වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ධම්ම ජාගොඩ සිහි කරමි මෙසේ

ලයනල් වෙන්ඩ්ට් රඟහල අමතක වේද
එහි ගුරුතුමා ගැන කිසිවක් කිව හැකිද
කලාකරුවො කෙතරම් එහි බිහි වුණිද
පතාක යෝධයෙක් ලෙස සිටියා නොවෙද

රැඟුම ගැයුම උපතින් ගෙන ආවේය
වැදි රජු මනමෙ එක ලෙස රඟ පෑවේය
සිනමාවේ දස්කම් පෙන් වූයේය
රූපවාහිනිය ලස්සන කරවීය

වයසින් අඩක්වත් ජීවත් වුණ් නැත
අහිමි වුණා රටකට තිබුණු සම්පත
ගොලයෝ රටේ දස්කම් පානවා ඇත
නිවනට පෙර එන්න තනතුරු හිස්ව ඇත

ආර්.ඒ සෝමා රණසිංහ



යුග යුග රැව් දෙන සිසිර - ඉන්ද්‍රාණි නාමය

කිංකිණි හඬපරයන ඔබෙ ගී නාදේ
ගැයු ගීත මිහිර අප හදවත්වල රැව් දේ
ගොළු හදවතේ ධම්මි වී ආදරයම පිදේ
ආදරෙයි අපි ආදරෙයි හැමදාමත් නිබඳේ

සිසිර ඉන්ද්‍රාණි නාමය කිසිදා අමතක නොම වේ
ඒ අඩුව පුරවන්න සමීර පුතු ආවේ
සතුටකි එය අපට නිරතුරු ගෙන ආවේ
මව් පුතු ප්‍රසංගය ජය කෙහෙළි නැංවේ

සෝමා එච් පතිරණ
පන්සල පාර
කහවත්ත


දයාබර හිමියනි

මගේ හිමි ඔබයි පැතුවේ මං හැමදාම
මතු මතුවටත් පතමී මං හැමදාම
කවදා කොතැන හමුවෙයිදෝ සිතුනාම
ඔබහට නිවන් සුව පතමි හැමදාම

(පසුගිය අප්‍රේල් මස 27 වැනිදා අභාවප්‍රාප්ත හඬකැවීම් ශිල්පී එඩ්වින් බටුවත්ත වෙනුවෙනි)
ප්‍රිය බිරිය
චන්ද්‍රිකා බටුවත්ත
රාගම


සුනිල කුල මිහිඳු

සැමදා
වෙසක් සඳ
බැස යන සඳ
නිනැතින්ම
සිහි වෙයි ඔබ සබඳ
සසල කර හද
සුනිල කුල මිහිඳු

සරසවියෙ
මුල් පිටුවෙ හිඳ
අප හා බැඳී සෙනෙහස
රස බෙදූ රසඳුන
මතකය අවදි වෙයි
බැස යන සඳ
වෙසක් සඳ

කලාභූෂණ ඊ. ඩී ශ්‍රියාපාල


සුනෙත් වල්පොලට ආශිර්වාද

නැසී ගිය ජනප්‍රිය ගායක ධර්මදාස වල්පොල කලාකරුවාණන්ගේ සුමියුරු ගීත නව පරපුර වෙත දායාද කිරීමට එම ගීත සුරක්ෂිත කිරීම සඳහා ඔහුගේ පුත් සුනෙත් වල්පොල කලාකරුවා සිදුකරන මෙහෙවර ඉතාමත් ප්‍රසංශනීය යි. එම කටයුතු සාර්ථකව කරගෙන යාමට ඔහුට අපගේ ආශිර්වාදය.

නන්දන වික්‍රමසිංහ

අසන්තා කුසුම්

පිටුම්පේ පාදුක්ක


 

සිනමාවට නැතුව බැරි හඬ

ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනි ඔබගේ හඬ අද සිංහල සිනමාවට නැතුවම බැරි හඬක් බවට පත් වෙලා. එදා ලතා, සුජාතා, ඇනජලීන් වැනි ප්‍රවීණ ශිල්පිනියන් ගීතවත් කළ සිංහල සිනමා සංගීත ලොවට ඔබ අද එක් වෙලා.

ෂෙහාන්

අනුරාධපුර


පැරණි සිනමාව යළි දකින්නට

පැරණි නළු නිළියන් සිනමාවේ කළ දස්කම් අදටත් අප සිහි කරන්නේ වටිනාකම නිසාමය. අද වන විට එවැනි දක්ෂයන් බිහිවනු දැකිය නොහැකිය. ඔවුන්ගේ රංගනයන් ඇතුළත් පැරණි සිනමා නිර්මාණ සමහරක් අද නොමැත. නමුත් ඉතිරිව තිබෙන සිනමාපට අපට නැරඹීමට අවස්ථාව උදා වේවා.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල


අයෝමි ගායන ලොව ජය කෙහෙළි නංවන්න

රණවිරු සෙබළියක සේ ප්‍රතිඥා දී ගිනි අවිය අතට ගෙන රට දැය සුරැකීමට හමුදා සේවයට බැඳුණත් රණවිරු රියැලිටි ගී වැඩසටහනෙන් කිරුළ පැළැඳී රැජන අයෝමි, ඔබට ඇත්තේ ළයාන්විත මධුර හඬකි. ඉදිරියේදී මෙරට ගායන ලොව ජය කෙහෙළි නංවන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

එස්. ඒ ප්‍රේමලතා

රුක්ගහතොටුපොල

බණ්ඩාරගම


කීර්ති පැස්කුවල්ට

සුබ පැතුම්

කීර්ති පැස්කුවල් ගායකයාගේ ගායන දිවියට හතලිස් වසරකි. එය නිමිති කොට ගෙන පසුගියදා පැවැති ප්‍රසංගයේ ආදායමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ගොඩනැඟිල්ලක් තැනීමට වෙන් කිරීම පිං කටයුත්තකි. එමෙන්ම තමන්ට සංගීත ක්ෂේත්‍රයට පැමිණීමට උපකාර කළ අය ඇගැයීම අගය කරමි.

දිනේෂ් ගුණසේකර

මාතර


සුනිල් ඇගයීමට

තුති මල්

සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල ඇගයීම පිළිබඳ සමන්ත හේරත්, බුද්ධදාස ගලප්පත්ති දෙපළට අපගේ භක්ති ප්‍රණාමය.

සරත් රණසිංහ

කපුගොඩ

මාලිඳ


සියපත් අරමේ

ජයනි විශිෂ්ටයි

'සියපත් අරම' ටෙලි නාට්‍ය තුළ දිරිය කතක් ජීවිතයට මුහුණ දෙමින් විවිධ ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන ආකාරය ජයනි සේනානායක රංගන ශිල්පිනිය අතිවිශිෂ්ට ආකාරයෙන් ඉදිරිපත් කරන්නීය. අසීමාන්තික රංග සෝබාවත්, චරිතාංග රංගනයටත් ජයනි දක්වන විශිෂ්ඨත්වය අපූරුයි. ඔබට ජය.

එච්. ඉන්ද්‍රපාල

ශ්‍රී සංඝමිත්තා මාවත

මුංහේන


එදා සුපිරි තරු වෙනුවට

ගාමිණි, ටෝනි, ඔස්වල්ඩ්, විජය වැනි නළුවන් සේම නොවූවත් රොෂාන් රණවන, හේමාල් රණසිංහ, බුද්ධික ජයරත්න වැනි නළුවන් වර්තමානයේ ඉදිරියට පැමිණ ඇති බව මගේ හැඟීමයි.

කෙනත් පෙරේරා

වැලිගම්පිටිය

ජා-ඇල


සුන්දර ගායකයා

එම්. එස්

මීට දශක කිහිපයකට පෙර සංගීත ක්ෂේත්‍රයට පිවිසීමෙන් අනතුරුව ගීත රැසක් ගායනා කරමින් සිංහල චිත්‍රපට වෙනුවෙන්ද ගී ගයා සිනමාවද ගීතවත් කළ සුන්දර ගායකයකු ලෙස එම්. එස් ප්‍රනාන්දු හැඳීන්විය හැකිය. චිත්‍රපට කිහිපයකට රංගනයෙන්ද එක් වෙමින් පෙන්වු රංගන හැකියාවද අමතක නොවේ. "රන්වන් වත බබලයි", "පෙම් ලොව නින්දෙදි", "සමරු පොතේ", "මම ටැක්සි කාරයා", "මම එන්නේ ඩුබායි රටේ ඉඳලා", "මරීනා - මරීනා", වැනි ජනප්‍රිය ගී රැසකින් අප පිනවූ ඔබ අද අප අතර නැතත් ඔබේ ගී හඬ තවමත් අප හදේ රැඳී ඇත.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මුදුකටුව


තව තවත් බලන්නට

සිත් දෙන බන්ධනය

බන්ධනය සිනමාපටය දෙතුන් වරක් නැරඹීමට සිත් දෙන අපූරු සිනමා නිර්මාණයකි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

කොටුගොඩ


ප්‍රේම් ජයන්ත් - ෆ්ලොරීඩා

සොඳුරු මතක

එදා ජනප්‍රිය නළු නිළි යුවළ ප්‍රේම් ජයන්ත් - ෆ්ලොරීඩා ජයලත්, දෙපළ රංගන දායකත්වයෙන් ඔප් නැංවූ 'සුජාතා', 'සැඩ සුළං' වැනි චිත්‍රපට අදටත් අප සිත් තුළ සොඳුරු මතකයන්.

එච්. එල් තිලකසිරි ද සිල්වා

මරදාන වත්ත

මීටියාගොඩ


ශිවංකර හිමිපාණන්ට

නිවන් සුව

පූජ්‍ය රත්නපුර ශිවංකර හිමිපාණෝ අපවත් වූ පුවත අසා ශෝයට පත් වීමි. උන්වහන්නේ ගිහි කල ඩී. කීරගල ආරච්චි නමින් චිත්‍රපට තිරකතා රචකයෙකු විය. පසු කලෙක බුදු සසුන කෙරෙහි පැහැදීමෙන් අනතුරුව සසුන්ගත වුවත් උන්වහන්සේ දෙසු ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට වරම් නොලැබීම කනගාටුවකි. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

සරත් ලියනගේ

රන්මුතුගල, කඩවත


බලන්න

ලස්සන වැඩසටහන

අඟහරුවාදා දින රාත්‍රී ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන 'රිදී නිම්නය' වැඩසටහන සිනමා ප්‍රේක්ෂකයින්ගේ සිත් මනා සේ ප්‍රබෝධමත් කරවන චිත්‍රපට ගීත දර්ශන ඇතුළත්ව කදිමට ඉදිරිපත් කිරීම අගයමි. 'රිදී නිම්නය' බලන්න ලස්සන වැඩසටහනකි.

තිලකරත්න විල්වල

මැණිකේ විල්වල

තටාකය පාර, කෑගල්ල


සරසවිය පාඨක

ලොකු අයියා

සරසවිය පාඨක අපගේ ලොකු අයියා වූ වියානි ගුණවර්ධනගේ අභාවය පිළිබඳ අප සැමගේ හදවත්හි නැඟෙනා ශෝකය මෙසේ ප්‍රකාශ කරමු. වියානි ගුණවර්ධනයන්ට සදා මෝක්ෂ සැපත උදා වේවායි පතමු.

සුසිලා පතිරාජ

පුබුදුගම

උස්වැටකෙයියාව


සඳුන් පෙරේරාට

කටු කොහොලින් පිරුණු දුෂ්කර මාවතක් ඔස්සේ පය තබමින් ඉදිරිය ජයගත් ඔබ ගැයූ සෑම ගීතයක් තුළින්ම ජනප්‍රියත්වය හිමිකර ගත් සදා ආදර සඳුන් සොයුර ඔබට දැන් හිමි ම් මවත පය තබමින් සැමගේ ආදරය දිනා සංගීත ලොව ජය ගනීමට ශක්තිය ලැබේවා.

සුනිල් බී වේහැල්ල

ගෝනපොල


අනූෂා සොනාලිට

පිහිට වෙමු

සිනමාවේ දස්කම් දැක්වූ අනූෂා සොනාලි මේ වනවිට රෝද පුටුවේ ආධාරයෙන් දැඩි ලෙස අසරණව වේදනාකාරි ජීවිතයක් ගත කරමින් සිටින්නීය. ඇයට හැකි පමණින් උපකාර කිරීමට හිත් යොමු කිරීමට කාලය යි මේ. අනූෂා ඔබට ඉක්මන් සුවය ලැබේවා.

පාලක සමන් පෙරේරා

අල්විස් ටවුම පාර

හැඳල