|
මේ එයා නෙවෙයි
නොසිතූ වෙලාවක නොසිතූ අන්දමින් පණිවිඩයක් ඇවිත් මායා දමයන්ති සහ ඇගේ දියණි කුෂානි සඳරේඛාට. තමන්ට හිතවත් ජනප්රිය ගායකයකු මිය ගිහින් කියන වගටයි ඔවුන්ට එලෙස දැනගන්නට ලැබිලා තියෙන්නේ. මේ ගායකයා මායාත් එක්ක කියපු එකම ගීතයත් ඉතාම ජනප්රියයි. ඊටත් වඩා ඔහු මායාලගේ පවුලේ හිතවතෙක්. කිහිප දෙනෙකුටම ඒ අසුබ ආරංචිය පවසලා මායා සහ කුෂානි වහාම ඒ ගායකයාග් ගෙදර බලා පිටත් වුණාලු. ගායකයාගේ ගෙදර ඉස්සරහ සුදු කොඩි එහෙමත් දාලා. සොවින් පිරි වත මඬලින් යුතුව මායා සහ කුෂානි නිවසට ගොඩ වෙද්දී ඒ ගායකයාගේ දියණි සුදු ඇඳ ගෙන ඇවිත් දෙන්නව පිළිගත්තලු. ඔවුන් දේහයට අවසන් ගෞරවය දක්වන්න ඇතුළට ගියාමලු තවත් පුදුම වුණේ. දේහයේ මුහුණ වෙන කෙනෙකුගේලු. කුෂානි හොරෙන් මායා දිහා බැලුවලු. ඇයත් තුෂ්නිම්භූතව සිටිනවලු. බැරිම තැන ගායකයාගෙ දුවගෙන් ඇහැවවලු කෝ අහවලා කියලා. "ඔය කාමරේ ඉන්නේ. තාත්තට ටිකක් අසනීපයි' ඇය එහෙම කියලා කාමරේට අත දිගු කරලා. මායා, කුෂානි කාමරේට ගිහිල්ලා ගායකයත් එක්ක තමන්ට ලැබුණු ආරංචිය ගැන කියලා. ගායකයා බක බක කාලා සිනහා වෙනවලු. බැලින්නම් මේ නැති වෙලා ඉන්නේ ගායකයාගේ දුවගේ සැමියාගේ තාත්තා. සංගීත අධ්යක්ෂ සරත් ද අල්විස්ටත් ගායකයා මිය ගිහින් කියලයි ආරංචිය ලැබිලා තියෙන්නේ. සරත් ද වහ වහා නිවසට ඇවිත්. මායා, වික්ටර් විජයන්තටත් කියලා මේ ගායකයා නැති වුණා කියලා. ඒක අහලා ඒකටත් හිනාවුණු ගායකයා එවලේම දුරකතන ඇමතුමක් ගන්න හැදුවලු මායා දමයන්තිගේ සැමියා වික්ටර් විජයන්තට. අපි ආවා කියලා උඹ මෙහෙම හිනාවෙවි ඉන්නවා. අපි හිතුවේ උඹ මැරිලා කියලා. ඒකයි හදිසියේම මෙහාට ආවේ. දැන් වික්ටර්ට කතා කළොත් මිනිහා බයවේවි. සරත් එහෙම කිව්වලු.
|