වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




එකම සිනමා ශානරයකට කොටු වෙන්න මම කැමැති නැහැ

එකම සිනමා ශානරයකට කොටු වෙන්න මම කැමැති නැහැ

බූඩී කීර්තිසේන නිම්නයක හුදකලාව

විශ්වනාත් බුද්ධික කිර්තිසේන නැත්නම් අප කවුරුත් දන්නා හඳුනන නමින් බූඩි කීර්තිසේන අපේ සිනමාවේ නව පිටුවක් පෙරළූ සිනමාකරුවෙක්. මීට වසර විසි එකකට පෙර ඔහු තම සිනමාකරණය ආරම්භ කළේ ‘සිහින දේශයෙන්’ චිත්‍රපටයෙන්. මේ වන විට චිත්‍රපට තුනක් නිර්මාණය කළ බූඩි සිය නවතම චිත්‍රපටය ‘නිම්නයක හුදෙකලාව‘ තිරගත කළේ මීට සතියයකට පෙරයි. විවිධ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද මේ වන විට ප්‍රදර්ශනය වන ‘නිම්නයක හුදෙකලාව‘ ඇසුරෙන් බූඩි සමඟ කළ සංවාදයකි මේ.

ඔබ මේ සිනමාකරණයේදී එක ශෛලියක හෝ ෂානරයක පිහිටන්නේ නැහැ. එක එක ෂානරවලට මාරුවීමක් දක්නට ලැබෙනවා. ඒ ඇයි?

හැම  Film එකක්ම මට අලුත් දෙයක්. ඒ හැම එකකින්ම මම ඉගනුමක් ලබනවා. නැත්නම් මට හරි බෝරින්. සමහරක් විට මගේ චිත්‍රපටයක් කරන්න කාලය වැඩියෙන් යන්නෙත් ඒ නිසා වෙන්න ඇති. මං යමක් කරන්නේ අලුතින්ම හිතලා. ඒ නිසාම එය හදාරමින්ම තමයි මං වැඩේ කරන්නේ. ඔය හේතුව උඩ තමයි සමහර අය කියන්නේ මං කරන චිත්‍රපට එකිනෙකට වෙනස් ෂානරයන්ට මාරුවීමක් දකින්න ලැබෙන බව.

මං හිතලා ඒ දේ නොකළාට චිත්‍රපටයෙන් චිත්‍රපටයට විෂය පථය මං අනිවාර්යෙන්ම වෙනස් කිරීමකට ලක් කරනවා. පසුගිය කාලේ මං නිර්මාණය කරපු ‘මාතා’ චිත්‍රපටය වගේම චිත්‍රපටයක් කරන්න කියලා නිෂ්පාදකයෝ මට ආරාධනා කළා. නමුත් ඒ ආරාධනාව මං ප්‍රතික්ෂේප කළා.

බූඩිගේ සිනමා අනන්‍යතාවයක් නැත්නම් සිනමා රීතියක් ගැන විශ්වාසයක් නැද්ද?

නැති වෙන්න බැහැ. ඇති. අනිවාර්යයෙන්ම අප හැමෝටම අනන්‍යතාවයක් තියෙනවා. මගේ චිත්‍රපට නරඹන පේ‍්‍රක්ෂක පිරිස් ඒ අනන්‍යතාවය ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කරන අයයි. ඔවුන් කතා කරන දෙවල් ලියන දේවල් ඒ පිළිබඳ හොඳම උදාහරණයයි. මගේ චිත්‍රපටවල තියෙන ප්‍රධාන අනන්‍යතාවයක් වන්නේ එක චිත්‍රපටයක් එක ආකාරයකින් නිර්මාණය කළ පසු යළි ඒ වගේ නිර්මාණයක් මගෙන් කිසිදා බලාපොරොත්තු වෙන්න බැරි එක. අනික තමයි එක චිත්‍රපටයක තියෙන චරිත කීපයක් මගේ වෙනත් චිත්‍රපටයකට එකතුවීම දකින්න නැති මගේ අනන්‍යතාවයක්. අනික කරන ඕනෑම අලුත් අත්හදා බැලීමක් හොඳ විශ්වාසයකින් යුතුව ඉදිරිපත් කිරීමේ මගේ තවත් එක අනන්‍යතාවයක් වෙන්න පුළුවන්.

‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටයේ සිද්ධි මාලාවත්, චරිත, අවස්ථා හැම දේම හරිම අවිනිශ්චිතයි. ඒ ඇයි?

අවිනිශ්චිතභාවයක් එන්න හේතු කීපයක් තියෙනවා. අපේ ජීවිතවල ගැඹුරට සිතන විට දැනෙන දෙයක් තමයි මේ ජීවිතය මොන තරම් අවිනිශ්චිතද කියන කාරණය. ඔය කාරණය සමහර කාලවලදී පුද්ගලයන්ගේ ජීවිතවලට වැඩිපුර දැනෙන්න ගන්නවා. ‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටය නිර්මාණය කරන කාලයේදී මීට වසර 8 ට පමණ පෙරදී සමහර විට මටත් ඒ අවිනිශ්චිතභාවය වැඩියෙන් ජීවිතයට දැනෙන්න ඇති. නිම්නයක හුදෙකලාව චිත්‍රපටයේ සෑම චරිතයකට ඒ අවිනිශ්චිතභාවය එකතු වෙන්න ඇති කියලා තමයි මට කියන්න තියෙන්නේ.

මේ චිත්‍රපටයේ තේමාව පුද්ගලයෙක් මරණයට ළඟාවීමේදී සිතේ ඇතිවන ‘චූති සිත’ පිළිබඳ හැඟීම නිරූපණය වන්නක්ද?

එහෙම දෙයකුත් මෙහි තියෙනවා. මේ දේ සරල දෙයක්. හැබැයි සරල විදිහට නෙමෙයි මේ දේ නිම්නයක හුදෙකලාව චිත්‍රපටයෙන් ඉදිරිපත් වෙන්නේ. මරණය පිළිබඳ සිනමා භාෂාවෙන් සිනමාත්මකව ඉදිරිපත් කිරීමක් තමයි කරලා තියෙන්නේ. සමහර අයට මේක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි සෑම දෙනාටම තේරෙන පොදු කාරණයක් තියෙනවා. ඒ පොදු කාරණය තේරුම් ගැනීම හරහා ‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටයට ප්‍රේක්ෂකයාට සමීප වීමට වැඩි ඉඩකඩක් ඇති වෙනවා.

බූඩි මේ වන විට නිර්මාණය කර ඇති චිත්‍රපට කීපය දිහා බලන විට රංගන ශිල්පීන් හසුරුවා ඇති ආකාරයේ පැහැදිලි වෙනසක් දකින්නට පුලුවන් නේද?

මිල්ල සොයා චිත්‍රපටයේ ඇක්ටින් ස්ටයිල් එකින් තමයි ලංකාවේ එතෙක් පැවැති චිත්‍රපටවල ඇක්ටින් ස්ටයිල් එක බිඳෙන්නේ. ඒ ගැන හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ. අනිකුත් නිර්මාණවලත් ඇක්ටින් ස්ටයිල් එක පැහැදිලිවම වෙනස් ස්වරූපයක් පවතිනවා. මං ඉදිරියේදීත් කරන චිත්‍රපටය ඇක්ටින් ස්ටයිල් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අනික මගේ චිත්‍රපටවල බොහෝ විට චරිත ‘ඒ ඊර්‍ණ ඛ’ බිල්ඩප් වෙන්නේ නැහැ. එයත් මගේ චිත්‍රපටවල සමහර විට අනන්‍යතාවක් වගේ දෙයක් වෙන්න පුලුවන්.

‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටය සම්බන්ධයෙන් ලාංකික ප්‍රේක්ෂකාගාරය දැනට දක්වන ප්‍රතිචාරය මොන වගේද?

ඉතා හොඳ ප්‍රතිචාරයක් නිම්නයක හුදෙකලාව චිත්‍රපටයට මේ වන විට ලැබී තිබෙනවා. සමහර පුවත්පත්වල මේ වන විට චිත්‍රපටය සම්බන්ධයෙන් විචාරයන්, සම්මුඛ සාකච්ඡා මඟින් හොඳ ප්‍රතිචාරයක් ලබා දෙනවා. තාම චිත්‍රපටය මහජනතාවට ප්‍රදර්ශනය කොට සතියයි. ටචජඥඡධධඬ එකේ අපේ පේජ් එකේ පවා 14,000 ක විතර පිරිසක් ඉන්නවා. තවත් චිත්‍රපට දෙකක් හෝ තුනක් සමඟ තමයි අපේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ. ‘නිම්නයක හුදෙකලාව‘ චිත්‍රපටය අප ගම්වල හැදුණු මිනිස්සු හැටියට හොඳට තේරෙන කතා ප්‍රවෟත්තියක්. තමන්ට වදින තැනින් අල්ලා ගත්තාම මේ චිත්‍රපටය ඉතා සරලව තේරුම් ගන්න හැකියාව තියෙන චිත්‍රපටයක්.

මේ වන විට ජයශ්‍රී සංගීත කණ්ඩායමේ ගීතය හරහා ද නිම්නයක හුදෙකලාව චිත්‍රපටයේ ජනප්‍රියතාවය වැඩි වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා ලක්ෂ්මන් ජෝසප් ද සේරම් සංගීතය මේ චිත්‍රපටයට යොදගෙන ඇති ආකාරයේ ද පැහැදිලි වෙනසක් තියෙනවා. ඔහුගේ විශේෂත්වය වුණේ මේ චිත්‍රපටයේ අවශ්‍යම තැනට මිසක් අනවශ්‍ය තැන්වලට බලෙන් සංගීතය ඔබන්න ගියේ නැති එකයි. සමස්තයක් හැටියට ගත් විට නිම්නයක හුදෙකලාව ප්‍රේක්ෂක හදවත්වලට සමීප දසුන් මාලාවක් සහිත චිත්‍රපටයක්.