේම අනුරූපයන්ය. එහෙත් ගැමි කලාකරුවා සතු අනන්‍ය උපහාස දැක්ම හේතු කොට ගෙන මේ ස්වභාව මුහුණු කිසියම් ශෛලිගත සම්ප්‍රදායක් භජනය කොට තිබේ.

අපි ලෙන්චිනා මුහුණ ගෙන බලමු. කෝලම් මඩුවේ ලෙන්චිනා වනාහි ජස විදානේගේ රූබර බිරින්දෑය. ඇය තම විකල වූ සල්ලාල සැමියාගෙන් තෘප්ත නොවී ගම් තුන තුලානේ තරුණයන් හට මල්සර විහිදමින් සිටී. ලෙන්චිනාට ඇති පොතේ කවියේ එය අපූරුවට විස්තර වී තිබේ.

රූප අංගයෙන් සලෙළුවන්
කුල්මත්ව රාගයට පොලඹමිනා
දීප කුලයට වෙනින් කෙනෙක් නැත
ලෙන්චිනා සමාන විලසිනා
සෝකයෙන් තම හිමි නොදැක ඈ
බොහෝ කුල්මත් වූ ගතියෙනා
සාපයෙන් කොමළ වූ ලෙන්චිනා
සබ තුලට එන්න දැන් නික්මුනා

අතීත නාගරිකයාගේ උපරිම ශෘංගාර ස්ත්‍රී රූපය වනාහි සුරලොව, දෙව්ලොව වසන සුරඟනන්, දෙවඟනන් බවට පත් වී තිබුණ ද ගැමි කලාකරුවා තම විවෘත ලෞකික ලෝකයෙන්ම රාගාධික ගැහැනියව සොයා ගත්තේය. ඇය රූප අංගයෙන් නිරන්තරයෙන්ම සලෙළුවන් කුල්මත් කරන අතර, තම හිමියාව කලෙකින් හමු නොවූ හෙයින් බොහෝ කුල්මත්ව පසුවන්නීය. රූපයට සරිලන සුවපහසු ජීවිතයක් නොලද ලෙන්චිනාව කෝලම්කරුවා හඳුන්වන්නේ ‘සාපයෙන් කොමළ වූ ලෙන්චිනා’ කියායි. ඇගේ සාපය වනාහි ඇගේ කෝමළ වූ ශෘංගාර රූපය යැයි ඔහු විශ්වාස කරයි. රාජ රාජ මහාමාත්‍යයන්ගේ මාළිගා බිසවක ශෘංගාර කොමළකමක් උපතින් ලැබුණාට වඩා ගමේ නැති බැරි සහ කුල හීන ලෙන්චිනාට ලැබුණු කොමළකම ඇයට සාපයකි.

වෙස් මුහුණුකරුවා රුක් අත්තන කොටයක් ළඟට ගෙන නියන, අතකොලුව ගෙන ඒ අසළ ඉඳ ගන්නේ ලෙන්චිනාගේ චරිත ලක්ෂණවල සාත්වික අභිනය මූර්තිමත් කිරීමටය. විවිධ කැටයම් කරුවෝ විවිධ කාලවල විවිධ රුවින් යුතු ලෙන්චිනාලා නො නෙළති. අතීත කැටයම් නිිර්මාණකරුවා සොයා ගෙන තිබූ ලෙන්චිනා සාත්විකයම යළි යළිත් අනුරූපනය කරති.

වෙස් මුහුණු කැටයම්කරුවාට තමා නෙළන මුහුණු කැටයම් පිළිබඳ භාව න්‍යාය පත්‍රයක් තිබේ. ඔවුන් මේ න්‍යාය නවීකරණය නොකොට පවත්වා අවුත් ඇත. අතීතයේ භාවිත කළ ස්වභාවික වර්ණ අමු ද්‍රව්‍යයන්ට වඩා වර්තමානය තාක්ෂණික තීන්ත වර්ග භාවිත කරයි. එහෙත් ඔවුහු නිර්මාණාත්මකව ගොඩ නඟන මුහුණේ ‘ඉංගිත න්‍යාය’ වෙනස් නොකරති.

ලෙන්චිනා මුහුණේ ඇත්තේ ගුප්ත ශෘංගාර සුන්දරත්වයක් යැයි මට සිතේ. ඇගේ දෑස් පළල්ය. සෘජු ගිරා නැහැය සහ දෙතොල් පෙති ඝනය. ලෙන්චිනා වනාහි වෘත්තීය හේතූන් මත පිරිමින් පතන්නියක් නොවේ. ඇය රුචි කරන බහු පුරුෂ සේවනය වනාහි ඇගේ කාය ශක්තියට සහ අධ්‍යාත්ම අවශ්‍යතාවට සරිලන ඇබ්බැහියක් යැයි ලෙන්චිනා මුහුණ අපට කියා දෙයි.

අතීත ලාංකීය සමාජය පැතූ ශෘංගාර ගැහැනිය වනාහි වර්තමානයේ මෙන් බටහිරකරණය වූ සංකල්පයක් නොවේ. අතීත බටහිර ගැහැනියගේ පරමාදර්ශය බිහිවන්නේ ඊජිප්තුයානු සහ මිසර කාන්තා ප්‍රතිරූප හරහාය. මිසරයේ පිරමීඩවල ඇඳ තිබූ කෙසඟ ගැහැනිය වර්තමාන බටහිර විලාසිනියට (ර්ධඤඥත) පරමාදර්ශ වී ඇත.

එහෙත් ආසියාතිකයාගේ කාන්තා විලාසය ඊට වඩා පිරිපුන්ය. මිසර ක්ලියෝපැට්‍රාලා තිත් වන් වූ ළඳ පියයුරු පැතූ අතර අතීත ලාංකික කාන්තාවට තිබුණේ පීන පයෝධරයන්ය. ඒවා රන් කුඹු සේ හෝ රණ හංස යුවලක් සේ පිරිපුන්ය. ඔවුන්ගේ පුළුලුකුල රියසකයුරුය. කලවා රඹ කඳන් හෙවත් කෙසෙල් කඳන් සේ විශාලය. ඉඟ සුඟ පමණක් මිටින්ගත හැක.

මේ යෝධ ගැහැනියගේ මුහුණ ද ඊට නොදෙවැනිව පළල් විය යුතුය. ඇගේ නළල අඩ සඳ තරම් පළල්ය. දෑස් නිල් උපුල් තරම්ය. නාසය ගිරා තුඩ සේ වක් වී තිබේ. ඝන දෙතොල් නා දලු මෙන් රත් පැහැ වී දිළිසෙයි. ඇය රන් වනින් දිළිසෙයි. නැත්නම් ඇගේ සමේ පැහැය රන් වර්ණයයි.

අතීත ගල් කැටයම්කරුවාගේ ස්ත්‍රී රූපය ද මේ පදනම මතම පිහිටයි. ඉසුරුමුණි පෙම්වතියගේ සහ ලෙන්චිනාගේ ඇති සමාන අසමානකම් සංසන්දනය කරන්න. වෙනසකට ඇත්තේ ආභරණාදී සැරහුම්වල අසමානකම් පමණ යැයි මට සිතේ.

ලෙන්චිනා මුහුණේ ඇති ඉංගිත භාවිතයේ පිරිමින් දමනය කරන පෞරුෂාර්ථය දතිබේ. අතීත මාළිගා කාන්තාවට වඩා ගැමි ගැහැනිය පුරුෂයන් හමුවේ ස්ත්‍රී ආධිපත්‍යයක් දරා තිබුණි. ලෙන්චිනා මුහුණේ ඇති ශෘංගාරය තුළ ස්ත්‍රී ආධිපත්‍යය ද කැටයම් වී ඇති අතර ඉසුරුමුණි පෙම්වතියගේ කැටයමේ ඇත්තේ පුරුෂාධිපත්‍යයයි.

එහෙයින් එන්න,

වෙස් මුහුණුවල වෙස් විඳීන්නට මේ හොඳම උස් බිමයි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව