මුද්දර පුද ලද සිනමා තරු

ඔවුන්ගේ රූ ඇඳීඇත්තේ ඔබේ හදවතෙහිය. ඒ ආදරණීයයන්ගේ පියකරු මුහුණු ලප නැති සඳක් මෙන් නිකැළල්ව තිබෙනවා දකින්නට ඔබ කෙතරම් කැමැතිද? එහෙත් ඔවුන් මුද්දරයකින් උපහාර ලැබුවොත් . . .

මුහුණ මත මුද්‍රාවක් තැබුණත් එය ඔබට මෙන්ම ඔවුන්ට ද ගෞරවනීය සිහිවටනයකි. ඒ නිළියක හෝ නළුවකු ලෙස මුද්දරයකින් උපහාර ලබන්නට හැක්කේ සම්මානනීයම පුද්ගලයකුට පමණක් වන නිසයි.

ලාංකේය කලා ශිල්පියකු / ශිල්පිනියක වෙනුවෙන් මුලින්ම මුද්දරයක් නිකුත් කෙරුණේ අපේ නිළි රැජන රුක්මණී දේවිය වෙනුවෙනි. ඒ 1990 ඔක්තෝබර් 28 දින, ඇය මිය ගොස් දොළොස් වසරක් පිරීම නිමිත්තෙනි.

සිංහල සිනමාවට හැට පස් වසරක් සපිරීම නිමිත්තෙන් තවත් කලාකරුවන් පිරිසක් සැමරුම් මුද්දරයකින් උපහාර ලැබුවා. ලෝකයේ මෙවන් උපහාර ගැන අසන්නට ලැබෙන්නේ බොහෝ කලකට පෙර සිටය.

මුද්දරයකින් පිදුම් ලැබූ මුල්ම හොලිවුඩ් නළුවන් අතර ජෝර්ජ් එම්. කොහාන් වෙයි. වේදිකා හා සිනමා නළුවකු වූ ඔහුගේ රුව මුද්දරයකට යොදා ගත්තේ 1978 දීය.

හොලිවුඩ් නිළි එතල් බැරිමෝගේ මුද්දරයක් 1982 නිකුත් කර ඇති අතර ‘විසාර්ඩ් ඔෆ් ඌස්’, ‘ගෝන් විත් ද වින්ඩ්’ හි රඟපෑ ජූඩි ගාලන්ඩ්ගේ මුද්දරයක් 1990 දී නිකුත් කරන ලදී.

ග්‍රේටා ගාබෝ (1905 – 1990) විශිෂ්ට නිළිය මුද්දරයකින් උපහාර ලැබුවේ 2005 දීය. සරාගී, සුරූපිනිය මැරිලින් මොන්රෝ රුව සහිත මුද්දරයක් 1995 දී නිකුත් කෙරිණි. එම වසරේදීම කැනඩාවෙන් ද මොන්රෝ රුව සහිත මුද්දරයක් නිකුත් කර ඇත.

වයස අවුරුදු විසි හතරේදී අකාලයේ මරුමුවට පත් වූ ජේම්ස් ඩීන් (1996), ඔස්කාර් සම්මානලාභී හම්ප්‍රි බොගට් (1997), ත්‍රාසජනක, රහස් පරීක්ෂණ සිනමාපට කලාවේ පුරෝගාමියකු වූ ඇල්ෆ‍්‍රඩ් හිච්කොක් (1998), ජේම්ස් කැග්නි (1999), එඩ්වඩ් ජී. රොබින්සන් (2000), ‘විකට රැජන’ නම් විරුදාවලිය ලත් ලුසී බෝල් (2001), ඇකඩමි සම්මාන උළෙලේ දී විශේෂ අගැයුම් සම්මානයක් ලද කැරි ග්‍රාන්ට් (2002), ඇකඩමි සම්මානලාභී ඔඩ්රි හෙප්බර්න් (2003), හොලිවුඩයේ විශිෂ්ටයකු වු ජෝන් වේන් (2004), ඇකඩමි සම්මානලාභී හෙන්රි ෆොන්ඩා (2005), මතකයේ රැඳෙන හඬකට හිමිකම් කී ජූඩ් ගාලන්ඩ් (2006), නළු ජේම්ස් ස්ටුවට් (2007), දශක හයක් රංගනයෙහි යෙදුණු සම්මානනීය නිළි බෙටී ඩේව්ස් (2008), හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ රංගන වීරයකු වූ ගැරී කූපර් (2009), වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියන නිළි කැතරින් හෙප්බර්න් (2010), ආදරයේ ආකර්ෂණය ග්‍රෙගරි පෙක් (2011), විකට නළුවකු ලෙස වඩාත් ප්‍රකට බොබ් හෝප් (2009), ඔස්කාර් සම්මානලාභී, තවමත් සුරූපී රුවට රසික මනාපය දිනා ගන්නා ඔස්කාර් සම්මානලාභී ග්‍රේස් කෙලී (1993) රූ රැගත් මුද්දර, හොලිවුඩයෙන් මේ දක්වා නිකුත් කර තිබේ.

විකට රජු චාලි චැප්ලින්ගේ මුද්දරයක් බ්‍රිතාන්‍යයෙන් නිකුත් කෙරුණේ 1999 දීය. නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් වාගේම තනු නිිර්මාපකයන් ද මුද්දරයකින් පිදුම් ලබා ඇත.

හොලිවුඩයේ නම් කලාකරුවන් පමණක් නොව සිනමාපට ද මුද්දරයකට නැගුණ අවස්ථා කිහිපයකි. ඇකඩමි සම්මානයට නිර්දේශ වී වසර පනහක් පිරීම නිමිත්තෙන් ‘ද විසාඩ් ඔෆ් ඌස්’, ‘ගෝන් විත් ද වින්ඩ්’, ‘බියු ගෙස්ටෙ’, ‘ස්ටේජ් කෝච්’ සිනමාපට මුද්දරයකට නැඟී ඇත්තේ 1990 දීය.

මුද්දරයට නැගුණු යුවතිපතීන්

හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේ ද මුද්දරයට නැගුණු යුවතිපතීහු සිටිති. භාරතයේ හින්දි, දමිළ සහ තෙලිගු සිනමා කර්මාන්තයේ ජෝඩු හයක් වෙන් වෙන් වශයෙන් මුද්දරයකින් පිදුම් ලබා තිබේ.

දේවිකා රාණි සහ ඇයගේ සැමියා ස්වෙතොස්ලව් රොයෙරිච්, ජෙමිනි ගනේෂ් සහ සාවිත්‍රි, කිශෝර් කුමාර් - මධුබාලා යුවළ, සිනමාවේ අමරණීය ආදරවන්තයන් වූ රාජ් කපූර්, නාගිස් ඒ අතර සුවිශේෂීය. නූටාන්, මීනා කුමාරි, ලීලා නායිදු නිළියන් ද මුද්දරයෙන් උපහාර ලබා තිබේ.

ලෝක සිනමාවේ සර් ලෝරන්ස් ඔලිවියර් සහ විවියන් ලෙ, ලයනල්, එතල්, ජෝන් බැරිමෝ පවුල, ඇල්ෆ‍්‍රඩ් ලුන්ට් සහ ලින් ෆොන්ටනෙ, ලුසී බෝල් සහ ඩෙසි ආනස් මුද්දරයකින් පිදුම් ලැබූ යුවතිපතීන්ය.

අන්තර් ජාලයෙනි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව