වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




බක්මහ දීගේ මුදලිතුමා සමුගනියි

බක්මහ දීගේ මුදලිතුමා සමුගනියි

ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේත් සිනමාවේත් උන්නතියට ඇප කැප වූ කලාකරුවකුගේ වියෝව කලාවට ළැදි අප කාගේත් හද සසල කරනා පුවතකි. හැට හැත්තෑව දශකවල වේදිකවේත්, රිදී තිරයේත් කැපී පෙනෙන චරිතයක් වූ ඩැනියෙල් මුතුමාල නම් දක්ෂ රංගනවේදියා පසුගිය සතියේ නවසීලන්තයේදී අප අතරින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87 කි.

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ ඔහු සිය උසස් අධ්‍යාපනය සඳහා පේරදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට පිවිසිණි. උපාධිය අවසන් කර ගුරු වෘත්තියට පිවිස ඩැනියෙල් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සේවය කර පසුව ලංකා කෘෂිකර්ම හා කර්මාන්ත ණය දෙන සංස්ථාවේ විධායක නිලධාරියකු ලෙස සේවය කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලයේදීත් පේරාදෙණිය රඟමඬල එකලු කළ ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වූයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘බහින කලාව‘ (1951) නාට්‍යයෙනි.

ඉන් පසුව රත්නාවලී, මැටි කරත්තය, කුන්ඩලකේෂී, බක් මහ අකුණ, දෙන දෙයියෝ, දේවතා එළි, දෑස නිසා, මඟුල් ප්‍රස්ථාව වැනි නාට්‍යවල රඟපාමින් වේදිකාවේ ප්‍රතිභාසම්පන්න රංගවේදියකු වූ ඔහු 1966 දී තිරගත වූ ‘වෙසතුරු සිහින’ චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසිණි.

1969 දී තිරගත වූ දයානන්ද ගුණවර්ධනයන්ගේ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වූ ‘බක් මහ දීගේ’ සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ඩැනියෙල් ඉන් රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වුණි.

1976 දී තිරගත වූ ‘තිලක හා තිලකා’ චිත්‍රපටයේ ‘තිලකා’ට විරුද්ධව ඡන්දය ඉල්ලන ‘ඇතාගල’ නම් දුෂ්ට චරිතය අපූර්ව ලෙස රඟපෑ ඔහු පසුව ලාංකේය සිනමාවටත් වේදිකාවටත් සමු දී සිය පවුල ද සමඟ විදේශගත පදිංචියට දිවයිනෙන් නික්මුණි.

විදේශගත පදිංචියෙන් පසුව වරින් වර ලංකාවට පැමිණි ඔහු කාලාවත් සමඟ පැවැති සම්බන්ධකම් කාලයත් සමඟ අතැර දැමූ නිසා ඩැනියෙල් මුතුමාල නම් දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පියා ද, සිනමා නළුවා ද කෙමෙන් කෙමෙන් රසිකයන්ගේ මතකයෙන් ගිලිහිණි. ඔහු සමඟ එකට රඟපෑ සමකාලීන රංගන ශිල්ප ශිල්පිණියන් බොහෝමයක් මේ වන විට මෙලොවින් සමුගෙන ඇති මුත් ඔහුව ඇසුරු කරන්නට, කතා බහ කරන්නට හා සමීපයේ රැඳෙන්නට වාසනාව ලද කලාකරුවන් අතළොස්සක් අප අතර වේ. මේ කා අතරත් ‘මුතු’ නමින් ප්‍රසිද්ධ වූ ඩැනියෙල් මුතුමාල පිළිබඳ ඔවුන්ගේ මතක ආවර්ජනයයි මේ.

ඇත්තටම නාට්‍ය ක්ෂේත්‍රයේ ඉහළ තලයක හිටිය කෙනෙක් තමයි ඩැනියෙල් මුතුමාල රංග ශිල්පියා. ඒ කාලේ අපි හරිම පොඩියි. ඔහුට තිබුණේ මහත් ගාම්භීර පෙනුමක්. තීක්ෂණ ඇස් දෙකක්. ඔහු හරිම සුහදයි. ඒ වගේම හොඳට ගීත ගයන්න පුළුවන්. වේදිකාවේ අති දක්ෂ ලෙස ඔහු රඟපෑවා. ඔහු මුදියර් කෙනෙක් වගේ බක්මහ දීගේ චිත්‍රපටයේ ඔහුගේ රංගනය විශිෂ්ටයි. හැමෝම ආදරයට ඔහුට කීවේ මුතු කියලා. රෝයල් කොලේජ් ශාලාවේ, හැව්ලොක් ටවුන් විද්‍යාලයේ ඒ දවස්වල නාට්‍ය පහුණුවිම් කරන කොට අපි නිතර නිතර මුණ ගැහුනා.

ඒ කාලේ එකම වේදිකාවේ නාට්‍ය තුන හතරක් බෙදාගෙන පුහුණු වීම් කෙරුණේ. මමත් ඔහුත් එකම නාට්‍ය කණ්ඩායමේ. නමුත් මට ඔහු සමඟ රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම හිතන විදියට ඔහු ආගමේ. ඩැනියෙල් කියලා ඔහුට නම දාලා ඇත්තේ ඒ නිසා වෙන්න ඇති. විදේශගත වුණාට පස්සේ ඔහු සමඟ අපේ සම්බන්ධතාවයක් තිබුණේ නෑ. මවු රටේ නැතුව වෙන රටක ඔහු මිය ගිය එක ගැන ඇත්තටම කනගාටුයි. ඔහු වෙනුවෙන් කලාකරුවෝ විදියට අපිට මොකුත්ම කරන්න නොහැකි වීම ගැන ලොකු දුකක් හිතට එනවා.

මෙලෙස ඩැනියෙල් මුතුමාල පිළිබඳ මතකය අවදි කළේ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන.

ප්‍රවීන රංගවේදී සිරිල් වික්‍රමගේ ද ඩැනියෙල් මුතුමාලගේ සමකාලීන රංගවේදියෙකි. මුතු පිළිබඳ ඔහු අවදි කළේ මෙවැනි මතකයකි.

‘ඩැනියෙල් බොහොම නිහතමානී කලාකරුවෙක්. ඒ දවස්වල කිට්ටු මිත්‍රත්වයක් අපි අතර තිබුණා. ඔහු ගුණදාස ගලප්පත්තිගේ නාට්‍යවල අති දක්ෂ ලෙස රඟපෑවා. උගත් සිවිල් නිලධාරියෙක් ලෙස රටේ හිටපු ඉහළ තලයේ නිලධාරින් සමඟ ඔහුගේ සම්බන්ධකම් තිබුණා. විදෙස් ගත වුණාට පස්සේ ඔහු සමඟ ඇසුරක් මගේ තිබුණේ නෑ. ඩැනියෙල්ගේ මිය යාම ගැන හිතට දැනෙන්නේ ලොකු දුකක්.’

ඩැනියෙල් මුතුමාල පිළිබඳ අයිරාංගණී සේරසිංහයන් සිය මතකයන් දිග හැරියේ මෙලෙසිනි.

‘ඩැනියෙල් මුතුමාල බක්මහ දීගේ වේදිකා නාට්‍යයේදී මාත් සමඟ රඟපෑවා. එයින් ඔහු ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රිය වුණා. උපහාසය නිරූපණයට ඔහු සතු මනා හැකියාවක් තිබුණා. ඔහු සමඟ රඟපෑමට ලේසියි. ඇත්තටම ඔහු හොඳ කලාකරුවෙක්.

වේදිකාවේ අසහාය රංගනයක නියැළුණ ඩැනියෙල් මුතුමාල පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් සිය මතකයන් ආවර්ජනය කළේ මෙලෙසිනි.

‘මට ඩැනියෙල්ව මුණ ගැසෙන්නේ ගුණසේන ගලප්පත්තිගේ ‘දේවතා එළි‘ නාට්‍යයේදි. එහි ‘මනෝසීල’ නැමැති සමාජ විරෝධී කටයුතු කරන පුද්ගලයකුගේ චරිතය ඔහු රඟපෑවා. එය බටහිර අනුවාදයක් ලෙස සකස් කළ ගුණසේන ගලප්පත්තිගේ එකම උපහාස නාට්‍යය. මමෝසීල සමාජ විරෝධී පුද්ලයෙක් නිසා සක් දෙවිඳු පොළවට විත් ඔහුව වෘෂභයෙක් බවට පත් කරනවා. නාට්‍යය අවසන් වන්නේ මනෝසීල වෘෂභයෙක් වෙලා. මේ සිදුවීම ඔහු අපූරුවට එහි රඟපෑවා. ගුණසේන ගලප්පත්ති ඔහුට මෙහි ප්‍රධාන චරිතය දෙන්න හේතු වුණේ විශිෂ්ට විදියට චරිතාංග නිරූපණයට මෙන්ම ගීත ගායනා කරමින් රඟපෑමේ හැකියාවද ඩැනියෙල් සතු වූ නිසා.

මම මේ අවධියේදී ගලප්පත්තිගේ නව රංග සභාවේ වැඩ කළා. ගුණසේනයන්ගේ ‘නරි බෑණා’ නාට්‍යයේ ද ප්‍රධාන චරිතය රඟපෑවේ ඩැනියෙල්. ඇත්තටම වේදිකාවේ අති දක්ෂ ලෙස චරිතාංග නිරූපණයට ඔහු සතු වුූ කුසලතාවය නිසා ගුණසේන ගලප්පත්ති ඔහුට නිතරම ප්‍රශංසා කළා. ඒවගේම කැරකෙන වේදිකාවේ ලංකාවේ ප්‍රථම වතාවට රඟ දැක් වූ ඔපෙරාමය නාට්‍ය වන දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘බක්මහ අකුණු’ ප්‍රධාන චරිතය වන මුදලිතුමාගේ චරිතය ඩැනියෙල් විසින් විශිෂ්ට ලෙස රඟදැක්වූවා. බක් මහ දීගේ චිත්‍රපටයෙන් ඔහුමයි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ.

කලාකරුවන් සමඟ මිත්‍රත්වයෙන් සැමගේම හිත දිනාගෙන සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව ඔහුට තිබුණා. අවාසනාවකට පසු කලෙක ඔහු රටින් පිට වුණ නිසා අපේ සිනමාවටත් වේදිකාවටත් ඩැනියෙල්ගේ අද්විතීය රංගන දායකත්වය ලබා ගැනීමට නොහැකි වුණා. ඔහු අපෙන් වෙන්වීම ඇත්තටම ලොකු පාඩුවක්. ඩැනියෙල් මුතුමාලා නම් ජ්‍යෙෂ්ඨ රංගවේදියා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කලාකරුවකු වන බුද්ධදාස ගලප්පත්ති පැවසුවේ මෙවන් මතකයක්.

‘ඩැනියෙල් මුතුමාල නම් අද්විතීය රංගන ශිල්පියාව මම පළමුවරට දකින්නේ බක්මහ දීගේ චිත්‍රපටයෙන්. ඒත් හැබැහින් නොවේ ඔහු රඟපෑ වේදිකා නාට්‍ය නැරඹීමට මට අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් බක් මහ දීගේ චිත්‍රපටය නරැඹුවාට පස්සේ මට ඔහු ගැන ලොකු ආසාවක් හිතේ ඇති වුණා. ඔහු රඟපෑවේ අසීරු චරිතයක්. චිත්‍රපටයේ මුදලිතුමාගේ චරිතයේදී සිය ළමා තැනීට හොරෙන් ගෙදර මෙහෙකාරිය සමඟ ඔහු සම්බන්ධයක් පවත්වාගෙන යනවා. ඒ සංකීර්ණ භූමිකාව රඟදැක්වීමේදී නළුවෙක් ලෙස ඔහු සතු මනා පෞරුෂය මම ඒ චිත්‍රපටයෙන් දැක්කා.

ඔහු පිළිබඳ මගේ ජීවිතයේ අත්විඳි විශේෂතම සිදුවීම වන්නේ 2010 දී ඒ මම මෙල්බන් නුවර ගිය අවස්ථාව. එහිදී මට අධිනිතිඥ රත්නකුමාර නිමලවීරව මුණ ගැසුණා. ඔහු ඩැනියෙල් මුතුකුමාරගේ කිට්ටු මිත්‍රයෙක්. රත්නකුමාර කියන්නේ සරච්චන්ද්‍රයන්ගේ හා හෙන්රි ජයසේනගේ අංග රචනා ශිල්පියා. ඔහු යටතේ මමත් අංග රචනා ශිල්පය ප්‍රගුණ කළා. එවකට ඩැනියෙල් මුතුමාල රංගවේදියා හිටියේ මෙල්බන්වල. රත්නවීර ගුරුතුමා මට යෝජනා කළා ඔහු හමුවෙන්න යන්න. මම චිත්‍රපටයෙන් පමණක් දුටු ඒ ජ්‍යෙෂ්ඨ රංගවේදියාව හැබැහින් දැකගන්න ලැබීමත් භාග්‍යයක්. ඉතින් මම ඔහු සමඟ ඩැනියෙල්ගේ නිවසට ගියා. ඔහු බොහෝම සුහදව අපි පිළිගත්තා. එදා වරුවම අපි ඔහුගේ බිරිඳ, දරුවන් ඇතුළු පවුලේ උදවිය සමඟ සතුටු සාමිචියේ යෙදුණා. ඒක මගේ ජීවිතයේ ලද වාසනාවන්ත අමතක නොවන මොහොතක්. ඒ දවස මතක් වෙද්දිත් හිතට ලොකු සතුටක් දැනෙනවා. ඇත්තටම ඔහුගේ වියෝව හද කම්පා කරනවා. ඩැනියෙල් මුතුමාල විශිෂ්ට සිනමා නළුවෙක් හා වේදිකා රංගන ශිල්පියෙක් ලෙසයි මා දකින්නේ.

අප කාටත් සොඳුරු මතකයන් රැසක් තිළිණ කොට විදේශයකදී නිහඬව සමුගත් ඩැනියෙල් මුතුමාල කලාකරුවන්ගේ රංගන කාලය තුළ රිදී තිරයටත් වේදිකාවටත් කළ මෙහෙවර අනභිබවනීයයි. ශ්‍රී ලාංකේය සමස්ත කලාකරුවන් වෙනුවෙනුත් සරසවිය අපිත් කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!