|
ෆේස් බුක් කියන්නේ බෝනස් එකක්අතුල-සමිතා දෝණි කවින්ද්‍යා ඝරසරප හරහා සිනමාවටමගේ ජීවිතේ සිහින නැහැ
අතුල - සමිතා දියණි කවින්ද්‍යා අධිකාරි තව නොබෝ දිනකින් රංගන ශිල්පිනියක ලෙසින් ඔබ හමුවට පැමිණීමට නියමිතයි. ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප සිනමා සිතුවම සමඟිනුයි ඇය මෙලෙස රංගනයට පිවිසෙන්නේ. * කවින්ද්‍යා මේක ඔබට ලැබුණු අනගි අවස්ථාවක් නේද, තවත් විදිහකින් කිව්වොත් මේ ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂයක්? අනිවාර්යෙන්ම මේ වන විට මා එහි රංගනයට සුදානම් වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි කියලා කියන්නේ අපට සිටින ඉතාම විශිෂ්ට අධ්යක්ෂවරයෙක්. ඔහුගේ නිර්මාණයකට දායකවීමට ලැබීම භාග්‍යයක් හැටියටයි මං දකින්නේ. මොකද ඔහු නිර්මාණ කරන්නේ ආවට ගියාට නෙවෙයි. ඉතින් එවන් වූ අධ්යක්ෂවරයකුගේ සිනමාපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට මටත් ආරාධනා ලැබුණා. දැන් ඉතින් ඊට සූදානම් වෙනවා. * මොකක්ද ඝරසරප සිනමාපටයේ ඔබේ චරිතය? සිනමාපටයේ ප්‍රධාන චරිතයක්. දැනට කියන්න පුළුවන් එච්චරයි. * ඔබ එහි පිටපත කියෙව්වාද? ඔව්. * ඔබට විශ්වාසද ඔබට ඒ චරිතය හොඳාකාරව නිරූපණය කරන්න පුළුවන් වේවි කියලා? මට මගේ තාත්තගෙයි අම්මගෙයි කලා හැකියාවන් පිහිටලා තියෙනවා කියලා මං දන්නවා. ඒ දෙන්නටම ගයන්නත් පුළුවන්. රඟපාන්නත් පුළුවන්. ඒත් මුලදී මට ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ මට සිනමාපටයක ප්‍රධාන චරිතයක් කරන්න පුළුවන් වේවි කියලා. * නමුත් ඔබ ඝරසරප හි ප්‍රධාන රංගන ශිල්පිණියක්. එහෙම වුණේ කොහොමද? ජයන්ත අංකල්ගෙන් මෙම සිනමාපටයට ආරාධනාවක් ලැබුණායින් පසුව ඔහු මට තිර පරික්ෂණයකට කතා කළා. එහිදී ඔහු මට යම් චරිතයක් දුන්නා රඟපාන්න. මං මට ඇති හැකියාවෙන් එය ඔහු ඉදිරියේ රඟපෑවා. ජයන්ත අංකල් මගේ ඒ රංගනයට සෑහීමකට පත් වුණා. එතැන් පටන් තමයි මට විශ්වාසය ඇති වුණේ. මේ චරිතය මට කරන්න පුළුවන් වේවි කියලා. * කවින්ද්‍යා දැන් දිගින් දිගට රඟපාන්නද හිතාගෙන ඉන්නේ? මට මීට පෙර රංගනයට ඇරැයුම් කිහිපයක්ම ලැබුණා.නමුත් මම ගියේ නැහැ. මට අවශ්‍ය වුණේ ගායන ශිල්පිනියක ලෙසින් මගේ හැකියාව ඉදිරිපත් කරන්න. නමුත් ජයන්ත චන්ද්‍රසිරි මහත්මාගෙන් ඇරැයුමක් ලැබුණාම දෙවතාවක් සිතිය යුතු වුණා. මෙවන් වූ ගුණාත්මක නිර්මාණ යළි යළිත් ලැබුණොත් මං රංගනයත් අත හරින්නේ නැහැ. නමුත් ගායිකාවක් විදිහට කටයුතු කරන්නයි මං ආස. * ප්‍රසංග වේදිකාවේ ඔබ වැඩිපුරම ගයන්නේ කාගේ ගීතද? අම්මගෙ ගීතත් ගයනවා. තාත්තාගේ ගීතත් ගයනවා. විශේෂයක් නැහැ. * තාත්තාගේ ගීත අතරින් ඔබ වඩාත් කැමැති කුමන ගීයටද? පාරාදිසේ ගීතයට මං හුඟක් කැමැතියි. * අවශ්‍ය කාලයක ලැබිය යුතු සෙනෙහෙසක් නොලැබීම ඔබට කොහොමද දැනෙන්නේ? ඇත්තටම එහෙම අඩුවක් දැනෙන්නේ නැති තරම්. මොකද අම්මා මට දශමයක අඩුවක් නොදැනෙන්නට ආදරය ලබා දෙනවා. ඇය නිතරම මගේ පිටුපසට වෙලා සිටිනවා. මට උදව් කරනවා. අවශ්‍ය දේ කියා දෙනවා. ඒ හින්දා මට කිසිදු අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ. අනික් කෙනා මගේ මල්ලි. අපි තුන් දෙනා බොහොම සතුටින් ජීවත් වෙනවා. * ඔබ ගැන නොයෙක් කටකතා හැදුණා පසුගිය කාලයේදී. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? කටකතා ඕන කෙනෙකුට හදන්න පුළුවන්. හැදෙන්නත් පුළුවන්. මට නම් ඒවා වැඩක් නැහැ. * ඔබ සහ ජනප්‍රිය ගායකයකුගේ පුතෙක් අතර ආදර සම්බන්ධයක් ඇති බවට රාවයක් තියෙනවා? අපේ ගොඩක් දෙනා කතා කරන්නේ ඇත්ත දැනගෙන නෙවෙයිනේ. අපි කාත් එක්ක හරි කතා කළත් ඇති කතාවක් හදන්න. ඒක දැනගෙන ජීවත් වුණා නම් හරිනෙ. * ඔබ ගැයූ ස්ව නිර්මාණ ගැන කතා කළොත්? මගේ පළමු ගීතය පෙම් හීන. ඊට පසුව අමිල පෙරේරා සමඟ ගීතයක් කළා. * නමුත් ඒවා හිතුව තරම් ජනප්‍රිය වුණේ නැහැ නේද? මං හිතන්නේ ගීතයක් ජනප්‍රිය වෙන්න නිසි කාලෙදි එය අවුට් කරන්න ඕන. ඒ වගේම ලක් එකකුත් තිබිය යුතුයි. අවසානාවට මං ගැයූ ගීත ජනප්‍රිය නොවුණේ ඒ හින්ද වෙන්න ඇති. * ඔබේ අම්මයි තාත්තයි අතුල - සමිතා නොවුණා නම් ඔබ මෙතරම් ජනප්‍රිය චරිතයක් නොවෙන්න තිබුණා? ඔව්. ඒක හරි. සැබැවින්ම මං ජනප්‍රිය මගේ අම්මයි තාත්තයි නිසා. * ඔබ වැනි ජනප්‍රිය අයගේ දරුවන්ව ෆේස්බුක් වැනි සමාජ ජාලා හරහා නිරන්තරයෙන් අවධානයට ලක් වෙනවා. ඒක කරදරයක් නෙවෙයිද? කොහෙත්ම නැහැ. ෆේස්බුක් වැනි සමාජ ජාලා හරහා මට ලැබෙන ජනප්‍රියත්වය බෝනස් එකක් හැටියටයි මං සලකන්නේ. මං ගැන ඕන තරම් ඕන දෙයක් අන්තර් ජාලයට එකතු වුණත් ඒකෙන් වෙන්නේ මං තවත් ජනප්‍රිය වෙන එක. * ඔබේ පියා එන්න එන්න කඩවසම් වෙනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? පියා විතරක් නෙවෙයි, අම්මත් එලෙසමයි. අනේ මන්දා ඒ දෙන්නා එන්න එන්න තරුණ වෙනවා. මං වයසට යනවා. එහෙම තමයි මට හිතෙන්නේ. * කවින්ද්‍යාට ගෙදර දොරේ වැඩ අම්මා උගන්නලද තියෙන්නේ? අපරාදෙ කියන්න බැහැ. ඕනෑවටත් වඩා ඒවා ගැන උගන්නලා තියෙන්නේ. කවදා හරි බැඳලා ගිය දවසකට කිසිම බයක් නැතුව ජීවිතය ගෙනියන්නට පුළුවන්. * යථාර්ථයක් බවට පත්කරගන්න ආසාවෙන් සිටින ඔබේ එකම හීනය මොකක්ද? මගේ ජීවිතේ සිහින නැහැ. හෙට දවස වෙනුවෙන් ජීවත්වීම පමණයි මා සිදු කරන්නේ.
|