|
වසර 50 කට පෙර ‘සත් සමුදුර’ තරණය කළ සිරි ගුණසිංහ නික්ම ගියේය
මහාචාර්ය සිරි ගුණසිංහ වසර 92 ක් ආයු වළඳා පසුගියදා කැනඩාවේදී ජීවිතයෙන් සමු ගත්තේය. කලා විචාරකයකු, කවියකු, චිත්‍ර ශිල්පියකු, නවකතාකරුවකු, ගීත රචකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම මහාචාර්යවරයකු ලෙස කැනඩාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ කලා ඉතිහාසය ඉගැන් වූ ඔහු ක්ෂේත්‍ර ගණනක පෙරළි කළ විද්වතෙකි. බෙනරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුණසිංහ 1925 පෙබරවාරි 30 වෙනිදා රුවන්වැල්ලේ පනාපිටිය ගම්මානයේ උපත ලැබීය. එහෙත් ඔහුගේ කුඩා අවදිය ගෙවුණේ ගාල්ලේය. ගාල්ලේ සිංහල පාසලින් මූලික අධ්‍යාපනය ලබා එහිම මහින්ද විද්‍යාලයෙන් ඔහු ද්විතීය අධ්‍යාපනය ලැබුවේය. මහින්දයේ ඔහු සමඟ එකම පන්තියේ ඉගෙන ගත් දෙදෙනෙකි ආචාර්ය එඩ්වින් ආරියදාස හා මහාචාර්ය විනී විතාරණ. අනිත් මහාචාර්යවරයා වූ ධර්මසේන අරම්පත්ත අද ජීවතුන් අතර නැත. 1945 ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සංස්කෘත ගෞරව උපාධිය ලැබූ ඔහු ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළේ 'ඉන්දියානු චිත්‍ර ශිල්පය' නම් නිබන්ධනයයි. පසුව ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත අංශයේ මහාචාර්යවරයකු වූ හෙතෙම 1956 'මස් ලේ නැති ඇට' නිසදැස් සංග්‍රහය පළ කළේය. 'රතු කැකුල' හා 'අබිනික්මන' ඔහුගේ සෙසු නිසඳැස් කාව්‍ය දෙකය. 1960 දී ඔහු තම ප්‍රථම නවකතාව 'හෙවනැල්ල' පළ කළේය. 1956 'මනමේ' නාට්‍යයේ වෙස් ගැන්වීම් වේදිකා නිර්මාණය කළේ ද ඔහුය. හෙතෙම රොකර් පෙලර් ශිෂ්‍යත්වය යටතේ ඇමරිකාවට ගොස් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් විශ්වවිද්‍යාලයේ සිනමාකරණය හදාරා ඇත. 'හෙවනැල්ල' නවකතාවේ දෙවැනි කොටස 'මන්දාරම' නමින් ලියූ ඔහු 1967 වසරේ 'සත් සමුදුර' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1968 වසරේ 'සත් සමුදුර' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1968 වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ ලෙස සරසවිය සම්මානය දිනා ගත්තේ ද ඔහුය. කලා විචාරකයකු වූ ඔහු සිනමාව ගැන ලියූ ලිපිය මුලින්ම මට කියවන්නට ලැබුණේ 1964 වසෙර්ය. 'අවධානය: පදනම කලාවයි' නම් ඒ ලිපිය පළ වූයේ 1964 සරසවිය සම්මාන උලෙළ වෙනුුවෙන් පළ වූ ඩයස් ගුණරත්න (පසුව මහාචාර්ය) විසින් සංස්කරණය කළ 'සරසවිය සිනමා' සඟරාවේය. එහි එන මේ ඡේදය එකල සිනමාව ගැන උනන්දුව දැක් වූ සිසුන් ඥාන මණ්ඩලය පෝෂණය කිරීමට බලපෑවේය. නා නා යන්ත්‍රවල උපකාරයෙන්ම නිපදවනු ලබන දෙයක් නිසා චිත්‍රපටය යාන්ත්‍රික නිර්මාණයක් මිස මිනිසාගේ සියුම් හැඟීම් අයුරින් බිහි විය යුතු කෘතියක් යැයි බොහෝ දෙනා නොසිතනවා විය හැක. කලා කෘතියේ කලාත්මක අගය ඇත්තේ නිෂ්පාදනයේදී උපයෝගී කර ගන්නා මෙවලම්වල නොවේ. කලාත්මක බව ඇත්තේ කෘතිය නිර්මාණ කරන තැනැත්තාගේ සියුම් හැඟීම්වලය. කලාකරුවාගේ ශක්ති ප්‍රමාණයට අනුව නිර්මාණයේ අගය අඩු වැඩි වන බව නැවත නැවත කිව යුත්තක් නොවේ. කව්සිළුමිණේ කර්තෘත්, අලගියවන්න මුකවෙටි පුහුණු කළේ එකම කලා මාධ්‍යයය. භාවිතා කළේ එකම භාෂාවය. දෙදෙනා අතර ඇති වෙනස විශාලය. බර්ග්මාන්, රෝයි, කුරොසාවා, අන්තොනියෝනි, රෙනේ ආදී නිෂ්පාදකයන් භාවිත කරන්නේත් ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය ආදී රටවල සිටින සිය ගණනක් අනිත් නිෂ්පාදකයන් භාවිත කරන්නේත් එකම ගණයේ කැමරාය. එකම ගණයේ ශබ්දග්‍රාහක යන්ත්‍රය. එහෙත් මදුරාසියේ හෝ බොම්බායේ හෝ කල්කටාවේ නිපදවන සිය ගණන් චිත්‍රපටත් සත්‍යජිත් රේගේ 'පතෙර් පංචාලිත්' අතර විශාල වෙනසක් ඇත. ඒ කෙසේද? චිත්‍රපටය බිහි වන්නේ කැමරාවෙන් නොවේ. කලාකාරයාගේ මනසිනි.' පසු කලෙක මා සරසවිය කර්තෘ මණ්ඩලයට බැඳුණු පසු මහාචාර්ය සිරි ගුණසිංහයන් හමු වී සිනමාව ගැන විශේෂාංග කිහිපයක් ලිවීමට අවස්ථාව ලැබිණ. ඒ ඔහු කැනඩාවේ සිට විටින් විට ශ්‍රී ලංකාවට පැමිණි විටය. ඔහුගේ බාල සොහොයුරු නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාගේ නිවසේදීය ඒ. එසේ පැමිණි අවස්ථාවක ඔහු 'සත් සමුදුර' නම් තමා මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ගැන කතා කළේය. 'මගේ අදහසේ හැටියට චිත්‍රපට මාධ්‍යයේ ප්‍රධාන අංශය රූපය මිස සංවාද නොවෙයි. නවකතා වැනි මාධ්‍යයකදී සංවාද වැදගත් වුව ද චිත්‍රපට මාධ්‍යයේදී සංවාදය උපයෝගි විය යුත්තේ රූපයෙන් මතුවන හැඟීම් තීව්ර කිරීමට පමණයි' තමා අධ්‍යක්ෂණය කළ 'සත් සමුදුර' චිත්‍රපටය නිර්මාණය කිරීමේදී රූප මඟින් කතාව කීමට උත්සාහ ගත් අතර සංවාද අවශ්‍ය අවස්ථාවලදී පමණක් යොදා ගත් බව මහාචාර්ය ගුණසිංහ පවසා සිටියේය. ඔහුගේ අදහස අනුව බොහෝ සිංහල චිත්‍රපටවල ඇති විශාලතම දුර්වලකම කතා වස්තුවට නොසෑහෙන අයුරින් ගරුසරු දැක්වීමය. 'කතා වස්තුව මහත් සේ සලකන චිත්‍රපටකරු කරන්නේ කෙසේ හෝ මුල මැද අග ගලපා කතාව කීමය. සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයින් ද බොහෝ විට තෘප්තියට පත් වන්නේ චිත්‍රපටයෙහි අන්තර්ගත කතාව ගැන සිතීමෙන් බව ඔවුන් කැමති චිත්‍රපට ගැන කියන දේවලින් පෙනෙනවා. කතාවට මුල් තැන දෙන චිත්‍රපට කලාකාරයාට සිදු වන්නේ මාධ්‍යයට ආවේණික විශේෂ ලක්ෂණ ගැන නොතකා කෙසේ හෝ කතාව කියා අවසන් කිරීමයි. ඉස්මතු කර දැක්විය යුතු අවස්ථා මොනවාද? හැඟීම් ප්‍රකාශ කිරීමට අවශ්‍ය විශේෂ සිද්ධි මොනවාද? විශේෂයෙන් උපයෝගි කර ගත යුතු දෙබස් මොනවාද? ඔයාදී ප්‍රශ්න ගැන සිතා තමාට අවශ්‍ය දේ පමණක් තෝරා බේරා ගැනීමට කතාවට කීකරුව අධ්‍යක්ෂවරයාට ඉඩක් තිබෙනවා. කොයිම කලාවක් හෝ සාර්ථක වන්නේ මේ තෝරා බේරා ගැනීම මතයි.' ලෝකයේ ශ්‍රේෂ්ඨ හා ජනප්‍රිය නවකතා ඇසුරෙන් චිත්‍රපටයට නැඟූ චිත්‍රපට හුඟාක් අසාර්ථකව ඇති බව පැවසූ මහාචාර්ය ගුණසිංහ සාර්ථක ලෙස සිනමාවට නැඟුනු චිත්‍රපටය ඩේවිඩ් ලීන් අධ්‍යක්ෂණය කළ බෝරිස් පැස්ටර්නැක්ගේ 'ඩොක්ටර් ශිවාගෝ' නම් කර ඇත. විශාල ක්ෂේත්‍රයක කියවෙන මේ නවකතාවේ සිද්ධි, අවස්ථා, සංවාද කෙටියෙන් පරෙස්සමින් තෝරා බේරාගෙන ප්‍රාණවත් ලෙස තිර නාටකය තුළ ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන ඇති බව පවසා ඇත. 'මෙරට චිත්‍රපටයට නැඟූ සිංහල නවකතා ගැන සෑහීමකට පත් වන්නට බැහැ. 'ගම්පෙරළිය' චිත්‍රපටය විචාරකයන් සාර්ථක යයි කීවත් එය චිත්‍රපට මාධ්‍යයට ආවේණික විධි නියාම අනුව සිතුවොත් සාර්ථක චිත්‍රපටයක් යයි කීමට අපහසුයි. මා දැක ඇති චිත්‍රපට අතරින් 'දොලොවක් අතර' චිත්‍රපටය උචිත ලෙස රූපය හා සංවාදය භාවිත කළ චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකිය.' 'සත් සමුදුර' චිත්‍රපටය බිහිවීමේ කතාව මෙසේය. මීගමුවේ ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයකු වූ ලීනස් දිසානායක සරච්චන්ද්‍රයන්ගේ 'පබාවතී' වේදිකා නාට්‍යය බැලීමට ගොස් ඇත. එහි ඔක්කාක රජ ලෙස රඟපෑ සිරිල් වික්‍රමගේ ගේ රඟපෑමෙන් සතුටට පත් දොස්තර ලීනස් ඔහු ප්‍රසංශා කොට තමා සැලසුම් කොට ඇති චිත්‍රපටයට සම්බන්ධ වෙන ලෙස ආරාධනා කොට ඇත. 'ඩොක්ටර්, අපි 'මූදු පුත්තු' ෆිල්ම් කරමු දැයි' සිරිල් විමසා සිටියේ, ඒ ප්‍රේමතිලක සකළසූරිය නම් ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියා විසින් ලියන ලද දොස්තර ලීනස්ගේ මිත්‍රයා ලියූ චිත්‍රපට තිර පිටපත කියවා එහි අසාර්ථක බව පෙන්වා දීමෙන් පසුය. ඒ වන විට 'මුදු පුත්තු' නාට්‍ය නිෂ්පාදනය කළ ගුණසේන ගලප්පත්ති, ගීත රචනා කළ මහගම සේකර හා සංගීත අධ්‍යක්ෂ සෝමදාස ඇල්විටිගල මේ නාට්‍යය සිනමාවට නැඟීමට අදහස් කර තිබුණි. 'මූදු පුත්තු' සිනමාවට නැඟීමේ අදහසට කැමති වූ දොස්තර ලීනස්, සිරිල් ගුණසේන ගලප්පත්ති හමු වූහ. ගුණසේන මුදු පුත්තු අධ්‍යක්ෂණය කරන්න' 'නැහැ. මම තිර නාටකය ලියන්නම්. මහගම සේකරටත් සිරි ගුණසිංහටත් අධ්‍යක්ෂණය භාර දෙමු. සිරි ගුණසිංහ පැරිසියේ සිට ඇවිල්ලා ඉන්නේ' ගලප්පත්ති කීවේය. ගලප්පත්ති ලංකා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ ඔහුගේ ගුරුවරයෙකි සිරි ගුණසිංහ. 'සිරි ගුණසිංහ එක්ක එන්න' දොස්තර ලීනස් කීය. සිරි ගුණසිංහ චිත්‍රපටය කිරීමට බාර ගත්තේය. චිත්‍රපට විචාරයේ ද, එතෙරදී සිනමාකරණය ගැන ඉගෙන තිබූ දැනුම ගැන ආචාර්ය සිරීට විශ්වාසයක් තිබුණි. ගලප්පත්ති හා සේකර මහන්සියෙන් 'මූදු පුත්තු' තිර නාටකය ලියා තිබුණි. මේ වන විට 'මූදු පුත්තු' නාට්‍ය පිටපතේ ප්‍රකාශන අයිතිය මහරගම සමන් මුද්‍රණාලය මඟින් ලබා තිබූ නිසා නිර්මාණ අයිතිය ගැන ගැටලුවක් මතු විය. චිත්‍රපටයේ වැඩ කටයුතු ඇණ හිටි අතර ඔවුන්ගේ මහන්සියට දොස්තර ලීනස් රුපියල් 2,500 ක් දුන්හ. ගලප්පත්ති එය සම්පූර්ණයෙන්ම සේකරට දී ඇත. 'අපි තිර නාටකයක් ලියමු' දොස්තර ලීනස් කීය. ආචාර්ය සිරි ගුණසිංහ සිනමාව ගැන, චිත්‍රපට තිර නාටක කියවා තිබූ ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය වසන්ත ඔබේසේකර එක්ව 'සත් සමුදුර' තිර කතාව ලියූහ. චිත්‍රපටයේ සියලු සම්බන්ධිකාරක වූයේ සිරිල් වික්‍රමගේය. සිරි ගුණසිංහයන්ට චිත්‍රපටයේ කාර්මික අංශය ගැන තිබූ දැනුම මඳ නිසා දොස්තර ලීනස් කැමරා අධ්‍යක්ෂණයට තෝරා ගත්තේ ඒ දවස්වල (1965) කාඩීෆ් චිත්‍රපට උලෙළේ දී සම්මාන දිනා දිවයිනට පැමිණි 'භක්ති' වාර්තා චිත්‍රපටයේ නිර්මාතෘ ඩී. බී. නිහාල්සිංහවය. 'සත් සමුදුරේ' ප්‍රධාන චරිතය වූ ගුණදාසගේ චරිතයට සිරිල් වික්‍රමගේ තෝරා ගන්නැයි දොස්තර ලීනස් කී විට මුලදී සිරි ගුණසිංහයන් එයට විරෝධය පා ඇත. එහෙත් සිරිසේනගේ චරිතයට 'මනමේ' වැදි රජ එඩ්මන්ඩ් ජයසිංහ තෝරා ගැනීමේ අධ්‍යක්ෂකගේ යෝජනාවට දොස්තර ලීනස් අකැමැති වී නැත. දෙනවක හාමිනේ රඟපෑ චරිතයට මුලින් තෝරා ගෙන තිබුණේ සෝමලතා සුබසිංහ (ප්‍රනාන්දු)ය. ගම්පෙරළියේ නන්දාගේ චරිතයට පවා තෝරාගෙන සිටි සෝමලතා මහලු චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කර ඇත. ආධුනික නළු නිළියන් (සිරිල්, එඩ්මන්, ස්වර්ණා මල්ලවාරච්චි, ලීනා ප්‍රනාන්දු, සෝමසිරි දෙහිපිටිය, හේමමාලි ගුණසිංහ, රත්නාවලී කැකුණවෙල, බර්ටි කිරිදෙන මේ අතර වූ අතර තරමක හෝ චරිතයක් රඟපා තිබුණේ 'සාමා' චිත්‍රපටයේ රඟපෑ දෙනවක හාමිනේ පමණි. 1967 තිරගත වූ 'සත් සමුදුර' චිත්‍රපටයට විචාරක ප්‍රශංසා හිමි වූ අතර එය 1968 සරසවිය සම්මාන අටක් හිමි කර ගත්හ. හොඳම චිත්‍රපටය - සත් සමුදුර (නිෂ්පාදක ලීනස් දිසානායක), හොඳම අධ්‍යක්ෂ - සිරි ගුණසිංහ, හොඳම නළු චරිතය - එඩ්මන් විජේසිංහ, හොඳම නිළි චරිතය - දෙනවක හාමිනේ, හොඳම සංගීත අධ්‍යක්ෂ - සෝමදාස ඇල්විටිගල, හොඳම ගීත රචක - මහගම සේකර (සිනිඳු සුදුමුදු තලාවේ), හොඳම ගායකයා - ඩබ්ලිව්. ඩී. අමරදේව ('පිපුණ කුසුම පර වූවා'), හොඳම සංස්කරණය - ඩී. බී. නිහාල්සිංහ මේ සරසවි සම්මාන 08 ය. මීට වසර 50 කට එපිට තිරගත වූ සත් සමුදුර චිත්‍රපටයට ආචාර්ය සිරි ගුණසිංහයන් ලියූ අමරදේවයන් ගැයු මේ ගීතය සිංහල චිත්‍රපට ගීත රචනා සාහිත්‍යයේ අපූරු නිර්මාණයකි.
'පිපුණු කුසුම පරවුණා සිරි ගුණසිංහ අධ්‍යක්ෂණය කළ ප්‍රථම වාතාන්ත වාර්තා චිත්‍රපටය 'රන්වන් කරල්'ය. මේ චිත්‍රපටයේ පුණ්‍යා හීන්දෙනිය, ජෝ අබේවික්‍රම, ඩි. ආර්. නානායක්කාර, ශාන්ති ලේඛා රඟපෑ අතර තිර නාටකය රචනා කළේ පී. කේ. ඩී. සෙනෙවිරත්න විසිනි. 'චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න මම ළඟදී ලංකාවට එනවා. මේ චිත්‍රපටයේ තිර නාටකය දැනටමත් ලියලා ඉවරයි. නගරබද ජීවත්වන කම්කරුවෙක් පිළිබඳ කතාවක්' සිරි ගුණසිංහයන් මට පවසා සිටියේ 1976. 1. 30 සරසවිය පුවත්පතට ලියූ විශේෂාංගයකදීය. කැනඩාවේ සිට ලංකාවට පැමිණි ඔහු මට එදා හමු වූයේ එකල රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතාගේ තිඹිරිගස්යායේ නිවසේදීය. 'හෙවනැල්ල' නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අදහසක් නැද්දැයි අප ඇසූ පැනයට සිරි ගුණසිංහයන් පැවසුවේ මෙවැනි පිළිතුරකි. 'හෙවනැල්ල නවනකතාව මම ලිව්වේ විඥානධාරා සන්දර්භ රීතිය මුල් කොටගෙනයි. මේ නවකතාව චිත්‍රපටයට නැඟීමට තරම් ජීවන අත්දැකීම් පුළුල් නැහැ. සීමාසහිත කාලපරිච්ඡේදයක මේ කතාව විකාශනය වන්නේ. ඒත් විඥානධාරා සන්දර්භය ඇති නවකතා චිත්‍රපටයට නැඟීිමට බැරි නැහැ. එසේ කළ සාර්ථක චිත්‍රපටයක් ලෙස ඇලන් රෙනේගේ 'ලාස්ට් ඉයර් ඉන් මාරියන් බාද්' සැලකිය හැකියි. විඥානධාරා සන්දර්භ රීතිය ඔස්සේ විකාශනය වන චිත්‍රපටයක කතාවේ පැටලිලි බව වෙනස් වන බව, පිරිසිදු නැති බව මතු වෙනවා. මේ පැටලිලි බව අවුල් බව 'මාරියන් බාද්' චිත්‍රපටයෙන් නිරූපණය වුණා. මෙවැනි චිත්‍රපට ප්‍රබුද්ධ රසිකයාට හැර රස විඳීමට අමාරු බව නම් ඇත්ත.' මහගම සේකරයන් මිය ගියේ අපේ සංවාදයට ටික දිනකට පෙරය. 'සේකර නැති වීම බලවත් පඩුවක්. ඒක සම්පූර්ණ කරන්න කාටවත් බැහැ. ඔහු ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්. මානුෂික ගති අතිනුත් සේකර උතුම් කෙනෙක්. විවිධ කුසලතා ඇති සේකර හොඳ ගීත රචකයෙක් ලෙස මම වඩාත් අගය කරනවා. සත් සමුදුරට ලියපු 'සිනිඳු සුදුමුදු තලාවේ' ගීතයට මම කැමතියි. ඒ වගේම මා සේකර ලියපු 'ඈත කඳුකර හිමව් අරණේ' ගීතයටත් වඩාත් කැමතියි' එදා සිරි ගුණසිංහයන් කීය. එදා ගුණසිංහයන් ලංකාවට පැමිණ සිටියේ ඉංග්‍රීසියෙන් පළ කරන 'ලංකාවේ පැරැණි විහාර බිතු සිතුවම්' හා 'මහනුවර යුගයේ විහාර බිතු සිතුවම්' ග්‍රන්ථ සඳහා කරුණු රැස් කිරීමටය. මා මහාචාර්ය ගුණසිංහයන් වඩාත් ගරු කරන්නේ ඔහු පොත් පිටකවර නිර්මාණයට කළ විශිෂ්ට සේවයටය. ඔහු විසින් අඳින ලද මස් ලේ නැති ඇට, හෙවනැල්ල, අබිනික්මන තමාගේ පොත්වලට මෙන්ම සරච්චන්ද්‍රයන්ගේ කල්පනා ලෝකය, මඩවල එස්. රත්නායකගේ අක්කර පහ, සිත නැති බඹ ලොව, මාර යුද්ධය පිටකවර මා අගයන්නේ මා ද අංකුර පොත් පිටකවර ශිල්පියෙක් නිසාය. |