ඉන්දියානු සිනමා ඉතිහාසයේ මුල් දින වැඩිම ආදායම් වාර්තාව අග්නිපාත්

එදා අමිතාබ් මෙදා රිතික්

‘අග්නිපාත්’ (Agneepath) ගිනිගත් මාවත, හරිවන්ෂ් බච්චන්ගේ පෑන් තුඩින් ලියැවුණු ඒ කවිකාර වචනය සිනමාවට නැගුණේ 1990 දීය. ඒ මීට දෙවිසි වසරකට පෙරදීය. අමිතාබ් බච්චන්ගේ පියා වූ හරිවන්ෂ්ගේ අදහස් සිනමාපටය පුරාම ප්‍රයෝජනයට ගැනීමට නිෂ්පාදක යාෂ් ජොහාර් වග බලා ගත්තේය.

1983 දී හොලිවුඩයේ දී තිරගත වුණු අල් පැසිනෝ රැගූ ‘ස්කාෆේස්’ ඇසුරින් බොලිවුඩයට නිර්මාණය වුණු ‘අග්නිපාත්’ ආදායම් වාර්තා ඉපයු සිනමාපටයක් නම් නොවීය. එහෙත් එය සුපිරි තරු රැඟූ සිනමාපටයක් විය. මුකුල් ආනන්ද් අධ්‍යක්ෂණය කළ මෙහි අමිතාබ් බච්චන්, මිතුන් චක්‍රබෝර්ති, මාධවී රැගූහ. දුෂ්ටයාගේ චරිතය නිරූපණය කළේ ඩැනී ඩෙන්ග්සොන්ග්පාය.

අග්නිපාත් මන්යා සර්ව් නම් මූම්බායි පාතාල චරිතය ඇසුරින් ලියැවුණු තිර රචනයක් බවට ද රාවයක් පවතී. ආදායම් වාර්තා අතින් අසාර්ථක වූ ‘අග්නිපාත්’ භාරත සිනමා ඉතිහාසයට එක් කළ සුන්දර මතකය නම් අමිතාබ් සහ මිතුන්ට ඉන්දීය ජාතික සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම සහාය නළුවා යන සම්මාන හිමිවීමයි. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ද මිතුන් හොඳම සහය නළුවා වූ අතර හොඳම නළුවාට අමිතාබ්ගේ නම නිර්දේශ විය.

1992 දී ‘අග්නිපාත්’ වාණිජ වශයෙන් අසාර්ථක වීමත් සමඟම පියාගේ හදවතට දැනුණු වේදනාව කරන් ජොහාර් හොඳින් වින්දේය. නැවත ‘අග්නිපාත්’ ප්‍රතිනිර්මාණය කිරීමේ උනන්දුවක් ඔහුට ඇති වුණේ ඒ අනුවයි. ‘මයි නේම් ඊස් ඛාන්’ දර්ශන තලයේදී ඔහු එහි සහකාර අධ්‍යක්ෂවරයා වූ කරන් මල්හෝත්‍රාට අදහස පැවසුවේය. ඔහු දෙවරක් නොසිතා එකඟ විය. මේ මල්හෝත්‍රාගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.

‘විජේ දීනාත් චෞහාන්’ නම් ප්‍රධාන චරිතයට අභිෂේක් බච්චන්ගේ නම මුලදී යෝජනා වුණ ද රිතික් රොෂාන් අවසාන තෝරා ගැනීම විය. ඒ වන විට තිර රචනය අවසන් වී නොතිබුණත් රිතික් ඊට එක සැනින් කැමැති වුණේය. කාලි ගවුඩිගේ චරිතයට ජෙනේලියා ඩි සූසා නම යෝජනා වූ නමුදු අවසානයේ දී ප්‍රියංකා චොප්රා ඒ සඳහා තෝරා ගැනුණි. ‘කාන්චා’ චරිතය සංජේ දත්ට හිමි විය. ක්‍රිෂන් අයියර් චරිතයට 1990 දී මෙන්ම පණ පෙව්වේ මිතුන් චක්‍රබෝර්තිය. සිනමාපටයට අලුතින් එක් වූ දුෂ්ට චරිතය වී තිබෙන්නේ රෞවුෆ් ලාලායි. රිෂි කපූර් ලාලාගේ චරිතයට පණ පොවන්නේය. ඕම් පූරි සහ සරීනා වහබ් ද මෙහි රඟති. කත්‍රිනා කායිෆ්ගේ ‘චික්නි චමේලි’ ගීතය ද සිනමාපටයට ජනතා ආකර්ෂණය වැඩි කිරීමට යොදා ගෙන තිබේ.

නව ‘අග්නිපාත්’ මුළුමනින්ම රූගත කෙරුණේ මූම්බායි සිනමා නගරයෙන් දුර බැහැර ‘මන්ද්වා’ සහ ‘දියු’ ග්‍රාමීය පරිසරයේයි.

සිනමාපටය වෙනුවෙන් රිතික්ට සහ සංජේට දිගින් දිගටම මාංස පේශී වර්ධනය කරන ව්‍යායාමවල යෙදීමට සිදු වී තිබේ. 2012 ජනවාරියේදී රූගත කිරීම් ඇරැඹිණි. රිතික්ට ‘අග්නිපාත්’ ගිනිගත් මතකයක් වන්නේ සිනමාපටය රූගත කිරීමේදී ඔහු දරුණු ලෙස තුවාල වීම නිසයි. ඔක්තෝබර් 18 වැනි දින රිතික් රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියදී තුවලවීමෙන් දින 15 ක් රූගත කිරීම් ප්‍රමාද කර තිබේ.

මේ වන විට එනම් ජනවාරි මාසයේ 26 වැනිදා සිට ‘අග්නිපාත්’ අධ්‍යක්ෂවරයාටත්, නිෂ්පාදකවරයාටත් සිසිලසක් ගෙන එමින් අති සාර්ථක අයුරින් තිරගත වන්නේ ප්‍රේක්ෂක, විචාරක පැසසුම් නොමඳව ලබමිනි.

සිනමාපටය නිපදවීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 62 ක් (අමෙරිකානු ඩොලර් මිලියන 12.4) ක් වැය වී ඇත. එය ආරම්භක දිනයේදී ප්‍රදර්ශනය වී තිබෙන්නේ ඉන්දියානු රුපියල් කොටි 21.76 ක (අමෙරිකානු ඩොලර් මිලියන 4.35) ආදායමක් ලබමිනි. එනම් ‘බොඩිගාඩ්’ සිනමාපටය ආරම්භක දිනයේදී ලැබූ ආදායම ද පරදවමිනි. මෙතෙක් ආරම්භක දිනයේදී වැඩිම ආදායම ලැබූ බොලිවුඩ් සිනමාපටය වූයේ බොඩිගාඩ්ය.

නව වසර උදා වූ පසු සාර්ථක ලෙස තිරගත වූ පළමු සිනමාපටය ත්‍රාසය, භීතිය පිරි ‘අග්නිපාත්’ය. ගිනිගත් මාවතක යමින් ගිනි පුපුරු වැනි මතකයන් රැඳවීමට ‘අග්නිපාත්’ නම් ක්‍රියාදාම සිනමාපටය මුල පුරා ඇත. එය 2012 බොලිවුඩ් සිනමාවේ සුබ පෙර නිමිත්තකි.

අන්තර් ජාලයෙනි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව