ආයුබෝවන්! . . . මෙන්න ප්‍රවෘත්ති

ම ම ස ඳ මා ලි

 

‘ආයුබෝවන්’

‘රූපවාහිනි ප්‍රවෘත්ති’

මෙහෙම කියමින් බොහෝ දිනවලදී රාත්‍රී 8.00 ට ඔබගේ නිවහනට ඈ එන්නේ ලංකාවේ වගේම ලෝකයේම වුණත් විස්තර පිළිබඳ ඔබව දැනුවත් කරමින්.

සඳමාලි හේවනායක.

පවුලකට ඉන්න ඕන රුව ඇති දුවෙක් වගේම කට ඇති පුතෙක් යන අපේ පැරැණි කියමන වෙනස් කළ සඳමාලි සැබෑවටම හැඩකාරියක්. ඒ වගෙම කටකාරියක්. ඒ කටකාරකමට හරි යන්න ඈ ප්‍රවෘත්ති නිවේදිකාවක් විතරක් නෙමෙයි වැඩසටහන් නරඹන්නන් අතරට රැගෙන යන ඉදිරිපත් කරන්නියක් විදියට කටයුතු කළා. මෙතෙක් කාලයක් පැමිණි මේ දිගුª ගමනේ එක් සංඳිස්ථානයක අප නතර වුණා.

‘පසුගිය දවස්වල ලැබුණු සුමති සම්මානය ඔබගේ ජීවිතයේ කඩඉමක්’

‘ඇත්තටම මම වගේ කෙනෙක් ඇගයීමට ලක් කිරීම අපට කළ ගෞරවයක්. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට මට ලැබුණු මේ ඇගයීම මගේ ජීවිතයේ මිහිරි මතකයන්ගෙන් එකක්. මෙවන් සම්මාන උළෙලකදී හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව යන සම්මානයකින් පිදුම් ලැබීම සොඳුරු අත්දැකීමක්. වඩාත් වැදගත් වන්නේ අවුරුදු දහසයක් පුරාවට අඛණ්ඩව ඔවුන් පැමිණි ගමනේ තිබුණු පිළිගැනීම ඔස්සේ මට මෙම සම්මානය ලැබීමයි.’

සඳමාලිට ලැබුණු සම්මානය ගැන තවමත් ඈට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඒ නිහතමානීකම ඈට හිමි වුණේ පුංචි කාලයේදීමයි. එතකොට ඈ පාසල් ශිෂ්‍යාවක්.

‘මම පාසල් ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයටයි. ඒ වෙනකොට මම උසස් පෙළ පන්තියේ තමයි ඉගෙන ගත්තේ. ජනප්‍රිය චරිතයක් වුණු මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. පාසලේදී අධ්‍යාපන කටයුතු වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහාත් අප වෙහෙසුණා. විවාද කණ්ඩායමේ වාද කළා. මෙන්න මේ අතීතය තමයි නිවේදිකාවක් කියන මං සලකුණේ ආරම්භය. ඒ කාලයේ රූපවාහිනියේ ඇරැඹුව උදා විකාශය සඳහා ප්‍රවෘත්ති කියන්නට තෝරා ගත්තේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකින්. ඒ තෝර ගත්ත ළමයින් අතරට මගේ නමත් තිබුණා. අවසාන අටදෙනා අතරට එන්න ලැබීම මට හිතා ගන්නවත් බෑ. ඒ විදියට ආරම්භ කළ මගේ ප්‍රවෘත්ති නිවේදිකා ගමන අදටත් මට සොඳුරු අත්දැකීමක්.’

සඳමාලිට ඒ ගමන සොඳුරු අත්දැකීමක් වෙන්න පාර පෙන්නුවේ ඇගේ තාත්තා, දයා විජේසේකර. ඔහු දවසේ වැඩ කළ මාධ්‍යවේදියෙක්. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වගේ ඒ කාලේ හිටිය ප්‍රවීණ සාහිත්‍යකරුවන් සමඟ සඳමාලිගේ තාත්තාගේ තිබුණු සම්බන්ධය බොහොම සුන්දරයි. මේ නිසාදෝ විද්‍යා විෂ්‍යයන් කළ සඳමාලිගේ හිත කලාවට මේ තරම් නැඹුරු වුණේ.

‘තාත්තා සමඟ තිබුණු හිතවත්කම නිසා කලාවට සම්බන්ධ බොහෝ දෙනා අපේ ගෙදර ආවා ගියා. ඔවුන්ගේ කතාබහ තිබුණේ සාහිත්‍යත් සමඟයි. ඊට අමතරව පුංචි කාලයේ මගේ දෙනෙත්වලට හසුවුණේ පොත්වල දර්ශනයන්. තාත්තාට පුංචි පුස්තකාලයක් තිබුණා. ඒ පුස්තකාලයෙන් විවිධ පොත් අරගෙන කියවන පුරුද්දක් මට ඇති වුණා. මඟුල් කෑම, හත්පණ විතරක් නෙමෙයි කාලයකදී සරච්චන්ද්‍රයන්ගේ, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ, සුගතපාල ද සිල්වාගේ පොත් පවා මම කියැව්වේ බොහොම ආශාවෙන්. ඒ වගේම මගේ අම්මා මාලිනී මහ බැංකුවේ රැකියාව කළත් කලාවට ළැදි තැනැත්තියක්. ඈ කරු අයියාගේ ළමා පිටියට කවි ලිව්වා. කලාවෙහි රැඳී සිටීමේ හා කලාවට ආදරය කිරීමේ පසුබිම මගේ සිතේ නිර්මාණය වෙන්නේ නිවෙසේ පරිසරයෙන්.

ඒත් කලාවට පිවිසීමේ ආරම්භක කාලයේදීම රැකියාවක් සඳහා බැංකුවකින් ලැබෙන ආරාධනය සඳමාලි පිළිගන්නේ ඉත සිතින්. ඒත් කලාවට තිබුණු ආසාව ඈව නිවේදන වෘත්තිය දෙසටත් රැගෙන යනවා. ලක්හඬ ගුවන් විදුලියේ ආරම්භක නිවේදිකාවක් විදියට දෙවසරක කාලයක් තම අත්දැකීම් බෙදා හදා ගන්නා සඳමාලි ජාතික රූපවාහිනියටත් සම්බන්ධ වුණා.

‘මගේ ජීවිතයේ ගොඩ නඟා ගත යුතු දේවල් බොහොමයක් තිබුණා. ඒ නිසා ස්ථිර රැකියාවක් අවශ්‍යය කියන පදනමේ මම මුල් කාලයේම සිටියා. ඒත් මම ආදරය කළ නිවේදන වෘත්තියත් අමතක කළේ නැහැ. බැංකු කටයුතුª අතර නිවේදන කටයුතු කරගෙන යන්නත් මම වෙලාව සොයා ගත්තා. අද මම රැකියාව කරන්නේ ස්ටෑන්ඩට් චාර්ටඩ් බැංකුවේ පාරිභෝගික සම්බන්ධතා කළමනාකාරිණියක් ලෙසයි. ඒ සියලු කටයුතු අතර නිවේදන කටයුතු සිදු කෙරෙන ජාතික රූපවාහිනියේ මා මෙහෙය වන වැඩසටහන් සඳහා කාලය වෙන් කර ගැනීමත් නිසා අද මම බොහොම කාර්යබහුල කෙනෙක්.’

රාත්‍රී 8.00 ට රැගෙන එන ප්‍රවෘත්ති විකාශයට අමතරව සෙනසුරාදා උදෑසන 7.00 ත් 8.00 ත් කාලයේ විකාශය වන ‘තිරසාර’ වැඩසටහනත්, ශනිදා ආයුබෝවන්, මාසයකට වරක් විකාශය වන ධාරණ පොත් වැඩසටහනත් ඔස්සේ සඳමාලිගේ දස්කම් විසිරිලා.

‘මේ සියලු වැඩ කටයුතු කරන්න මට අත හිත දෙන්නේ මගේ මහත්තයා අචින්ත හේවනායක. ඔහුත් ඩී. එෆ්. සී. සී. වර්ධක බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විදියට කටයුතුª කරනවා. ඔහුගෙන් මගේ වැඩ කටයුතුවලට ලැබෙන සහයෝගය ගැන කියන්න මට වචන නැහැ. අපට පුංචි පුතෙක් ඉන්නවා. අචින්ත්‍ය පුතා ඉගෙන ගන්නේ පහ ශ්‍රේණියේ. ඒ ඒෂියන් ජාත්‍යන්තර පාසලේ. මේ හැම කටයුත්තක් අතරම පුතාගේ වැඩ කටයුතුත් හොයලා බලන්න මා අමතක කරන්නේ නෑ. අම්මාත්, තාත්තත් අපිත් එක්කම ඉන්න නිසා ඔවුන්ගෙන් අපේ කටයුතුවලට ලැබෙන සහයෝගය ගැන කියන්නම ඕන. මේ විදියට ගෙවෙන ජීවිතය බොහොම සුන්දරයි, සැහැල්ලුයි.’

ඒ අතර ඇගේ සැහැල්ලු බව රැඳුණු සුන්දරත්වය ප්‍රසාද්ගේ කැමරාවේ සටහන් වුණා. මේ අතර සඳමාලි මෙහෙමත් කිව්වා.

‘ජාතික රූපවාහිනියේ සහයෝගය නොලැබෙන්න මට මේ කිසිම දෙයක් කර ගන්න ලැබෙන්නේ නෑ. ඊට ප්‍රධාන වශයෙන්ම ජාතික රූපවාහිනියේ සභාපතිතුමා වන මොහාන් සමරනායක මහත්මයාට ස්තුතිවන්ත විය යුතුයි. ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ විජය දිසානායක ඇතුළු ජාතික රූපවාහිනියේ සියලු නිෂ්පාදකවරුන්ට, විශේෂයෙන්ම ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් අංශයේ සියලු නිෂ්පාදකවරුන් ඇතුළු අනිකුත් හැම දෙනාටම මට මේ ගමන එන්නට උදව් කළ බොහෝ දෙනාවත් සිහිපත් කරන්නේ සොඳුරු සිතින්. ඒ වගේම මගේ රැකියා ස්ථානයත් මතක් කරන්න ඕන.’

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව