|
||||||
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
ගම්පෙරළියේ කත්තිරිනා මෙන්න
සිංහල අවුරුදු දිනයෙහි මාතර හාමිනේගේ අතින් රිදී කාසියක් ලබා ගැනීමට කත්තිරිනා එන්නේ අවුරුදු පසළොසකටත් වැඩි කාලයක සිටය. එහෙත් මේ වර පැමිණියේ කාසියක් ලබන අදහසින් පමණක් නොව තවත් අදහසකිනුත් ඇතිවය. කත්තිරිනා - හාමිනේට වැදගත් කාරණාවක් ගැන කියන්නත් එක්කයි මම අද ආවේ. මාතර හාමිනේ - වැදගත් කාරණාවක්? කත්තිරිනා - වැදගත් කරණවක්ය කිව්වේ ඉස්කෝලේ මහත්තයා කිව් කාරණාවක් ගැනයි. මාතර හාමිනේ - ඉස්කෝලේ මහත්තයා, මොන? කත්තිරිනා - පියල් ඉස්කෝලේ මහත්තයා. මාතර හාමිනේ - මොකක්ද කාරණේ. කත්තිරිනා - පුංචි නෝනා ගැන. මාතර හාමිනේ - මොන පුංචි නෝනා ගැනද? කත්තිරිනා - හාමිනේලයි පුංචි මෝනා ගැන. මාතර හාමිනේ - නන්දාවතී නෝනා ගැන. කත්තිරිනා - ඔව්. මාතර හාමිනේ - උන්ට කවුද හිර දෙන්නේ. කත්තිරිනා - ඔව් . . . ඒ අතින් නම් ඒගොල්ල මොන මිනිස්සුද? හාමිනේලගේ පවුලට බැඳෙන්නට පුළුවන්කමක් නැහැ. ඉස්කෝලේ මහත්තයාගේ හොඳකම නිසාත්, උගත්කම නිසාත් මම නිකං හිතුවා හාමිනේට කියලා බලන්න. එයා නොකිව්ව නම් මම එහෙම එකක් මගෙ ඕනෑකමින් කතා කරන්න ඒගොල්ල මොන මිනිස්සුද? මාතර හාමිනේ - එහෙනම් පියල් පුංචි නෝනා ගැන කතා කරන්න උඹට කිව්වා. කත්තිරිනා - ඔව් හාමිනේ, මම බැරිය කිව්වා. එත් මට වද කරන නිසාත් . . . මාතර හාමිනේ - ඉස්කෝලේ මහත්තයා කිව් නිසාත් . . . යයි කතාව නැවත්තුවෙ ඇයි කත්තිරිනා දැන් උඹ කියන්න හිතාගෙන ආ ඔක්කොම කියාපන්. කත්තිරිනා - පුංචි නෝනාත් කැමතිය කිව් නිසාත් . . . මාතර හාමිනේ - පුංචි නෝනත් කැමතියි කිව්වා? කත්තිරිනා - හාමිනේ තරහ වෙන්න එපා. මම කිව්වේ ඉස්කෙලේ මහත්තයා කිව් එකයි. හාමිනේට දැනගන්න. කොහොම වුණත් එහෙම දෙයක් දැනගත්තාම හාමිනේට දැන්නීම අපේ යුතුකමක්. මාතර හාමිනේ - උන්ට හිර දෙන්නේ කව්දැයි මම කිව් වචන පියල්ට කියන්න ඕනෑ නෑ. එයාගෙන් ළමයි දෙන්නාම ඉංගිරිසි ඉගෙන ගත්තා' 1944 මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියූ 'ගම්පෙරළිය' නවකතාවේ සිහින් නූලක් සේ ගලා යන චරිතයකි කත්තිරිනා. ඇගේ චරිතය කතුවරයා විස්තර කර ඇත්තේ මෙසේය. 'කත්තිරිනා මාතර හාමිනේට හත් අවුරුද්දකින් පමණ බාල වියෙහි වූ දිළිඳු ගැහැනියකි. දිළිඳු වුව ද ඈ පිරිසිදුව අඳින අවංක සෘජු ස්ත්‍රියකි. ඇගේ සැමියා මත්පැන් බොන්නකු වුව ද හොඳ ගැමියෙකි. කත්තිරිනා දුක් විඳින්නේ ඇගේ සැමියා නිසා බව මාතර හාමිනේ දනියි. කෙනෙකු දිළිඳු වුවද, දුක් පීඩා විඳින නමුදු, කත්තිරිනා කිලිටි රෙදි හැඳගෙන ගෙයින් පිට යනු නොදක්නා ලදී. කත්තිරිනා, ස්වාමිදුවකට මෙන් ද, මවකට මෙන් ද, ඇතැම් විට මිතුරියකට මෙන් ද මාතර හාමිනේට සලකයි. හතළිස් හැවිරිදි ගැමි ගැහැනියක වුව ද තරුණ විය ද තරුණ වියෙහි වූ කදිම රූ සපුව ද කියන සලකුණු කත්තිරිනා කෙරෙන් තවම සම්පූර්ණයෙන් ඉවත් නොවීය. වික්‍රමසිංහයන් 'ගම්පෙරළිය' නවකතාවේ මැවු කත්තිරිනා 1963 තිරගත වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'ගම්පෙරළිය' චිත්‍රපටයේ රංගනයෙන් නිරූපණය කළේ සුමනා වීරසේකරය. මීට වසර 57 කට එපිට තිරගත වූ 'ගම්පෙරළිය' චිත්‍රපටයට රංගනයෙන් දායක වූ නළු නිළියන් බොහෝ දෙනෙක් අද ජීවිතයෙන් සමුගෙනය. හෙන්රි ජයසේන (පියල්), ගාමිණී ෆොන්සේකා (ජිනදාස), ට්‍රිලීෂියා ගුණවර්ධන (අනුලා), වික්‍රම බෝගොඩ (තිස්ස), ඩේවිඩ් ධර්මකීර්ති (කයිසාරුවත්තේ මුහන්දිරම්), ශාන්ති ලේඛා (මාතර හාමිනේ), ටෝනි රණසිංහ (බලදේව), ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර (විජේ), අයිලින් සරච්චන්ද්‍රගේ (පියල්ගේ මව), සී. ටී. ප්‍රනාන්දු (මඟුල් කපුවා), මාපා ගුණරත්න (දොස්තර) මේ අතර ප්‍රධානය. සුමනා වීරසේකර රඟපා ඇත්තේ 'ගම්පෙරළිය' චිත්‍රපටයේ පමණය. එහි කත්තිරිනා නම් එහි විශේෂ චරිතයක් ලෙස කැපී පෙනුණාය. සුමනා වීරසේකර නම් ඇය 1924 මැයි 04 වෙනිදා දෙවුන්දර උපත ලැබුවාය. ඇගේ පියා බන්ධනාගාර නිලධාරියෙකි. එබැවින් ඇය පුංචි බොරැල්ලේ සංඝමිත්තා විද්‍යාලයේ සිප් සතර හැදෑරුවාය. පාසලේ දක්ෂතම කිවිඳිය හා කවි ගායනයට ප්‍රතිභාව ලැබූ යුවතිය ඇය වූවාය. එබැවින් ගුවන් විදුලිය ඇගේ දක්ෂතා රටටම හෙළි පෙහෙළි කරන තෝතැන්නක් වී ඇත. සිරි අයියා (යු. ඒ. ඇස්. පෙරේරා), තේවිස් ගුරුගේ, ජේ. එච්. ජයවර්ධන, පී. වැලිකල, කරුණාරත්න අබේසේකර ඇගේ කුසලතා ඔප් නැංවීමට අත හිත දුන්හ. රේඩියෝ නාට්‍යවල ඇයට රඟපෑමට අවස්ථාව ලැබිණ. ගුවන් විදුලියේ 'කවි මඩුව' වැඩ සටහනින් කවි ගායනා කළ ඇය හිටවන කවි ගායනයෙන් ජනප්‍රසාදය දිනා ගත්තාය. එපමණක් නොව ඇය කාව්‍ය රචනයට ද කුසලතා දැක් වූවාය. සුමනා 1940 වසරේ ප්‍රධාන බන්ධනාගාර ජේලර්වරයකු වූ මැන්ඩිස් වීරසේකර හා විවාහ වූහ. මැන්ඩිස් තරුණයා අහංගම උපත ලබා ගාල්ලේ මහින්ද විද්‍යාලයේදී ක්‍රීඩා කෞශල්‍ය පෙන්නූ ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයකුව සිටියේය. ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. මෙන්ඩිස් හා සුමනා යුවළට දරුවන් හය දෙනෙකි. පළමුවැන්නා ආනන්ද වීරසේකරය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජනරාල්වරයකු වූ ඔහු පසුව බුද්ධංගල ආනන්ද හිමියන් නමින් පැවිදි වූහ. මල්ලිකා, ඩොනල්ඩ්, සරත්, සුජාතා ශාන්ති පවුලේ සෙසු සාමාජිකයන් වූහ. රියාල් අද්මිරාල් සරත් වීරසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කම්කරු සහ කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටියේය. 'ගාමණී' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඔහු ලේඛකයෙකි. 'සාගරය සහ ගැහැනිය', 'නූතන පරෙදි සන්දේශය' කාව්‍ය සංග්‍රහය ද තොටගමුවේ ශ්‍රී රාහුල ග්‍රන්තයේ ද කතුවරයා ඔහුය. තම මව ගැන තොරතුරු අපට කීවේ සරත් වීරසේකරයන්ය. 'අම්මා කලාවට හුඟාක් කැමැතියි. කවියට, චිත්‍රපට කලාවට මගේ ඇල්මට සෘජුව බලපෑවේ අම්මා. තාත්තාට වඩා අම්මා අපි සහෝදර සහෝදරියන්ව හැදුවේ දැඩි නීති රීති මැද. අයියටත් මටත් හමුදාවට යන්න තරම් ශික්ෂණයක්, විනයක් ඇති කළේ අම්මා. අම්මාට තාමත් අපි බයයි. මම ආනන්දේ ඉගෙන ගන්න කාලෙත්, අයියා නාලන්දේ ඉගෙන ගන්න කාලේ අපිව ක්‍රීඩාවට යොමු කළේ අම්මා. අයියා පාපන්දු ක්‍රීඩාවෙන් ඉහළටම ගියා. ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල් රකින්නා ලෙස ක්‍රීඩා කරනවා බලන්න අම්මා අයියා ඉන්න ගෝල් කණුව ළඟට වෙලා බලා හිටිය අවස්ථා තියෙනවා. මම මුල්වරට ආනන්දේ තිබුණ මැරතන් තරඟයට සහභාගි වන කොට අම්මා ටැක්සියක නැගලා මගේ පිටිපස්සෙන් ටික දුරක් ආවා. උදේ පාන්දර නැගිටලා පිරිත් කිය කිය අම්මා අපිට අවදි කරලා කවල පොවලා පාසල් යැව්වේ. අම්මා කරුණාවන්ත මාතාවක්. මම අධ්‍යක්ෂණය කළ 'ගාමණී' චිත්‍රපටය බලලා අම්මා සතුටු වුණා. ලොකු අයියා මහණ වෙන කොට අම්මා සතුටට ඇඬුවා. අයියා නිසා අම්මට සසරින් එතෙර වෙන්න පුළුවන් කියලායි ඒ. අම්මාගේ ආභාසය නිසා මමත් මල්ලිකා අක්කාත් ලියන කවි කියවලා සතුටු වුණා. 1962 'ගම්පෙරළිය' චිත්‍රපටය රූපගත කිරීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සූදානම් වන විට තම ඥාතියකු වූ තිස්ස අබේසේකර මාතර හාමිනේගේ චරිතයට සුමනාගේ නම යෝජනා කර ඇත. එහෙත් ඒ වන විට එම චරිතයට ශාන්ති ලේඛා තෝරා ගෙන තිබුණි. 'අද ගම්පෙරළිය රූපවාහිනියෙන් දකින විට මට දුකක් වගේම සතුටක් ඇති වෙනවා. එදා මා සමඟ රඟපෑ බොහෝ දෙනෙක් මිය ගිහින්. කනගාටුව ඒකයි' සුමනා මාතාව අපට කීවාය. භාවනා කරමින් බෞද්ධ පත පොත කියවමින් ධර්මානුකූල ජීවිතයක් ගත කරන මේ පින්බර මාතාව පන්නිපිටියේ කලල්ගොඩ, දඹගහවත්තේ අංක 42/46 නිවසේ පදිංචිව සිය ජීවිතයේ සන්ධ්‍යා කාලය ගත කරන්නීය.
|
||||||