සිසින්ද්‍රානි හරසර මැද

‘සිසින්ද්‍රාණි’ හරසර උළෙල හා ගී ප්‍රසංගය පසුගියදා ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. සිසිර – ඉන්ද්‍රාණි යුවළ මෙන්ම රැස්ව සිටි පිරිස පුදුමයට පත් කරමින් පෙර දැනුම් දීමකින් තොරව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රසංගයට සහභාගි විය.

ඒ වන විට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගයන් ද ආරාධිත අමුත්තන් අතර විය. ජනාධිපතිතුමන් අතින් දැල්වුණ මංගල ප්‍රදීපයෙන් ප්‍රසංගය ආරම්භ විය. එදිනම ‘රන් පියවර’ කෘතිය හා ‘ඉරේෂා’ සංයුක්ත තැටිය එළි දක්වන ලදී.

මේ උළෙලේ දක්නට ලැබුණ විශේෂත්වය වන්නේ ඉන්ද්‍රාණි සේනාරත්න මෙන්ම ඇගේ බාල පුතු සමීර සේනාරත්න හා මුණුබුරු සෙනුජ සේනාරත්න ගී ගැයූ අතර, ‘ඕලු නෙළුම් නෙරිය රඟාලා’ ගීතය සිසිර සේනාරත්න හා දුව සුභාෂිණි, පුතු සමීර, ඉන්ද්‍රාණි සමගින් එකම වේදිකාවේ එකට ගයනු ලැබීමයි.


චාමර සමඟ ‘පියවි’

පිටසක්වල සට පැමිණි අයාල් සමග ඔබ හමු වූ චාමර පීරිස් මීළඟට ඔබ හමු වෙන්නෙ ‘පියවි’ සමඟ. ‘පියවි’ චාමර පීරිස් අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි සිතුවමයි. මෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත් වූහ.

රෙබෙකා නිර්මලී, රේණුකා බාලසුරිය, උමයංගනා වික්‍රමසිංහ, එරංග ජීවන්ත, රුවංගනී රත්නායක, උද්දික ප්‍රේමරත්න, මේනකා පීරිස්, කමල් දේශප්‍රිය, චින්තක වාස්, ප්‍රභාත් පතිරාජ, කෞෂල්‍යා ආරියදාස, මනෝහාරි විමලතුංග රංගනයෙන් දායක වන ‘පියවි’ තිර පිටපත ලිව්වෙත් චාමර පීරිස්.

චාමරට අධ්‍යක්ෂණයෙන් සහය වෙන්නේ අරුණ දුනුකේවල. පුෂ්ප කුමාර බණ්ඩාර රාජගුරු, චන්න දේශප්‍රිය, චන්දන ජයසිංහගේ කැමරාකරණයෙන් ඉදිරියේදී ඔබ දකින ‘පියවි’ ශාන් කුමාර රත්නායකගේ නිෂ්පාදනයක්.

කලා අධ්‍යක්ෂණයෙන් දම්මික හේවාදූවගේ සහ ජෙරම් ද සිල්වා, අංග රචනයන් සංජීව රත්නායක, ගීත රචනයෙන් තුෂානි බුළුමුල්ල සහ සංගීතයෙන් රවිහාන් වැටකෙපොත දායක වන ‘පියවි’ තුළින් අලුතින් යමක් සිතන්නටත් නරඹන්නටත් හැකි වන බව චාමරගේ විශ්වාසයයි.


ආරියදාස පීරිස්ගෙන් විනෝද සමයන්

පුංචි තිරයේ ටෙලි කතන්දරයන් අතරට ආරියදාස පීරිලස් ටෙලි කතන්දරයක් එකතු කරන්න සූදානම්. ඒ ‘විනෝද සමයන්’ නමින්. විනෝද සමයන් එකාංගික ටෙලි නාට්‍ය කලාවේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.

සිනග සාගරයට ඔබ කැන්දාගෙන යන්නේ ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල සහ සුසිලා කෝට්ටගේ ගේ ආකර්ෂණීය රංගනයන්. ‘විනෝද සමයන්’ චරිතමාලී චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය ආරියදාස පීරිස් අධ්‍යක්ෂණයෙන් සහ රන්දෙනිගල ව්‍යාපාර අධිපති ආර්. ඩී. සරත් විජය වික්‍රම ගේ නිෂ්පාදනයක්. කුමාර ගේ කැමරාකරණයෙන් සහ රංජිත් සිල්වා ගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘විනෝද සමයන්’ සඳහා සංගීත නිර්මාණයෙන් දායක වෙන්නේ රෝහණ වීරසිංහ සමඟ එඩ්වඩ ජයකොඩි. මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ රෝයි මහකුමාර.


සඳ සිත්තම් සිරසට

‘සඳ සිත්තම්’ සංජය නිර්මාල්ගේ නවතම ටෙලි සිත්තමයි. මේ සිත්තම වර්ණවත් වෙන්නේ නීටා ප්‍රනාන්දු, ජානකී විජේරත්න, සුරාජ් මාපා, කාවිංග පෙරේරා, ඩග්ලස් රණසිංහ, සංජීවනී වීරසිංහ, නිහාල් ප්‍රනාන්දු, සුනේත්‍රා දිසානායක සහ කොරින් අල්මේදා ගේ රංගනයෙන්.

‘ආදරය’ නම් වූ අපූරු හැඟීම නිසා ඇතිවන ඊර්ෂ්‍යාව, වෛරය සහ ක්‍රෝධය අතර දෝලනය වන වර්ෂා ගේ සහ විශ්වගේ මේ ආදර කතාව ජානකී විජේරත්නගේ නිෂ්පාදනයක්. තේමා ගී පද රචනය රවීන්ද්‍ර සිරිනාත්ගෙන්. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.30 ට ‘සඳ සිත්තම්’ සිරස නාලිකාවේ සිත්තම් වෙන්නේ ස්වර එන්ටටේන්මන්ට් සංගීත රටාවට එක්වුණු අමල් පෙරේරා, සමිතා මුදුන්කොටුව හා ශානිකා මධුමාලිගේ ගායන රිද්මයෙන්.


රූපවාහිනි සංස්ථාවට වසර 30 යි

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාවට මෙම මස 16 වැනිදාට වසර 30 ක් සපිරේ. ජාතික රූපවාහිනියට මෙන්ම එහි සභාපති මොහාන් සමරනායක මහතා ඇතුළු සියළු හිතවතුන්ට සරසවිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.


සෙන්ටිග්‍රේඩ්ස් උදයට සුබ මංගලම්

සෙන්ටිග්‍රේඩ්ස් ගායක උදය ශ්‍රී වික්‍රමසිංහගේ යුග දිවියට පිවිසීම බ්‍රහස්පතින්දා කිරිබත්ගොඩ ක්ලැරියොන් හෝටලයේදී සිදු විණ. ඔහුගේ අත ගත් ‘ඇය’ වූයේ පෞද්ගලික ආයතනයක කළමනාකාර සහකාරිණියක වන වින්ද්‍යා විතාරණයි.


ඕඩියෝ ෆෙ‍්‍රන්ඩ්ස් ශබ්දාගාරය විවෘත වූ දා

නවීන තාක්ෂණයෙන් යුතු ගීත පටිගත කිරීමේ ශබ්දාගාරයක් ඕඩියෝ ෆෙන්ඩ්ස් නමින් ඉකුත්දා බොරැල්ලේ කනත්ත හන්දියේදී විවෘත විණි.

සේනානායක වේරලියද්ද, කසුන් කල්හාර, හර්ෂ ආරියසිංහ, සරත් දික්කුඹුර, ප්‍රදීප් ජයතිලක, නිරෝෂන් ඉලේපෙරුම ඇතුළු ක්ෂේත්‍රයේ සහෘදයෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. මේ එහි පළමු පටිගත කිරීම සිදු වූ මොහොතයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව