|
රන්ජන්ට බොහොම ස්තූතියිසිනමාවේ ලස්සන කෙල්ල ගීතා කුමාරසිංහ
පසුගියදා මහරගම තරුණ සේවා සභා රඟහල සොඳුරු වෙස් ගති. රඟහලේ වේදිකාවත්, ප්රේක්ෂාගාරයේත් වූ සොඳුරු බව පැවසුවේ එහි පැවැත්වෙන මංගල්ලයක අසිරියයි. ඒ මංගල්ලය අනෙකක් නොව දෙරණ ස්ටාර් සිටි තරු සංග්‍රාමයයි. එනම් කණ්ඩායම් පහක් අතරින් අවසන් මහා තරගයට තරග වදින්නට වාසනාව උදා වූයේ කණ්ඩායම් දෙකකට පමණි. ඒ සුරූපී ගීතා කුමාරසිංහගේ රෝයල් ෆයිටර් කණ්ඩායමට හා සුපිරි නළු රන්ජන් රාමනායකගේ ගෝල්ඩන් කිංග්ස් කණ්ඩායමට ය. ගීතා සහ රන්ජන් අතර පැවැති මහා සීතල යුද්ධයට සැරසුණු වේදිකාව පෙරමං බලා සිටියේ ඔවුන් දෙදෙනා ඇතුළු කණ්ඩායම්වල අනෙක් අයගේ පිවිසීමයි. එක් වරෙක ගීතා ඇතුළු කණ්ඩායමත්, තවත් වරෙක රන්ජන් ඇතුළු කණ්ඩායමත් පැමිණ වේදිකාවේ පෙළහර පෑවේ එකිනෙකාට නොදෙවැනි ලෙසිනි. තරගකරුවන් දෙදෙනා වෙනුවෙන් පැමිණි පිරිස් ප්‍රේක්ෂාගාරයේ සිට නැඟූ ඔල්වරසන් හඬ සිහිපත් කළේ පුංචි ඡන්දයකි. විවිධ අයුරින් වේදිකාවේ පෙළහැර පෑ ඔවුන් අතරින් අවසානයේ සුරූපී ගීතා ඇතුළු රෝයල් ෆයිටර් කණ්ඩායමට ජය ලැබිණි. ඒ ලැබූ ජයත් සමඟ උද්දාමයට පත් රෝයල් ෆයිටර් කණ්ඩායමේ මේ ජයග්‍රහණය පසුපස තිබෙන රහස ඇසීමට දින කිහිපයකට පසුව අප පිවිසියේ ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහගේ සොඳුරු නිවහනටයි. සුපුරුදු සෙනෙහසින් ඇය අපව පිළි ගත්තා ය. “මගේ අවධානය මේ දවස්වල යොමුවෙලා තිබෙන්නෙ රටේ ඇතිවෙලා තිබෙන කාලීන ප්‍රශ්නයත් සමඟයි. පසුගිය දවස් කිහිපයේම මා කළේ මේ ගංවතුරවලින් විපතට පත්වුණු අයට උදවු කරන එකයි. දෙරණ ස්ටාර් සිටි තරු සංග්රාමයෙන් ලැබුණු මුදල් සියල්ල ම මා වැය කළේ ඔවුන්ට අවශ්‍ය දේ මිලට ගැනීමටයි.” මේ දිනවල කාගේත් තුඩ තුඩ රැව්දෙන ගංවතුර ගැටලුව පිළිබඳ කතාබහ කරමින් ම ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ සිය කතාව ආරම්භ කළා ය. කුඩාකල පටන් ම හබුරුගල ග්‍රාමයේ හැදී වැඩුණු ගීතා සමන්මලී කුමාරසිංහ සිය කලා ගමන අරභන්නේ සිනමාවෙනි. ඒ කේ.ඒ. ඩබ්. පෙරේරාගේ ‘වාසනා’ චිත්‍රපටයේ රඟපාමිනි. එහෙත් පළමුව තිරගත වන නීල් රූපසිංහගේ ‘ලස්සන කෙල්ල’ චිත්‍රපටය ඔස්සේ සිනමා ප්‍රේක්ෂකයාගේ හදවත අරක් ගන්නා ඕ මෙරට ජනතාව අතර ප්‍රකට වන්නේ සිනමා නිළියක ලෙසිනි. දක්ෂතා රැසකින් පිරිපුන් නිළියක වන ගීතා කුමාරසිංහ පසුගිය දිනක පුංචි තිරයේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ රූපවාහිනි නරඹන්නන් අතරට ද පිවිසුණේ සියල්ලන් ම පුදුමයට පත් කරමිනි. “ඔබ රියැලිටි වැඩසටහනකට පිවිසෙන්න සිතුවේ ඇයි?” “සමහර වෙලාවට මා ගන්නේ සියල්ලන් ම පුදුම කරවන තීරණයි. ‘දළදා ගමනය’ චිත්‍රපටයේ පුංචි චරිතයක් කළා ඇරෙන්න වසර පහළොවකින් පමණ චිත්රපටයකවත් රඟපා නැහැ. ඒ අතර ටෙලි නාට්‍යවලට රඟපෑමට ආරාධනා කළත් ඒ කිසිවකටත් සහභාගි නොවෙමියි සිතාගෙන සිටි මා දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට යන්න තීරණය කරනවා. ඒ ඔවුන් කතාකර දින දෙකකට පස්සේ. ඒ තීරණය ගැනීමට යම් කාරණයක් බලපානවා. ඒ දින දෙක ඇතුළතදි වෙනත් කටයුත්තකදී මට මුණ ගැසෙන චන්න විජේවර්ධනයන් නිසයි. ඔහු පවසන්නේ ඔබ ඒ වගේ වැඩසටහනට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු බවත්, එහිදි මිනිස්සු නොදන්න ඔබගේ දක්ෂතා පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගන්න යනුවෙන්. රියැලිටි වැඩසටහනට සහභාගි වන බව මා දෙරණට දැනුම් දුන්නේ ඉන් පස්සේ.” දෙරණ ස්ටාර් සිටි වැඩසටහනට කැමැත්ත දුන්නාට පසුව එහි පැවරුණු වැඩ කොටස දුටු ගීතාට එහි තිබෙන බරපතළ බව වැටහීමට වැඩි දිනක් ගත නොවිණි. ඒ සඳහා වැය කළ යුතු කාලය ද සුළු පටු නොවීය. කණ්ඩායමේ සියල්ලන්ගේ ම වගකීම පැවරී තිබුණේ ඈ කරපිට ය. “කණ්ඩායම් නායිකාව ලෙස මේ තරගයේ අවසානය දක්වා යෑමට ඔබ මුලින් ම කළේ කුමක් ද?” “මා පළමුවෙන් ම කළේ මගේ කණ්ඩායම සමබර කර ගැනීමයි. කණ්ඩායමක ඔක්කෝම ගී ගයන අය විතරක් සිටියට කණ්ඩායම සමබර වෙන්නේ නැහැ. ඒ නිසා නිලන්ති ඩයස්ව කණ්ඩායමට එකතු කර ගත්තා. එම්.ජී. ධනුෂ්ක මුල ඉඳලා ම කණ්ඩායමේ සිටි කෙනෙක්. ඔහු ගයන්නේ එක් වර්ගයක ගීත පමණයි. ඒ නිසා ශාස්ත්‍රීය ගීත කියන කෙනෙකුත් අපේ කණ්ඩායමට අවශ්‍යයි. රවීන් ගැන මා මීට පෙර අහලාවත් තිබුණේ නැහැ. ඒත් ඔහු දක්ෂයෙක්. රංගනය, ගායනය, නර්තනය කියන අංශ තුනටම දක්ෂ ඔහුවත් කණ්ඩායමට බඳවා ගත්තා. මේ අතර හොඳට හැඩි දැඩි කෙනෙකුත් අපේ කණ්ඩායමට අවශ්‍ය වුණා. ඒ අනුවයි මා සහන්ව ඒ සඳහා තෝරා ගන්නේ. ඔහු නදීකා ගුණසේකරගේ සහෝදරියකගේ පුතෙක්. ඒ වනවිටත් ඔහු චිත්‍රපට කිහිපයකම රඟපාලයි තිබුණේ. ඒ අනුව අපේ කණ්ඩායම සමබර වුණා.” සමබර කරගත් කණ්ඩායම සමඟින් ගීතා කුමාරසිංහ දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේ අනෙක් තරගකරුවන් සමඟ තරග බිමට පිවිසියේ ඒ අයුරිනි. “තරගය දිනන්නට කණ්ඩායමේ තරග කරුවන්ගෙන් ලැබුණේ කුමන අන්දමේ සහයෝගයක් ද?” “අපි සියල්ලන් ම එකතු වී දිවා රෑ නොබලා පුහුණුවීම් කළා. සමහර දවසක හවස පහට ආරම්භ කරන පුහුණු වීම් අවසන් වෙන්නේ ඊට පසුවදා පහටයි. මගේ චිත්‍රපට ජීවිතයේදීවත් ඒ වගේ කැපවීමක් මා කර නැහැ. සමහර නිර්මාණ කිරීමේදී පිටපත නිර්මාණය කිරීමට මට කණ්ඩායමේ සියල්ලන්ගෙන් ම ලැබුණේ නොමඳ සහයෝගයක්. සියල්ලන්ගේ ම අදහස් විමසීමෙන් පසුව හොඳ ම දෙයයි අප නිර්මාණවලට මුසුකර ගත්තේ. ඒ සියලු දෙනාගේ කැපවීමයි තරගය ජයග්‍රහණය කිරීමට හේතුවුණේ.” රෝයල් ෆයිටර් කණ්ඩායමට පුහුණු වීම් සඳහා සියලු ම පහසුකම්වලින් හෙබි වෙන ම ශාලාවක් නිර්මාණය වී තිබිණි. ඒ ගීතා කුමාරසිංහගේ සුවිසල් නිවෙසේ එක් විසල් කාමරයකි. පුහුණු වීම් සඳහා ම නිමවුණු ඒ ශාලාවේ ඔවුහු සිය පුහුණු වීම් කළහ. ඒ නිසා ම ඔවුන්ගේ සමහර අදහස් අනෙක් අයට දැන ගැනීමට නොහැකි විය. එමෙන් ම මේ පුහුණු වීම්වලින් පසුව ඒ ශාලාව යම් කෙනෙකුට පුහුණු වීම් සඳහා අවශ්‍ය නම් භාවිත කළ හැකි බවද ගීතා කුමාරසිංහ අප සමඟ පැවසුවේ ඔබට අලුත් පණිවුඩයක් ද ගෙන එමිනි. “කණ්ඩායමේ සියල්ලන් ම සියලු ම අවස්ථාවලදි එකම අදහස ද දැරුවේ?” “අපේ කණ්ඩායමේ ඉන්න අතරයි රවීන්ව ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ රඟපෑමට ගන්නේ. ඉන් ඔහු බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වුණා. අපේ කණ්ඩායමට සිටි සියල්ලන් ම කලා ශිල්පීන් වීම නිසා බොහොම කාර්යබහුල පිරිසක් බවටයි පත්වෙලා තිබුණේ. ඒ නිසා සියල්ලන්ව ම එකට එකතු කරන එක හරියට ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්. සමහර අදහස් විමසීම්වලදි අප අතර බොහෝ පරස්පර අදහස් නොතිබුණා නොවෙයි. ඒත් කතාබහ කිරීමෙන් පස්සේ යම් එකඟතාවකට පැමිණෙන්න අපට හැකිවුණා.” කණ්ඩායම් නායිකාව ලෙස ගීතා කුමාරසිංහ සිටියේ දැඩි මානසික පීඩනයට පත්ව ය. ජීවිත ගමනේ විවිධ ගැටලු ඇගේ සිතේ සතුට පළවා හැරියා ය. එහෙත් ඈ සිය සිත දමනය කළේ අටලෝ දහම සිහිපත් කරමිනි. “ඔබට එවැනි මානසික පීඩනයත් එල්ල වූයේ කුමන කාරණා නිසා ද?” “වරක් අවසාන වටයට පැමිණීමට පෙර මට මගේ කණ්ඩායමෙන් ඉවත් වීමට තරම් සිතුණා. මොක ද මා මේ සියලු කටයුතු කළේ මගේ දේශපාලන කටයුතු කරන අතරේදියි. ඒ කටයුතුත්, රියැලිටි තරගයේ කටයුතු අතරටත් මා මැදිවුණේ පුදුම විදියටයි. ඒත් යමක් භාර ගත්තා නම් අවසන් කළ යුතු යැයි මා තරයේ ඇදහූ කාරණයක්.” අවසන් තරගයට රෝයල් ෆයිටර් කණ්ඩායමට ලැබුණේ ගායනය හා රංගනයයි. එහිදි ඔවුන් තෝරා ගත්තේ දළදා වතයි. එය අවසන් වන්නේ ජාතිත කොඩිය රැගෙන පැමිණ ‘මේ අපේ උදාර වූ මාතෘ භූමියයි කියන ගී පද ගැයීමෙනි. “මේ ඉදිරිපත් කිරීම් අතර කිසිවකුත් නොදන්න රහසකුත් සැඟව තිබුණා ද?” “මා නිතරම නිර්මාණ කිරීමේදී පළමු තැන ලබා දුන්නේ අපේ කමටයි. අපේ සංස්කෘතියටයි. අවසන් නර්තන නිර්මාණය මා භාර දුන්නේ ජිනන්දටයි. ඔහු අලුත් තරුණයකු වුණත් මගේ සිතේ ඔහු ගැන ඇති වුණේ යම් විශ්වාසයක්. ඒ විශ්වාසය ඔහු අවසන් තරගයේදී ආරක්ෂා කළා. මා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවක විදියට රඟපෑම යම් යම් සීමා මායිම්වලට සීමා වෙමිනුයි ඉදිරිපත් කළේ. පිටපත නිර්මාණය වූයේත් ඒ කාරණයට මුල්තැන දෙමින්. ඒ අනුව දුක්විඳීන කාන්තාවන්ගේ චරිත, දුකින් වැලපෙන මවකගේ චරිතයි මා රඟපෑවේ. මගේ තෝරා ගැනීම් පිළිබඳ රූපවාහිනිය නරඹන්නන්ගේ සිතේ තිබුණේ ප්‍රියතාවක්. එයත් මේ තරගය දිනන්නට අපට උදවුවක් වුණා. ඒ වගේ ම අපේ කණ්ඩායමට විවිධ තීම් නිර්මාණය කරමින් නර්තන නිර්මාණය කිරීමට සහය වූ කිහිපදෙනෙකු ම සිහිපත් කළ යුතුයි. සංඛ ප්‍රසාද්, රසික කොතලාවල වගේ ම ජිනන්දත් ඒ අතර සිටියා.” “ඔබට එදින තරගයේ යම් අභියෝගයකටත් මුහුණ දීමට සිදුවුණා. ඒ වග කිසිවකුත් දන්නේ නැහැ?” “රවීන් කියන ‘මුව මුඛ්යාලතා’ ගීතයම රන්ජන්ගේ කණ්ඩායමත් පුරුදු පුහුණු වීලයි සිටියේ. ඒ නිසා ම අවසාන පැය කිහිපයේදී ඒ ගීතය නැතිව වෙනත් ගීතයක් තෝරා ගැනීමට අපට සිදුවුණා. ඒ වනවිට කලින් ගීතයට මා නර්තනය නිර්මාණය කරගෙන හොඳට පුරුදු පුහුණු වීම් කරලයි සිටියේ. යළිත් නර්තනයක් පුහුණු වීමට තබා ඇඳුමක් නිර්මාණය කර ගැනීමට කාලයක් අපට තිබුණේ නැහැ. එළියට පැමිණ මා හොඳට ම හැඬුවා. ඊට පස්සේ රවීන් තෝරාගෙන තිබුණේ ‘හංස රාජිණී’ ගීතයයි. ඒ ගීතය මා ඊට පෙර අසා තිබුණේත් නැහැ. වේදිකාවේදි ම පළමුවරට ගීතය අසමින් මා නර්තනය ඉදිරිපත් කළා. ඒ අභියෝගය මා සාර්ථක ලෙස ජය ගත්තා. මේ ජයග්‍රහණය පසුපස කඳුළුත් තිබෙන බව සිහිපත් කළ යුතුයි.” රෝයල් ෆයිටර් කණ්ඩායම නිර්මාණ ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් වූ කරුණු රැසකි. ඒ විනිශ්චය මණ්ඩලයේ සිත ඔවුන් වෙත ඇද ගැනීමය. ඒ සඳහා ඔවුන් රඟපෑ යුත්තේ විනිශ්චය මණ්ඩලය කෙරේ අවධානය යොමුකරමින් වේදිකාව පිළිබඳ ද සිතමිනි. ඒ අතර මේ නිර්මාණ පෙන්වන්නේ රූපවාහිනි නරඹන්නට බැවින් ඒ ගැන ද අවධානය යොමු කිරීමට සියල්ලන්ට ම අවවාද ලැබුණේ ගීතාගෙනි. ඇය සිය වෘත්තිය ජීවිත ඔස්සේ ඉගෙන ගත් බොහෝ දේ මෙහි ජයග්‍රහණය පතා යොදා ගත්තා ය. නර්තන අංග ඉදිරිපත් කිරීමේදී ඒවා මනා සංවරයකින් ඉදිරිපත් කිරීමට ඔවුහු සෑම විට ම වෙහෙසුණහ. “එදින රන්ජන් ඔබ වෙනුවෙන් ම ගීතයක් ගැයුවා නේද?” “එවැනි ගීතයක් ඉදිරිපත් කිරීමට අපටත් අවස්ථාව තිබුණා. ඒත් මා නායිකාව විදියට ඒ අදහස අතහැරියා. රන්ජන්ට වැරැදුණේ එතැනයි. මොක ද තරගයේ සිටින ප්‍රතිමල්ලවයාට ගහන්න ගහන්න ඒ අයවයි මිනිසුන්ගේ හදවතේ ලැඟුම් ගන්නේ. ඒ නිසා අපව කා අතරත් ජනප්‍රිය කළාට රන්ජන්ට මා බොහොම ස්තුතිවන්ත වනවා. ඒත් අප දෙදෙනා අතර කිසිම තරහක් ඇත්තේ නැහැ. එකම ක්ෂේත්රයේ සහෝදර ශිල්පීන් දෙදෙනකු විදියට තරගයට මුහුණදීමට අප දෙදෙනාට ම අවස්ථාව හිමි වීම ගැන තිබෙන්නේ සතුටක්. ඒ තරගයේ රන්ජන් සිටි නිසයි මමත් තරගයට පිවිසුණේ. ඊට සාර්ථකව මුහුණ දුන්නේ.” “ඔබ සිතන අයුරින් ඔවුන්ගේ පරාජයට හේතු වන්නේ කුමක් ද?” “ඔවුන්ගේ කණ්ඩායමේ සිටි අයත් දක්ෂයි. ඒත් කණ්ඩායමේ සිටි සාමාජිකයන්ගේ සමබර නොවීම මා ඔවුන්ගේ දුටුව අඩුපාඩුවයි.” මේ වනවිට ගීතා කුමාරසිංහ සිය රංගන දක්ෂතාවට අමතරව සැඟව තිබූ නර්තන දක්ෂතාව ද ඉදිරිපත් කර හමාර ය. ඉදිරියේදී ඈ ඔබ හමු වීමට පැමිණෙන්නේ විවිධ කටයුතු රැසක් සමඟින් බව අමතක කළ යුතු නොවේ. “ඔබ ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත නවතම කටයුතු මොනවා ද?” “ඉදිරියේදි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සිතාගෙන ඉන්නවා. ඒ වගේ ම චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා. මේ වනවිට ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් මගේ සිතේ තිබුණු අදහස වෙනස් වී තිබෙන බව කිව යුතුයි. ටෙලි නාට්‍යයක හොඳ චරිතයක් ලැබුණොත් රඟපෑමට මා සූදානම්. අවසන් වශයෙන් කිව යුත්තේ දෙරණ නාලිකාව සියලුම කටයුතු කළේ මනා විනිවිද භාවයකින්. කලාකරුවන් ලෙස අපට ගෞරවයෙන් යුතුව කළ සැලකීම පිළිබඳ ඔවුන්ට අප ස්තුති කළ යුතුයි.” ගීතා කුමාරසිංහ පවසන්නේ දෙරණ ස්ටාර් සිටි තරු සංග්රාමයෙන් ලද ජයග්රහණයෙන් සතුටට පත්වෙමිනි. ඉදිරි දිනෙක ඇගේ රුව පුංචි තිරයේ දකින්නට හැකිවේවා යැයි යන පැතුමත් සමඟ අපි ඇගෙන් සමුගතිමු.
|