වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා රූපකරණයේදී තාක්ෂණයෙන් ඔබ්බට යෑමට මා කැමැතියි

සිනමා රූපකරණයේදී තාක්ෂණයෙන් ඔබ්බට යෑමට මා කැමැතියි

විශ්වජිත් කරුණාරත්න

ඇත්තටම ටෙක්නික්ස් වලට මම එච්චර කැමැති කෙනෙක් නෙමෙයි. කැමරා ශිල්පියකුට තාක්ෂණික ක්‍ර‍මවේදවලින් පමණක් සිනමැටොග්‍රැෆර් කෙනෙක් වෙන්න බැහැ කියන දේ මගේ පෞද්ගලික මතය. තාක්ෂණය එක්තරා සාධකයක් විතරයි. ඔහු ඊට එහා ගොස් තමන් දකින දේශපාලනය, තමන් දකින ලෝකය ඒ වෙන දේවල් අත්දැකිය අත්විඳීය යුතුයි. මේ චිත්‍ර‍පටය තුළත් මම මුලින් ම කළේ අධ්‍යක්ෂවරයා විසින් මතු කරන්න හදන රූප සහ ඔහුගේ විෂන් පිළිබඳ හොඳ අධ්‍යනයක නියැලීමයි. ඉන් පසු අපි හදා ගත්තා වෙනස්ම විදිහේ visual Treatment එක්ක කතාවේ මුල් අදියර සහ පසු අදියර විදිහට කොටස් දෙකකට වෙන් කර කොළඹ සහ කොළඹින් පිට රූ ගත කළා.

එකිනෙකට වෙනස් රූපක මතු කරමින් වෙනස්මවූ සිනමාරූපකරණයේ යෙදීමෙ දක්ෂයකු වන විශ්වජිත් කරුණාරත්න පසු ගියදාක ප්‍රංශයේ නීස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළලෙහි සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ විදේශ භාෂිත සිනමාපට අංශයේ හොඳම කැමරාකරණයට හිමි සම්මානයෙන්. ඔහුට මේම සම්මානය හිමි වන්නේ ප්‍රියන්ත කලුආරච්චි ගේ කුලුඳුල් නිර්මාණය වූ ‘රතු සමනළ හිනයක්‘ චිත්‍රපටයෙහි කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙනි. මේ කතා බහ ඒ වෙනුවෙනි.

කැමරාකරණයට අත් පොත් තබන්නේ ?

මගේ ලොකු අක්කා Still Photographer කෙනෙක්. ඇය වැඩ කරන හැටි බලන් ඉඳලා මටත් ඒ කැමැත්ත ඇති වෙනවා..පසු කාලීනව පාලිත පෙරේරා සහ චන්න දේශප්‍රිය යන ගුරුවරු යටතේ මම වැඩ කරන්න පටන් ගන්නවා. හරියටම කිව්වොත් විශ්වජිත් කරුණාරත්න කියන්නේ පාලිත පෙරේරා සහ චන්න දේශප්‍රිය යන ගුරුවරුන්ගේ සොයා ගැනීමක්. ඔවුන් ගේ ආභාසයෙන් තමයි මම හැදුනේ..

මේ අන්තර් ජාතික සම්මානය ඔබට කෙහොමද දැනෙන්නේ?

ඒ ගැන ඇත්තටම සතුටුයි..හැබැයි සම්මාන මත සමස්තයම තීරණය කරන්න බැහැ කියන තැන මම ඉන්නවා. මේ රටේ ඉන්න බුද්ධිමතුන්, උගතුන් ගේ සම්මානය නැතිනම් විචාර සම්මාන මට වඩාත් වැදගත්. එය තමයි මගේ ඊළඟ නිර්මාණයට මාව දිරිමත් කරන්නේ.

ඔබේ ප්‍ර‍ථම කැමරාකරණ දායකත්වය කුමක්ද?

'Flying Fish' තමයි මගේ පළමු සිනමා කැමරාකරණය වුණේ. ඉන් පසු ‘වරිග පොජ්ජ‘ , ‘මෝටර් බයිසිකල්‘, ‘රතු සමනල හිනයක්‘, ‘නයිට් රයිඩර්‘ ,‘මුරුග සන්නිය‘ වැනි නිර්මාණවලට දායක වුණා. ඉන් සමහරක් තවමත් සංස්රකරණය වෙමින් තිබෙන චිත්‍ර‍පට.

මේ සම්මානය ලැබෙන්නේ?

මගේ හතරවන චිත්‍ර‍ටයටයි.

ඔබ බොහො විට කැමරාකරණයෙන් දායක වී තිබෙන්නේ නවක නිර්මාණකරුවන්ගේ කුලුදුල් සිනමාකරණයටයි?

මම කරපු බොහොමයක් චිත්‍ර‍පට අධ්‍යක්ෂවරුන්ගේ කුලුඳුල් චිත්‍ර‍පට වුණා. එය අහඹු සිදුවීමක් වගේම මා ලැබු එක්තරා භාග්‍යයක් ලෙස හිතන්නත් පුළුවන්. මොකද සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය. එහිදි ඔහුට අලුත් දැක්මක් තියෙනවා. මගේ කාර්යය ඒ විෂන් එකට මම කෙහොමද ෆොටෝ Photography visual Treatment දෙන්නේ කියන එකයි.ඉතින් ඒ නැවුම් බලාපොරොත්තු එක්ක තමයි හැම වෙලේම මම ඔවුන් සමඟ වැඩ කරන්නේ.

රතු සමනළ හීනයක් චිත්‍ර‍පටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහාමද?

එය ප්‍රියන්ත කලු ආරච්චිගේ නිර්මාණයක්. ඔහු හා මගේ මිතුරන් රැසකගේ ආරධනයකට අනුවයි මම ඊට සම්බන්ධ වෙන්නේ. ඉන් පසු ඔහුගේ අදහස මම කැමරාවට ගන්නා විදිහ පිළිබඳ අප කිහිප විටෙකම දිර්ග කතා බහක යෙදුණා.

මේ චිත්‍ර‍පටය සඳහා ඔබ විශේෂයෙන් භාවිත කළ තාක්ෂණික ක්‍ර‍මවේද හෝ උපක්‍ර‍ම තිබුණාද?

ඇත්තටම ටෙක්නික්ස්වලට මම එච්චර කැමැති කෙනෙක් නෙමෙයි. කැමරා ශිල්පියකුට තාක්ෂණික ක්‍ර‍මවේදවලින් පමණක් සිනමැටොග්‍රැෆර් කෙනෙක් වෙන්න බැහැ කියන දේ මගේ පෞද්ගලික මතය. තාක්ෂණය එක්තරා සාධකයක් විතරයි. ඔහු ඊට එහා ගොස් තමන් දකින දේශපාලනය, තමන් දකින ලෝකය ඒ වෙන දේවල් අත්දැකිය අත්විඳීය යුතුයි. මේ චිත්‍ර‍පටය තුළත් මම මුලින් ම කළේ අධ්‍යක්ෂවරයා විසින් මතු කරන්න හදන රූප සහ ඔහුගේ විෂන් පිළිබඳ හොඳ අධ්‍යයනයක නියැළීමයි. ඉන් පසු අපි හදා ගත්තා වෙනස්ම විදිහේ visual Treatment එක්ක කතාවේ මුල් අදියර සහ පසු අදියර විදිහට කොටස් දෙකකට වෙන් කර කොළඹ සහ කොළඹින් පිට රූ ගත කළා.

ඒ පිළිබඳ ඔබ දිර්ඝ කාලිනව සැලසුම් කරන්නත් ඇති?

අනිවාර්යනේම. පිටපත ලැබුණ දා සිට අධ්‍යක්ෂවරයාගේ සිතිවිල්ල එක්ක මම කොහොමද මේ නිර්මාණයට මගේ නැවුම් ට්‍රිට්මන්ට එක දෙන්නේ කියන තැන සිට හැම සීන් එකක් ගැනම කතා බහ කළා. ඒ නිසා ලෝකේෂන් එකට යද්දි අපට කලින්ම් ඒ ගැන රූපකයක් මවා ගන්න පහසු වුණා.

කැමරාකරණ්යේදී ඔබට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද?

මම බාර ගන්නා හැම නිර්මාණයක්ම මට අභියෝගාත්මකයි. එකම ෆිල්ම් එකක් දෙපාරක් කෙරෙන්නේ නැහැ නේ. එනිසා නිර්මාණයට දිය යුතු අපූර්වත්වය පිළිබඳ මට සැහෙන වගකිමක් තිබෙනවා..එය අභියෝගයක්. හැබැයි ඒ අභියෝගය තුළ සාර්ථක වීමේ සම්භාවිතාව තියෙනවා යැයි මම විශ්වාස කරනවා.

නවක අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කිරීමේදී යම් යම් ගැටලු මතු වූ අවස්ථා ඇති ?

කොහෙත්ම නැහැ. මේ වන තෙක් කිසිම අධ්‍යක්ෂවරයෙක් සමග ගැටලු ඇති වෙලා නැහැ. මගේ වෘත්තිය ගැන මම සවිඥානිකයි..මම හැමවෙලේම දන්නවා සිනමාව කියන්නේ අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක් බව. එනිසා මම මුලින්ම තේරුම් ගත යුත්තේ අධ්‍යක්ෂවරයායි. එවිට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.

සිනමාරූපණයට එක් වන නවකයන් මුහුණ පාන ගැටලු මොනවද?

සමස්තයක් විදිහට වර්තමානයේ කිසිදු ප්‍ර‍මිතියකින් තොරවූ ලාංකේය සිනමාවම දැන් ගැටලුවක් වෙලා තියෙන්නේ. අපේ පරම්පරාවේ කට්ටියට හා අපට ඉහළ පරම්පරාවටත් මෙය පොදුයි. එය අඩු වැඩි වශයෙන් අපිටත් බලපානවා වගේම අපෙන් පසු පරම්පරාවටත් බලපානවා..

ඔබේ විෂය ධාරාව තුළ ඔබට අභියෝග වු ශිල්පීන් ගැන ඇසුවොත්?

ඇත්තටම නැහැ. මොකද එක සිනමැටොග්‍රැෆර් කෙනෙක්ගෙන් බිහි වෙන්නේ ඔහුයි. ඉතින් එය කවදාවක්වත් වෙනත් සිනමැටොග්‍රැෆර් කෙනෙකුට අභියෝගයක් වෙන්නේ නැහැ. අපි එක් එක්කෙනාට තිබෙන්නේ විවිධ ක්‍ර‍මවේදයන්. එය තව කෙනෙක් අභියෝගයක් කියලා බාර ගැනීම වැරැදියි. කිසිම විටෙක සිනාමාරූපකරණයේ අනුගමනයක් හෝ අනුකරණය කිරීමක් කරන්න බැහැ. හැබැයි ආභාසය ලබන්න පුළුවන්. හරියටම කිව්වොත් මේ ක්ෂේත්‍රයේ ප්‍ර‍වීණයන් සිනමාවේ හදපු රූප අප අභාසය ලැබුවා වගේ.

ලෝක සිනමාවේ ඔබ අභාසය ලබන කැමරා ශිල්පින් ඉන්නවාද?

එමාන් විල්දෙස්කි, වගේ ගොඩක් ඉන්නවා. සිනමැටොග්‍ර‍ස්ලා ගෙන ලබන අභාසය වගේම අපි ඊටත් වඩා අධ්‍යයනය කළ යුතු දේවල් තියෙනවා. සංගීතය, චිත්‍ර‍, රටේ දේෂපාලනය, ලෝක දේශපාලනය වගේ අධ්‍යනයන් අවශ්‍යයි. අපි ඇත්තටම තිබිය යුත්තේ ඇකඩමික් නැතිනම් ශාස්ත්‍රීය දැනුමම නෙමෙයි, ප්‍රයෝගිකව අධ්‍යයනය කිරීමත් වඩාත් වැදගත්. මේ දෙවිදිහෙන්ම කට්ටිය හැදෙනවා. මම නම් එහෙම ඇකඩමික් පසු බිමක් තියෙන කෙනෙක් නෙමෙයි. මම හැමවෙලේම ප්‍රායෝගික ක්‍ර‍මය තමයි අනුගමනය කරන්නේ. එවා අධ්‍යයනය කිරීමෙන් තමයි මම ඉගෙන ගන්නේ.

අන්තර්ජාතික සම්මාන විශ්වජිත්ගේ ඉල්ලුම තවත් වැඩි කරාවී?

ඔව්. සමහර විට ඒය එහෙම වෙන්නත් පුළුවන්.