|
ඉඳහිට මා තාත්තාගේ ගීත ගයන්නේ සංරක්ෂණයට පමණයි
you made melodies to my life පිය සෙනෙහස වෙනුවෙන් පුතෙකුගේ පන්හිදෙන් ලියවුණු ආදරණීය වදන් අපි කාගේත් හිත් සංවේදී කලේය. සෙනෙහස වදන් කළා පමණක් නොව පිය උරුමයෙන් ලද දායාදයන් කරපින්නගෙන සිය හඩින්ම මේ වදන් ගායනා කරන්නටද ඔහු වාසනාවන්ත පුතෙකු වූයේය. මේ පුතා මරියෝ ආනන්දය.පියා ග්‍රේෂන් ආනන්දය. ග්‍රේෂන් ආනන්ද ප්‍රවීණ ගායන ශිල්පියා , සංගීත අධ්‍යක්ෂකවරයා, ජීවිතයෙන් සමුගෙන ගොස් පුරා වසර හයක් ඉක්ම ගොස්ය. එහෙත් ඔහුගේ හඩ පෞර්ෂය තවමත් මෙරට ශ්‍රාවකයන්ගේ රස භාවයන් උද්දීපනය කරමින් ගැයෙන විට ඔහු වැනි ගායකයකු ගේ අවශ්‍යතාවය එදාට වඩා දැනෙන්නේ අද මේ මොහෙතේදීය. ග්‍රේෂන් මෙරට ගීත ශ්රාවකයින් වෙත තබාගිය අමරණීය සිහිවටන රාශියකි. ඒ අතරින් වටිනාම සිහිවටනය වනුයේ මරියෝය. සිය ආදරණීය පියාණන්ගේ පිය සටහන් මතින් ලාංකේය කලා ක්ෂේත්රයට පිවිසි ඔහු අදවනවිට තමන්ටම අනන්‍ය වූ මාවතක තමන්ගේම නිර්මාණ එක් රැස් කරමින් පියමනින්නෙකි. ‘ පසුගිය දිනවල මට අයර්ලන්තයේ සංචාරයක නිරතවන්නට අවස්තාව ලැබුණා.වෙස්ටර්න් මියුසික් කොන්සර්ට් දෙකක් එහිදී කළා.අයිරිෂ් ජාතිකයන් හා එකතු වෙළා. ඒත් එක්කම අයිරිෂ් ළමයි සහභාගී කරගෙන මගෙ විෂුවල් එකකුත් එහිදී කර ගත්තා. රේන් ඩ්‍රොප් කියන ගීතය මා විසින්ම රචනා කරල , සංගීත නිර්මාණය කරල ගායනා කළා. මේ ගීතය මම රචනා කලේ මගේ මියගිය පියා වෙනුවෙනුයි. මේ ගීතයෙන් කියවෙන්නේ තාත්තයි මායි අතර තිබුණු සම්බන්ධතාවය ගැන. මේ ගීතය එලබෙන දෙසැම්බර් මාසයේ 29 වැනිදාට යෙදෙන තාත්තගේ අනුස්මරණ දිනය වෙනුවෙන් පවත්වන සංගීත ප්රසංගයේදී දොරට වඩිනවා.’’ මාරියෝ ද සිය පියාගේ දක්ෂතාවයන් ඒ අයුරින්ම හිමිකරගෙන උත්පත්තිය ලැබූවෙකු ලෙස සැලකිය හැකිය. ග්‍රේෂන් ද ගායකයකු වශයෙන් විශාල ජනප්‍රියත්වයක් උසුලමින් ක්ෂෙත්රය තුළ වැජඹුණද ගීත රචකයෙක්, සංගීතඥයෙක් , මධුර තනු නිර්මාපකයෙක් වශයෙන් පමණ්ක් නොව අති දක්ෂ වාදන ශිල්පියෙක් වශයෙන්ද ප්‍රකට කළ කුසලතාවයන් අපට අමතක කළ නොහැකිය. ඔහු අතින් රචනා වූ ‘ මගේ පුංචි කුමාරී’ වැනි ගීත ඊට හොදම නිදසුන් ලෙස ගත හැකි වුණත් ග්‍රේෂන්ට ක්ෂේත්රය පුරා වැඩි ඉඩක් පිටිණැමුනේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් වශයෙන් පමණි. විශ්මයට කරුණ වන්නේ තාත්තාගේ සියලු හැකියාවන් ඒ ආකාරයෙන්ම පුතා රැගෙන විත් තිබෙනු දැක්මය. ‘’ මම හුගක් වෙලාවටඉංග්රීසි ගීත නිර්මාණය කරන්න කැමතියි. තාත්තාගේ සිංහල ගීත ඇති තරම් මට ගායනා කරන්න තිබෙනවා. ඒ නිස සිංහල ගීත ගොඩාක් හදන්න මට අවශ්‍යතාවයක් නැහැ. දැන් මට අවශ්‍ය වෙලා තියෙන්නේ යම්තාක් දුරකට බටහිර රටවල් අල්ලාගන්න විදිහේ මගේ ගීත ටිකක් නිර්මාණය කර ගන්න. ඒ ඔස්සේ මම මගේම කියන වෙනම පාරක් ගොඩනගා ගන්න ආසයි. ලංකාවෙත් ඉංග්‍රීසි ගීත ප්‍රිය කරන වෙනම කොට්ඨාසයක් ඉන්නවා. නමුත් මම ආසයි විදේශිකයින් ඒ වටා එකතු කර ගන්න. මට සිංහල ගීත නැතුවා නොවෙයි.මම කරපු ගීත බොහොමයක් තිබෙනවා.නමුත් වර්තමානයේඒවත් එක්ක ආර්ථිකමය වශයෙන් හැප්පෙන්න අමාරුයි. අවංක කතන්දරය ඒකයි. ඒ නිසා මට හිතෙනවා ඒකට වැඩි පරිශ්‍රමයක් දරන්නේ නැතුව ලංකාවේ මිනිස්සු මාව ග්‍රේෂන් ආනන්ද ගේ පුතා විදියට දැක්කට මරියෝ ආනන්ද කියන පුද්ගලයා ගොඩනගා ගන්න උත්සාහ කරන එක හොදයි කියලා. ලංකාවේ වුණත් ගොඩක් මිනිස්සු මාව දන්නේ නැහැ. කාලයක් යනකොට දැනගනීවි. ඉංග්‍රීසි ගීත ගායනා කරන ගායක ගායිකා පිරිසක් ලංකාවෙත් ඉන්නවා. නමුත් ඔවුන්ට තිබෙන එකම ප්රශ්නය ඔරිජිනල්ස් නැති කමයි. විදේශීය ගයක ගායිකාවන්ගේ ගීත ගය ගයා ඉන්නේ නැතුව තමන්ගේ කියලා දෙයක් කරලා එලියට දාල නමක් හදා ගන්න මම කැමතියි.’’ මරියෝ ගීත රචනා ක්ෂේත්රයට එළැබෙන්නේ ඔහුට අවුරුදු 14 ක් වැනි ඉතාමත් ළාබාල වියේදීය. පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ඔහු රචනා කළ ගීත ගණනාවක් වුවත් ඒවායේ එතරම් ලස්සනක් ඔහු විසින්ම නොදුටුවේය. එහෙත් ඔහු සිය ව්‍යායාමය මගදී නතර නොකළේය.කාලයක් තිස්සේ ඔහු විසින් කරගෙන එන ලද ඉංග්‍රීසි ගීත රචනා කලාව කිසියම් පරිණත ආකාරයකින් යුතු වන්නේ දැන්ය. ‘’ මම ඉංග්‍රීසි ගීත රචනා කරන්න මුලින්ම පටන් ගන්න කොට එතරම් භාෂා දැනුමක් තිබුණේ නැහැ. නමුත් ඕ ලෙවල් පංතියට එනකොට සම්පත් සර් කියල මට හොද සිංහල ගුරුවරයෙක් මුණ ගැසුණා.එතුමා තමයි මට සිංහල ඉගැන්නුවේ. සිංහල භාෂාව පිළිබද මට එතුමාගෙන් ම විශාල දැනුමක් ලැබුණා.සිංහලෙන් ලියපු ඒ රචනා, කවි ආදිය පස්සේ පස්සේ මම සිංහලට පරිවර්තනය කළා.ඒ අනුව මට හොද ඉංගී්රසි දැනුමකුත් ලැබුණා. ඉංග්‍රීසි සාහිත්‍යයත් මම ඉගෙන ගත්තා. මේ භාෂා දෙකේම කම්බිනේෂන් එක තමයි මගේ ලිවීමේ හැකියාව දියුණු කර ගන්න උදවු වුණේ කියල මට හිතෙනවා. මරියෝ මේ කරන්නේ ඉල්ලුමට සැපයුමක් නොවෙයි. එසේ කළානම් ග්‍රේෂන්ගේ පුතා වශයෙන් මීට අවුරුදු පහකට කලින් ඔහු හිට් වෙලාය.ඔහුට ජනප්‍රිය වීමේ හීනයක් නොමැත. එහෙත් තමන්ගේම යැයි කියාගන්නා නිර්මාණ එකතුවක් කිරීමේ ආසාවක් ඔහුට තිබේ. ගායනය , වාදනය සේම ඉංග්‍රීසියෙන් ලිවීමේ හැකියාවද ඔහුට දෙවියන් වහන්සේ ගෙන් නොඅඩුවම ලැබී ඇති බැවින් ඒ ඔස්සේ ගමන් කිරීම ඔහුගේ බලාපොරොත්තුවය. ජනප්‍රිය ගායකයෙකුගේ පුතෙකු ලෙස මරියෝට සිය පියාගේ ගීත ගයමින් සිටියා නම්මේ වනවිට ආර්ථිකමය වශයෙන් ඉහළ තැනකට ගමන් කිරීමට හැකිවනු ඇත. එහෙත් ඔහු පියාගේ ගීත ගයමින් සිටියනම් මේ වනවිට ආර්ථිකමය වශයෙන් ඉහල තැනකට ගමන් කිරීමට හැකිවනු ඇත. එහෙත් ඔහු පියාගේ ගීත ගයමින් නැගී සිටින්නට උත්සාහ දරන පුතෙකු නොවීම ඔහුගේ සුවිශේෂිත්වයයි. ‘’දැනටත් මම ඉදහිට හෝ තාත්තාගේ ගීත ගයන්නේ ඒවා ආරක්ෂාවීම සඳහා සංරක්ෂණය වීම සදහා පමණයි. තාත්තාගේ බොහෝ ගීතවල අයිතිය සම්බන්ධයෙන් නීතිමය පැත්තෙන් බැලුවම මට කරන්න පුලුවන් සීමිත දෙයකුයි.පවතින නීතියට අනුව ගත්තම ගීතයක් වැඩි අයිතිය තිබෙන්නේ පද රචකයාට සහ සංගීතඥයාටයි. එක අතකින් එකට මම කැමතියි මමත් පද රචකයෙක්, සංගීතඥයෙක් විදියට ඔය අයිතිය කවදහරි දවසක මටත් ලැබේවි. සල්ලි හම්බ කරන්න ඕන නම් තාත්තාගේ ගීත මුලදිම මට විකුණනන්න තිබුණා. එහෙම නම් මට අද මෙතැනට බෙන්ස් එකක එන්න තිබුණා. තාත්තගේ ගීත සංරක්ෂණය වෙනුවෙන් මගෙන් පස්සේ මොනවා වෙයිද කියල මම දන්නේ නැහැ. මට හිතෙනව ඒකට මම බැදෙන්නත් අවශ්‍ය නැහැ කියලා. මේ නිර්මාණ තාත්තා ඉන්න කාලේ සත පහක්වත් බලාපොරොත්තුවෙන් කරපු දේවල් නොවෙයි.ඒවා රැක ගන්න විශාල අරගලයක් කරන්න අවශ්‍ය නෑ මට. ඒ කාල සීමාව තුළ ඔහු කළයුතු දේ කළා. මට මතකයි පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට ගියාම තාත්තාගේ මනාලියක් සද වාගේ ගීතයේ පදමාලාව හොයනකොට ඒක වෙන කෙනෙකුගේ නමින් තිබුණේ. ප්‍රසංගයට සහභාගිවෙලා හිටිය උරේෂා අක්කා අහනවා ඇයි මල්ලි මේ කියලා.මට හිතෙනවා ඒ වෙනුවෙන් අරගල කිරීම කාලය නාස්ති කිරීමක් කියලා. ඊට වඩා හොදයි ඉන්න ටිකේ තාත්තිව පුළුවන් විදියට මතක් කරල ඔහුට ක්ෂේත්රයෙන් යම්කිසි ගෞරවයක් ලැබුණේ නැත්නම් , ග්‍රේෂන් ආනන්දගේ පුතා විදියට ඒ ගරුත්වය ලබාදෙන එකයි මගේ යුතුකමවන්නේ. ඔහේ ඉබාගාතේ ගිය පුතෙක් වෙනවට වඩා විනීතව යමක් කරන්න පුලුවන් වෙනවනම්, මැරෙන්න කලින් වැඩ 10 ක් වෙඩි වගේ කරන්න පුළුවන්නම් ඒ හොදටම ඇති.’’ මරියෝට පියා ගැන ඇත්තේ බිදිය නොහැකි මතකයකි. කුඩා අවදියේ පටන්ම ඔහු පසු පසින් ගතකල් ජීවිතය කිසි දිනක අමතක කළ නොහැකිය. පියා මිය ගොස් වසර හයකටත් අධික කාලයක් ගත වුවද ඔහුට අදටත් පියා ජීවමාන යැයි සිතන්නේ ඒ මතකය යලි යලිත් අවදිවන බැවිණි. ‘’ තාත්ති මිය ගිහින් අවුරුදුහය හමාරක් ගතවෙලා. ඔහුගේ ජීවිතේ දිහා මම හැම් තිස්සෙම බලන්නේ අපට ජීවිතේ මැන ගන්න කිසියම් වූ මිණුම් දඩුවක් ලෙසිනුයි. බොහෝ අය කියනවා මරියෝ මේ මේ දේවල් කරගෙන නැහැ කියල.තාමත් යන්නේ බයික් එකක කියලා. ඒ අයට පේන්නේ භෞතික දේ විතරයි. ඉන් එහාට ගිහින් මම මේ ලෝකයට දෙන්නේ මොනවද කියන එක නොවෙයි.මම අඩු තරමින් බයික් එකක හරි යනවා. තාත්ති ගියේ බස් එකේ. මම ක්ෂේත්රයට ඇවිත්මේ අවුරුදු කීපයට විදේශ සංචාර කීපයකට එක්වෙලා තිබෙනවා. ඒත් තාත්තී ජීවිත කාලෙටම ගිහින් තිබුණේ මම දන්න හැටියට සංචාර 14 යි.තාත්ති බොහෝම කටුක ජීවිතයක් විදල තිබෙන්නේ.මට එතැනින් එහාට විදින්න දෙයක් ඇත්තටම නැහැ. තාත්තිගේ ජීවිතේ මම දන්න යම් යම් දේවල් තියෙනවා. ඒවා දිහා බලල හඩා වැටෙන්න හේතුවක් නොවෙන්නේ තාත්තා ආදර්ශ භූමිකාවක් හදල දුන්න නිසා. ග්‍රේෂන් ආනන්ද කියන්නේ මේ මේ අඩුපාඩු තිබුණු කෙනෙක්, මේ මේ වැරදි කරපු කෙනෙක් කියල ඕන කෙනෙක් බලාගෙන ඉන්නේ තාත්තිට ඇගිල්ල දිගු කරන්න.ඊ දේවල් තුළම දරු දෙන්නෙක් රැකබලාගෙන බිරිදක් සමග හොද පවුල් ජීවිතයක් ගෙනගිය කෙනෙක් විදියට කවුරුවත් කතාවෙන්නේ නැහැ. නමුත් තාත්තාගේ පුතා හැටියට මට ඕන රටකට යන්න මාර්ගය හදල තියෙනවා, ඔහු ඒ විදපු දුක් හින්දා අද මම ගොඩාක් පහසුවෙන් මේ ක්ෂේත්රයේ යනව කිසිම දුකක් නැතුව.. නිර්මණකරුවෙක් වශයෙන් මරියෝ ආනන්ද පිළිබඳ ක්ෂේත්රය තුළ ලොකු කතා බහක් නොවුණද ඔහුගේ නිහඩ ගමන් මග තුළ වැඩි වස්ගයෙන් දක්නට ඇත්තේස්ව නිර්මාණ කරුවෙකුවශයෙන් නැගී සිටීමට ගත් උත්සාහයන්ය. මේ වනවිට ටෙලි නාට්‍ය තුනකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.පියාගේ නිර්මාණ හැකියාව අතුරෙන් සංගීත අධ්‍යක්ෂණය යන්න තමන්ට වැඩි වශයෙන්පිහිටා ඇති බවක් ඔහුද විශ්වාස කරයි. ‘’මට තේරුණ එක්තරා දෙයක් තමයි තාත්තාගේ හැකියාවන් අතරින් සංගීත අධ්‍යක්ෂණය මට පිහිටල තිබෙනවා කියන එක. තාත්තටත් මේ දක්ෂතාවය හොඳින් පිහිටල තිබුණා.නමුත් ඔහු චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසින් මතු වුණා මිසක් ක්ෂේත්රය තාත්තාගේ ඒ දක්ෂතාවය හදුනා ගත්තට වැඩි තැනක් දුන්නේ නැහැ කියල තමයිමට හිතෙන්නේ.ඔහු ගායකයකු වශයෙන් කොටු කරලයි තිබුණේ. තාත්ති සරත් දසනායක සර් ගේ සහාය සංගීත අධ්යක්ෂවරයා ලෙස ලබාගත්ත ආභාසය , ගීත රචනය පැත්තෙන් ඔහුට තිබුණ දක්ෂතාවය , සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් එක්ක ඔහුට ගොඩක් දුර පරාසයකට යන්න තිබුණා.නමුත් ඒකට ඔහුට ඉඩක් තිබුනේ නැහැ. මම උත්සාහ කරනව තාත්තිගේ සැගවුණු ගීත පුලුවන් තරම් එලියට ගන්න. තාත්ති නිර්මාණය කළ සැගවුණු ගීත රාශියක් තිබෙනවා. වැඩියෙන් ජනප්‍රිය වුණේ ඔහු චිත්‍රපට සදහා ගායනා කරපු ගීත. නමුත් සරල ගීත පැත්තෙන් ඔහු කළ නිර්මාණ ගත්තම ‘’ බාලේ පුංචි කාලේ ‘’ වගේ ගීතයක් දෙකක් විතරයි ජනප්‍රිය වුණේ. තාත්තා ආශාවෙන් කරපු නිර්මාණ ප්‍රචාරය වුණේ නැහැ. ඒ ගැන තාත්ත්ගේ හිතේ කලකිරීමක් තිබුණා.’’ මීට වසර තුනකට පමණ පෙර මරියෝ සිය පියා මිය ගිය දිනය වන දෙසැම්බර් 29 වැනි දින ඔහු වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වන්නේය. කිසිදු අනුග්‍රාහක භවතකුගෙන් තොරව තමන් හරි හම්බකරගත් මුදලින් ඔහු මේ කටයුත්ත කරනුයේ සිය පියා වෙනුවෙන් කරනු ලබන දානමය කටයුත්තක් ලෙසෙනි.මරියෝ විසින් කරන ලද නව නිර්මාණයන් එළි දක්වන්නට ද ඔහු යොදා ගනුයේ ‘ ප්රතිරාව‘’ නමින් යුත් මෙම සංගීත ප්‍රසංගයයි. මෙම වසරේ පැවැත්වෙන ප්රසංගයේදී ඔහු අයර්ලන්තයේ දී රූ ගත කළ සිය පියා වෙනුවෙන් ලියූ ගීතයේ විෂුවල් එලිදකී. ‘’ මම නිර්මාණයක් කරලා එළි දැක්වූවට පස්සේ යලිත් ඒ පසේ පන්නන්නේ නැහැ. ඊට පස්සේ වෙන එකක කරනවා. මට එකක නැවතිලා ඉන්න බැහැ.ඒක තමයි මම හිතන්නේ මගේ අඩු පාඩුව. මම ගොඩාක් කැමති කළයුතු වැඩක් තියෙනවා නම් කරලා පැත්තකට වෙලා ඉන්න. මම බලාපොරොත්තු වෙන්නේ බොහොම කෙටි ජීවිතයක්. එතකොට අපි මේ හිරවුණු ජීවිතය තුළ හුගාක් දේවල් කරන්න උත්සාහ කරනවා.මට ජීවත්වෙන්න කියල මහා ලොකු මුදල් හම්බ කිරීමේ ආසාවක් නැහැ. මගේ අම්මට , අක්කට ,මට පහසුවෙන් ජීවත්වෙන්න මුදලක් හම්බ කරනවා.ඒ මිසක් මට සෙලිබ්‍රිටි ලෙවල් එකේ ගායකයකු වෙන්න අවශ්‍ය නැහැ. මම ඉන්නේ එතැනින් පල්ලෙහා බොහෝම දුප්පත් තැනක. ඇත්තටම කිවුවොත් මට තියෙන්නේ එකම කිට් එකයි. ඒකත් දැන් අවුරුදු කීපයකට පෙර මගේ යාලුවෙකුගේ වෙඩින් එකකට ලැබුණු එකක්. ඒවා ගැන මට කිසි දුකක් නැහැ. මට හරි සතුටුයි.එතනින් එහාට මට ඇදුමක් ගැනවත් වද වෙන්න දෙයක් නැහැ. මට කාර් නැහැ බයික් එකේ තමයි යන තැනක යන්නේ. මේ ජීවිතේ හරි සරලයි. මට අත්විදින්න ඕන සාමය සහ නිදහසයි. වෙන අය දිහා බල බල නැගිටින ජීවිතයක් මට නැහැ. මේ ජීවිතේ මට ලැබෙන්නේ මගේ තාත්තා, අම්මා, විශේෂයෙන් අක්කා කරපු කැප කිරීම් නිසා.මේ අය නැත්නම් අද මරියො ආනන්ද කෙනෙක් නැහැ. මගේ අම්ම යම්තාක් දුකක් වින්දද, ඒ තරම්ම දුකක් මගේ අක්ක මම වෙනුවෙන් වින්දා. අද එයා ජාතික රූපවාහිනියේ ඉංග්‍රීසි ප්රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කරනවා. එයා එයාගේ තරුණ ජීවිතේ මා වෙනුවෙන්ම කැපකළා, මේ අය වෙනුවෙන් මට මගේ ජීවිතේ දීල හරි ඒ අය සතුටු කරන්න තිබෙනවානම් ඒකෙනුත් ඒ ණය මට ගෙවාගන්න බැරිවෙයි.
|