කැන්ගරු දේශයේ ඇසුණ අපේ අභිමාන ගී හඬ

මෛත්‍රී පනාගොඩ

‘පාවී පාවී මේ එන්නේ

අතීතයේ සිට එන සුළඟයි

ඒ අතීතයේ සුළඟ අපව කැන්ඳගෙන ගියේ ඔස්ට්‍රේලියානු වසන්තයේ එක් දවසක් දෙසටයි. පසුගියදා ඒ සොඳුරු දිනයේ සිඩ්නි නුවරට නුදුරෙන් පිහිටි තෝන්ලී හි ප්‍රජා ශාලාවේ රාත්‍රී 7.00 සිට 9.00 දක්වා කාලයේ බොහොම සුන්දර කටයුත්තක් සිදු විය.

ඒ කලකට ඉහත දී අපගේ දෙසවන මිහිරෙන් පිර වූ මෛත්‍රී පනාගොඩ ගී පද රචකයාගේ ගී පද එකතුවෙන් සෑදුණු ‘සුදු වැලි’ සංයුක්ත තැටිය දොරට වැඩීමයි. ශාලාවේ පිරී ඉතිරී ගිය ශ්‍රාවකයන්ගේ සිත අපූර්වත්වයට පත් කරමින් එහිදී සිදු වුණේ තවත් අපූරු කටයුත්තකි. මෛත්‍රී පනාගොඩයන් සිය කුළුඳුල් සංයුක්ත තැටිය පිළිගැන් වූයේ අපූරු කෙනෙකුටයි. ඒ ඊට සති දෙකකට පෙර මෙලොව එළිය දුටු සිය කුළුඳුල් මුනුබුරාටයි.

කුඩා දරුවෙකු ලෙස වැලි සෙල්ලම් බත් පිසීමට යොදන අතත් එම වැලි සෙල්ලම් බත් මිතුරන් අතර බෙදා දීමට යොදා ගත් පිරිසිදු සිතත් අනාගතයේ වැඩිහිටියෙකු වූ පසුව ජනතාවගේ සේවය සඳහා කැප කරන්න යැයි සති දෙකකට පෙර ඉපදුනු පුංචි පුතාගෙන් මෛත්‍රී පනාගොඩ ඉල්ලිමක් කරයි. ඒ ඉල්ලීම ඔහු කරන්නේ සිය මුනුබුරාගෙන් පමණක් නොව සමස්ත මුනුබරන්ගෙන්මය.

‘සුදු වැලි’ සංයුක්ත තැටියේ ගීත සියල්ලම පාහේ ගෙතී ඇත්තේ ‘පුංචි පුතෙකු’ වටාය. ගීත දහනමයක් අඩංගු මෙම සංයුක්ත තැටියෙහි මුල් ගීත කිහිපය අපගේ දෙසවන වැකුණු ගී පද රචනා ය. තම මාතෘ භූමියේ අනාගතය, එහි සංවර්ධනය වෙනුවෙන් මෛත්‍රී ගේ පැවැති අවංක ඕනෑකම 70 දශකයේ ඔහු විසින් රචනා කළ ගීත අසනා විට අපට මැනවින් පසක් වෙයි. නීලා වික්‍රසිංහ ගයන ‘අහස බලාපන් පුතුනේ’ ටී. එම්. ජයරත්න ගයන ‘පාවී පාවී මේ එන්නේ’, එච්. ආර්. ජෝතිපාල ගයන ‘මම යනවා මම යනවා’ ආදී ගී පැබැඳුම් ඊට සාක්ෂි දරයි.

නිරංජලා සරෝජනී, රෝහිණී ජයසිංහ, අබේවර්ධන බාලසූරිය, අමරා රණතුංග යන ප්‍රවීණ ශිල්පීන්ගේ මියුරු ස්වරයෙන් සුන්දර වී ඇති මෛත්‍රීගේ ගී පද රචනා කුසලතා සපිරි ආධුනික ශිල්පීන්ට අපූරු තෝතැන්නකි. ප්‍රේමසිරි කේමදාස, ලයනල් අල්ගම, ජස්ටින් ගාල්ලගේ, දයාරත්න රණතුංග, රවී කුලතිලක, අරුණ කන්නන්ගර, සංගීත් වික්‍රමසිංහ, ඉන්ද්‍රජිත් මිරිහාන, ලලිත් ශාන්තප්‍රිය යන ප්‍රවීණ හා නවක ශිල්පීන්ගේ නාද සංකලනය මෛත්‍රිගේ ගී පදවල සුන්දරත්වය හදවත රන්දයි.

සිය මව්බිමෙන් ඈත් වී විසුව ද, මෛත්‍රී නම් ගී පද රචකයාගේ නාමය අප අතර සුදිලෙයි. මේ සොඳුරු මිනිසාගේ නාමය අපට කිසි දිනක අමතක නොවේ. ඒ කිසිදා අමතක නොවන ගී පද ඔස්සේ සිය පන්හිඳ මෙහෙයවීම හේතුවෙනි. නීතිවේදියෙකුගේ හදවත මොනතරම් සංවේදී ද යන වග ඔහු කියා පාන්නේ ගීතයෙනි.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ මෛත්‍රී පනාගොඩ ආනන්දයෙන් බිහි වූ තවත් එක් විශිෂ්ටයෙකි. ගුවන් විදුලියේ මහ ගෙදරෙහි ළමා මණ්ඩපය ඔස්සේ නිසඟ කුසලතාවයන් පද රචනයට ගොනු කරනා විට ඔහු වයස දහසයක් තරම් ළාබාල කොලු ගැටයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවකුව සිටියදී ඔහු කවියට පෙම් බැන්දේය. ‘වසන්තය උදානයක් නොව’ නම් කාව්‍ය සංග්‍රය එළි දකින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

ඉන් දුක් විඳින ජනතාවගේ හද ගැස්මට ඔහු ඇමතීය. හැඳුණු වැඩුණු ගම් පියසත්, මව්පියන්ගෙන් ලැබුණු ආභාෂයත් , තමා උගත් ආනන්දයේ පරිසරයත් මෛත්‍රිගේ කවි සිතට විශාල ආශිර්වාදයක් වන්නට ඇත.

ඒ ආශිර්වාදයත් සමඟ වසර තිස් පහකට පමණ පෙර මව්බිමේ සිට ලියූ ‘අහස බලාපන් පුතුනේ’ ගීිතයෙන් ‘සුදු වැලි’ සංයුක්ත තැටියට පිවිසෙන මෛත්‍රී එයින් පිටව යන්නේ ද මව්බිම පසුබිම් කොට ලියන ලද ගීතයෙනි. ඉන් තමා ඉපදී හැදුණු වැඩුණු මව්බිම අමතක නොවන වග අපට පසක් කරයි.

මව්බිමින් දුරස් වී දුරු රටක සිටිය ද, මව් බිමට ආදරය කරනා ඔබ වැනි වූ කලාකරුවෙකු අපට අගණේය. ඒ සිය අපේකම අද වනතුරු ඔබට අමතකව නොගිය බැවිනි. ඉදිරි කාලයේදීත් මෙවන් අර්ථවත් ගී පද රචනාවකින් අප හමුවට පැමිණෙන්නේ යැයි අපි හුදෙක්ම අපේක්ෂා කරමු. සරසවිය ඔබට අපි ජය පතමු.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව