මෙරිල් ස්ට්‍රීප් යකඩ ගැහැණිය වෙයි

සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 45

THE IRON LADY

මාග්‍රට් හිල්ඩා තැචර් 1979 සිට 1990 දක්වා එංගලන්තයේ අග්‍රාමාත්‍ය තනතුර දැරූ තැනැත්තියයි. 1925 ඔක්තෝබර් 13 දා උපන් ඇය එරට පළමු අගමැතිවරිය මෙන්ම විසි වැනි සියවසේ දීර්ඝතම නිල කාලයක් ඉසිලූ අගමැතිනිය ද වූවාය. දේශපාලන විචාරකයන් පවසන්නේ ඇය දැඩි කොන්සර්වැටිව් මතධාරිනියක ලෙස කටයුතු කළ බවය.

වෘත්තීය සමිතිවල ක්‍රියා පටිපාටීන්ට සහ සෝවියට් දේශයට දැඩි විරෝධයක් පළ කරමින් කටයුතු කළ හෙයින්ම ඇයට ‘යකඩ ගැහැනිය’, ‘අයෝමය කාන්තාව’ වැනි අන්වර්ථ නාම ලැබිණි.

පළමුව රසායනඥවරියක වූ ඇය පසුව නීතිඥවරියක ලෙස දිවුරුම් දුන්නාය. 1959 බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සඳහා ෆින්ච්ලේ ආසනයට තරග කොට ජයග්‍රහනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වන විට ඇගේ වයස අවුරුදු 34 ක් වූයේය. එම කාලයේ ඇය ලේබර් පක්ෂ රජයේ බදු ප්‍රතිපත්තීන් දැඩි ලෙස විවේචනය කළාය.

ඩෙනිස් තැචර් හා විවාහ වී සිටි මාග්‍රට් 1970 එඩ්වඩ් හීත් රජයේ අධ්‍යාපන හා විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය දැරුවාය.

1975 දී ඇය කොන්සර්වැටිව් පක්ෂයේ නායිකාව මෙන්ම බ්‍රිතාන්‍ය විරුද්ධ පක්ෂ නායිකාව බවට ද පත් වූවාය. එය බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂයකට කාන්තාවක පත් වූ ප්‍රථම අවස්ථාව වූයේය.

1979 මහා මැතිවරණයට මුහුණ දෙමින් තම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වූ ඇය බ්‍රිතාන්‍ය අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. ඩව්නිං වීදියේ අංක 10 ස්ථානයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වූ පසු ඇය මැතිවරණ සමයේදී ජනතාව අමතා කී සියල්ල වෙනසකට භාජනය කළාය. ඇගේ දැඩි ආර්ථික ප්‍රතිපත්තීන් හමුවේ බ්‍රිතාන්‍යයේ විරැකියා ප්‍රතිශතය ඉහළ ගියේය.

ජනතාවගේ ජීවන තත්ත්වය ද පහළ වැටිණි. දිනෙන් දිනම ජනතා අප්‍රසාදය මාග්‍රට් තැචර් රජයට එරෙහිව නැෙඟන්නට වූයේය. ඇය කටයුතු කළේ ඊළඟ මහා මැතිවරණයේදී ජය ලබන අපේක්ෂාවෙන් නොවේ. දේශපාලනමය වාසි තකා කටයුතු කිරීම නොව තම අරමුණ බ්‍රිතාන්‍යය නියම මාවතට යොමු කිරීම බව ඇය පැවසුවාය.

1982 දී බ්‍රිතාන්‍ය පෝක්ලන්ත යුද්ධයට පැටළුණු අතර මාග්‍රට් තැචර් අගමැතිවරිය ලෙස එම යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ජනතා ප්‍රසාදයට ලක් වූයේය. 1983 මහා මැතිවරණයෙන් නැවත ජය ලබා යළි අගමැති තනතුරට පත් වන්නට ඇයට හැකි වූයේ එම ජනතා ප්‍රසාදය නිසාය.

කෙසේ වෙතත් ඇයට ලැබී තිබූ අන්වර්ථ නාමවලට ගැළපෙන පරිදිම ඇය තවදුරටත් කටයුතු කළේ දරදඬු ආකාරයටය. සමීපතම දේශපාලනඥයන්ගේ අවවාද, අනුශාසනා පවා ඇය කනකට ගත්තේ නැත.

යුරෝපා සංගමය සම්බන්ධයෙන් සිය කැබිනට් මණ්ඩලය දැරූ අදහස්වලට ප්‍රතිවිරුද්ධ මතයක ඇය සිටියයා. 1990 නොවැම්බරයේදී ඇය අග්‍රාමාත්‍ය තනතුරෙන් ද කොන්සර්වැටිව් පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස් වූයේ පක්ෂය ඇතුළතින්ම ඇගේ නායකත්වය දෝෂ දර්ශනයට හා අභියෝගයට ලක්වන විටය.

මාග්‍රට් හිල්ඩා ගේ මුල් වාසගම රොබට්ස් වූයේය. ඩෙනිස් තැචර් හා විවාහ වූ ඇය දෙදරු මවක ද වූවාය. කැරොල් ඇගේ වැඩිමල් දියණිය වු අතර මාක් ඇයගේ පුතු වූවාය. ඇය අගමැති ධූරය දැරූ කාලයේ යොවුන් වියේ පසු වූ මාක් මෝටර් රථ ධාවන ශූරයකු ලෙස නමක් දිනා ගත්තේය.

ඒ අතරතුර විවිධ දඩබ්බරකම් කරමින් තම මව අපහසුවට පත් කළේය. එකල කටකතා පැතිර ගියේ අගමැතිවරිය ලෙස දැඩි ප්‍රතිපත්තීන් පවත්වා ගෙන ගිය ඇය මවක හා බිරියක ලෙස පවුල් සංස්ථාව ඇතුළත ද දැඩි ප්‍රතිපත්ති පවත්වා ගෙන ගිය බවය.

කෙසේ වෙතත් පසුකාලීනව ඇගේ දේශපාලන ප්‍රතිපත්තීන් මහත් සේ අගැයුණු අතර ඇයට ලින්කන්ෂයර් ප්‍රාන්තයේ කෙස්ටෙවෙන් හි සාමි පදවිය ද, තවත් ගෞරව නාම ද පුද කෙරිණි.

මාග්‍රට් තැචර්ගේ ජීවිතය අළලා ෆිලිඩා ලොයිඩ් නිර්මාණය කළ ‘දි අයන් ලේඩි’ චිත්‍රපටය දැන් ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් තිබේ. බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වූ එය එරට තිරගත වීම ඇරැඹුණේ 2011 දෙසැම්බර් 31 දාය.

සම්මානනීය හොලිවුඩ් නිිළි මෙරිල් ස්ට්‍රීප් මෙම චිත්‍රපටයේ මාග්‍රට් තැචර්ගේ චරිතයට පණ පොවන්නීය. බ්‍රිතාන්‍යයේත් ලෝකයේත් ප්‍රකට දේශපාලන චරිත කිහිපයක්ම මෙම චිත්‍රපටයට ඇතුළත් වෙයි.

පසු කලෙක බ්‍රිතාන්‍ය අගමැති තනතුරට පත් ජෝන් මේජර් ලෙස පෝල් බෙන්ට්ලි ද, එරට හිටපු අගමැතිවරයකු වූ එඩ්වඩ් හීත් ලෙස ජෝන් සෙෂන්ස් ද, අමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ රොනල්ඩ් රේගන් ලෙස රෙජිනල්ඩ් ග්‍රීන් ද චරිත නිරූපණය කරන මෙයට ජිම් බ්‍රෝඩ්බෙන්ට්, ඇලෙක්සැන්ඩර් රෝච්, හැරී ලොයිඩ් හා ඔලීවියා කෝල්මන් වැනි නළු නිළියෝ ද රංගන දායකත්වය ලබා දෙති.

මාග්‍රට් තැචර් ලෙස රඟමින් මෙරිල් ස්ට්‍රීප් දක්වන රංග ප්‍රතිභාව මේ වන විට ලොව බොහෝ සිනමා ප්‍රේක්ෂකයන් හා විචාරකයන් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. 2012 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ දී තැචර් චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් මෙරිල් හොඳම නිළිය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබුවාය. මෙම මස 26 දා පැවැත්වීමට නියමිත ඇකඩමි සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය උදෙසා මෙරිල් ගේ නම යෝජනා වී තිබේ.

තැචර් චරිතය රඟනු පිණිස මෙරිල් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට කිහිප වතාවක්ම පැමිණ, එහි මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය ද අධ්‍යයනය කර තිබේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව