වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ගැන උත්තරය සිනහවක් විතරයි

ඒ ගැන උත්තරය සිනහවක් විතරයි

හිමාලි සයුරංගි

දක්ෂතා රැසක් සපිරි නිළියක වන හිමාලි සයුරංගි මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ දෙරණ රූපවාහිනියේ රාත්‍රි 8.30ට විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යය ඔස්සේ ය. කලකට පසුව ‘සරසවිය’ පුවත්පත සමඟ කතාබහකට යොමුවුණු හිමාලි ‘දෙවෙනි ඉනිම’ ගැනත්, සිය ජීවිතය පිළිබඳත් පළ කළේ මෙවැනි අදහස් කිහිපයකි.

මේ දවස්වල පුංචි තිරයේ ඔබ බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා?

කලාවෙන් කොහොමත් මා ඈත් වෙලා සිටියේ නැහැ. ඒත් මේ දවස්වල හැමෝගෙම කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙලා. ඒ උදේනිගේ චරිතය නිසා.

උදේනි කියන්නේ වෙනස් ම කාන්තාවක් නේද?

උදේනි අධිෂ්ඨානශීලී, ඉවසිලිවන්ත, කාරුණික ගුණ යහපත්කමෙන් හෙබි චරිතයක්. විවාහ නොවුණත් දරුවත් උස්මහත් කරගෙන, ජූස්බාර්එකක් කරගෙන තනියම ජීවත් වන අම්ම කෙනෙකුගේ චරිතයකටයි මා මේ දවස්වල පණ පොවන්නේ. කවදාවත් නැතිව ස්ථිර ආදරයක් හිමි නොවූ චරිතයකටයි මා මේ පණ පොවන්නේ. ඒ වගේ ම මා මෙතෙක් චරිත ගොඩක් රඟපාලා තිබෙනවා. ඒත් අසීමිතව රූපවාහිනි නරඹන්නන්ගෙන් මට මේ ලැබෙන ආදරය මෙතක් වෙනත් කිසිම ටෙලි නාට්‍යයකින් ලැබිලා නැහැ.

ඔබ ඔය පවසන්නේ ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයට රූපවාහිනි නරඹන්නන් ඒ තරමට ම ආදරය කරන බව ද?

‘දෙවෙනි ඉනිම’ කියන්නේ අද වනවිට අපේ රටේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍යයක්. කොහේදි දැක්කත් මා සමඟ කතා කරන නරඹන්නන් ප්‍රමාණය වැඩියි. ඒ අවස්ථාවලදි බොහෝදෙනා මගේ රඟපෑම බෙහෙවින් ම අගය කරනවා.

‘දෙවෙනි ඉනිම’ මෙගා ටෙලි නාට්‍යයක් නිසා බොහොම කාර්යබහුල ජීවිතයක් ද ඔබ ගත කරන්නේ?

මා උදෙන් ම අවදි වෙලා බොහොම ආසාවෙන් රූගත කිරීම්වලට සහභාගි වන ටෙලි නාට්‍යයකුයි ‘දෙවෙනි ඉනිම’ කියන්නේ. අධ්‍යක්ෂතුමා ඇතුළු එහි සියලු ම දෙනාගෙන් ම අපට ලැබෙන සහයෝගය අප්‍රමාණයි. ඒ වගේ ම සමන් එදිරිමුණි ලියන පිටපත ගැනත් විශේෂයෙන් කිව යුතුයි. බොහොම ආස හිතෙන දෙබසුයි ඔහු ලියලා තිබෙන්නේ. ඒවා අපේ සිතට බොහොම කා වදිනවා. මේ නිසා ම රූ ගත කිරීම්වලදි අපට දවස ගත වෙනවා නොදැනෙන තරම්.

උදේනි චරිතයට ඔබව සුදුසු යැයි යෝජනා කර තිබෙන්නේ කවුද?

මෙහි අධ්‍යක්ෂ සාරංගගේ බිරිය, එනම් නිෂ්පාදිකාවයි මාව මේ චරිතයට නම්කර ඇත්තේ. ඔවුන් මාව පමණක් නොවෙයි අනෙක් චරිතවලට තෝරාගත් ධර්මප්‍රිය ඩයස්, බිමල් ඇතුළු සියලු ම පිරිස ඒ ඒ චරිතවලට ගැළපෙන අයුරිනුයි තෝ‍රාගෙන ඇත්තේ.

ඔබ පසුගිය කාලයේ රඟපෑ චරිතවලට වඩා හාත්පසින් ම වෙනස් වූ චරිතයකුයි මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ?

මීට පෙර අම්මා කෙනෙකුගේ චරිතයක් මා රඟපෑවා. ඒ සිල්ලර කාසි ටෙලිනාට්‍යයේ. එහෙත් මෙහි රඟපාන චරිතය ඊට වඩා වෙනස් චරිතයක්. මෙහි ඉන්න මගේ පුතා ගොඩක් ලොකුයි. රවීන් තරම් ලොකු පුතෙකුගේ අම්මා කෙනෙකු විදියට මා රඟපාන බව දැන ගන්නේ රූගත කිරීම්වලට සහභාගි වූ විටයි.

ඒ වෙලාවේ ඔබගේ සිතේ ඉපැදුණේ මොනවගේ හැඟීමක් ද?

මට ඉන්නේ දියණියක් වුණාට මා අම්මා කෙනෙක්. කුමන දරුවකු සිටියත් අම්මා කෙනෙකුගේ සිතේ උපදින දරුකැක්කුම එකයි. ඒ නිසා රවීන්ට කියලා එහි වෙනසක් නැහැ. රවීන් මට මගේ පුතා වගේ. ඔහුටත් මාව හරියට ඔහුගේ අම්මා වගේ ම දැනෙනවා. එපමණක් නොවෙයි මේ චරිතයට ආදරය කරන, මෙවැනි අත්දැකීම්වලට මුහුණ දුන් විවිධ ක්ෂේත්‍රවල ඉන්න අම්මාවරුන් රැසක් ම පසුගිය කාලයේ මට කතා කළා. ඔවුන්ගේ කතා මට කිව්වා.

ඔවුන් පවසන්නේ මොනවද?

මා චරිතයේ දුක් විඳීන අයුරින් ම ඔවුනුත් වින්ඳ දුක්වේදනා ගැන මා සමඟ පැවසුවා. එවැනි අයගෙන් ප්‍රශංසා ලැබීම මට මහ මෙරක් තරම් වටිනවා. මොක ද අප කොයිතරම් රඟපෑවත් වැඩක් නැහැ කිසිවකුත් ඒ චරිතය ගැන කතා කරන්නේ නැතිනම්. ඒ චරිතය අනෙක් අයට දැනෙන්නේ නැත්නම්. ඒ නිසා මට මේ චරිතය ගැන තිබෙන්නේ සතුටක්.

බිමල් ජයකොඩි සමඟ ඔබ රඟපාන්නේ පළමු වතාවට ද?

මෙහි රඟපාන්නට ඉන්නේ බිමල් හා මම කියලා කිව්වාට පස්සේ වැඩ කරන්නට බොහොම ආසා හිතුණා. මීට කලිනුත් බිමල් සමඟ රඟපෑමට අවස්ථාව ලැබුණත් මොකක් හෝ වැඩක් නිසා ඒ අවස්ථා මඟ හැරුණා. ඒත් මේ අවස්ථාවට සහභාගි වන්න මට කාලය තිබුණා. ඊට අමතරව අධ්‍යක්ෂ සාරංගව මා හඳුනන්නේ බොහෝ කාලයක පටන්. ඊට පෙර ඔහුගේ නිර්මාණ කිහිපයකට ම කතා කළත් ඒ කිසිවකත් රඟපෑමට මට නොහැකි වුණා. ඒ සියලු දේම සලකා ගෙනයි මා ‘දෙවෙනි ඉනිම’ ට රඟපෑමෙන් දායකත්වය දක්වන්නේ.

මෙහි ඔබ බොහෝ වෙලාවට ඉන්නේ ඇඬූ කඳුළෙන්. අඬන්න වෙන ම මහන්සියක් ගැනීමට සිදුවුණා ද?

මගේ අයියා ලෙස රඟපාන ධර්මප්‍රිය අයියා, බිමල් හා පුතා අතර සිදුවීම්වලදි කියැවෙන දෙබස්වලට මගේ දෙනෙතින් සැබෑවට ම කඳුළු වැටෙනවා. ඒ සඳහා මට ග්ලිසරින් භාවිත කරන්න වුණේ නැහැ. අනෙක් කාරණය නම් ඒ චරිතය මට දැනෙනවා.

‘දෙවෙනි ඉනිම’ පුංචි තිරයට නැඟෙන්නේ සත්‍ය කතාවක් ඇසුරිනු බවයි කියැවෙන්නේ. එය සත්‍යයක් ද?

ඔවුන්ගෙන් ඒ ගැන විමසුවාට පස්සේ මට ලැබුණු පිළිතුර සිනහවක් පමණයි. ඒ නිසා ඒ ගැන මා ඊට පස්සේ ඔවුන්ගෙන් විමසුවේ නැහැ. මේ නිර්මාණය සත්‍ය කතාවක් බවත් කියැවෙනවා. සමහර විට මන:කල්පිත කතාවක් බවත් කියැවෙනවා. සත්‍ය කතාවක් වුණත් එය කාගේ කතාව දැයි නම් අප දන්නේ නැහැ. ඒ ගැන කියන්න හරිහමං විස්තරයක් මා දන්නේ නැහැ.

ඔබ රඟපාන්නේ මේ ටෙලි නාට්‍යයේ පමණක් ද?

මේ වනවිට පිටපත් දෙකක් ම මට ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳ කිසිම අදහසක් මේ වනතුරුත් මා ප්‍රකාශ කරලා නැහැ. අනෙක් කාරණය නම් මා ගොඩක් නිර්මාණ භාර ගන්නේත් නැහැ. හොඳ නිර්මාණයකට පමණයි රංගනයෙන් දායක වන්නේ. යම් නිර්මාණයකට දායකත්වය දෙනවා නම් නිළියක විදියට මෙතෙක් ගොඩනඟා ගත්ත දේ තවත් ඉහළට ඔසවා තබන නිර්මාණයකටයි අප දායක විය යුත්තේ. විශේෂයෙන් ම අධ්‍යක්ෂවරයා හා පිටපත ගැන සලකා බලලයි මා නිර්මාණ තෝරා ගන්නේ.

හිරු මෙගා ස්ටාර් තරගයේ දිනුම ලැබෙන්නේ ඔබ ඇතුළු පිරිසටයි. එහිදි ඔබ රංගනයටත් දක්ෂ කාන්තාවක බව වැටහුණා?

එහිදි නැටුවා. සින්දු කිව්වා. රඟපෑවා. මහන්සි වෙලා වැඩ කළා. කැපවුණා. අපට ඒ කැපවීමට නියම විනිශ්චය ලැබුණා. ඒ ඔස්සේ මගේ නර්තන දක්ෂතාත් එළිදැක්වුණා.

මේ තරම් වැඩ කොටසක් කිරීමට ඔබ කාල කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?

නිවෙසේ කටයුතු වගේ ම දුවගේ කටයුතුත් කෙරෙන්නේ මගේ අතින්. ඒ අතරතුර මගේ අම්මා වගේ ම මහත්තයාගේ අම්මත් මට ඇවිත් උදවු වෙනවා. මොකද මා පොඩ්ඩක් වත් නිකං ඉන්නේ නැහැ. ඒ වගේ ම වේගවත්ව, කඩිසරවයි වැඩ ටික කරන්නේ. ඒ නිසා රඟපෑම වගේ ම සියලු ම කටයුතු කිරීමට මට කාලය නිර්මාණය කරගැනීමට හැකියි.

ඔබගේ දියණියගේ වයස කීය ද?

සෙනල්‍යා දියණියට වයස තුන හමාරක් විතර වෙනවා. මේ වනවිට ඈ ළදරු පාසල් යනවා. ඈ නිවෙසෙදී නිවෙදන කටයුතු, රංගනය, ගායනය ආදී සියල්ල ම කරන අයුරු මා දැකලා තිබෙනවා.