වර්ෂ 2016 ක්වූ  ජූනි 01 වැනිදා බ්‍රහස්පතින්දා




එදා පැමලා Anderson

එදා පැමලා Anderson

මෙදා ප්‍රියංකා Chopra

Baywatch යනු ලොව පුරා අතිශය ජනප්‍රිය අමෙරිකානු ක්‍රියාදාම රූපවාහිනි කතා මාලාවක්. 1989 වසරේ සිට 2001 වසර දක්වා විකාශය කෙරුණු එය ලොස්ඇන්ජලීස්හි ජීවිතාරක්ෂක කණ්ඩායමක් පිළිබඳව කියවෙන කතා මාලාවකින් යුක්ත විය. නයිට් රයිඩර් කතා මාලාවේ මයිකල් නයිට් ලෙසින් ලොව පුරා ඉහළ ජනප්‍රියවයක් ලද ඩේවිඩ් හැසෙල්හොෆ් සමඟින් පැමෙලා ඇන්ඩර්සන් එහි ප්‍රධාන චරිත නිරූපණය කළ අතර මෙය එකල ලොව වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනි කතා මාලාව බවටද පත්විය.

Baywatch නිසා පැමෙලා ඇන්ඩර්සන් සරාගී Baywatch නිළිය ලෙසින් හඳුන්වන තරමට ජනප්‍රිය වූවාය. Baywatch රූපවාහිනි කතා මාලාව එකල අපේ රටේ ද විකාශය කෙරුණු අතර අද මෙන් නොව අසභ්‍ය චිත්‍රපට අතිශය දුර්ලභ වූ එකල බිකිනි ඇඳුමෙන් රංගනයේ යෙදෙන නිළියන් සිටින Baywatch හැඳීන් වූයේ අසභ්‍ය නිර්මාණ ගණය යටතේය. වැඩිහිටියන්ට පමණයි යන්න දක්වමින් දරුවන් නින්දට ගිය පසු එය රාත්‍රි දහයට විකාශය කෙරිණි.

Baywatch රූපවාහිනි කතා මාලාව ඇසුරෙන් නිර්මාණය කළ Baywatch චිත්‍රපටය පසුගිය මැයි 25 වැනිදා සිට ලොව පුරා තිරගත කිරීම ආරම්භ කෙරිණි. සෙත් ගෝඩ්න් විසින් අධ්‍යක්ෂණය කෙරුණු එහි ඩ්වේන් ජොන්සන්, සැක් එෆර්න්, ප්‍රියංකා චොප්රා, ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ, කෙලි රොහ්බැච් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වේ. එදා Baywatch රූපවාහිනි කතා මාලාව සමඟින් පැමෙලා ඇන්ඩර්සන් වෙත ඇති වූ අවධානය අද Baywatch චිත්‍රපටය නිසා ද බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ හොලිවුඩ් නිළි ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ කෙරෙහි ද යොමු වි ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 69ක වියමෙන් නිර්මාණය කෙරුණු මෙයට නිෂ්පාදන ආයතන හතක දායකත්වය ලැබී ඇත. Baywatch චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේ පැරාමවුන්ට් පික්චර්ස් විසිනි. මියාම්, ජෝර්ජියා සහ ෆ්ලොරිඩා හිදි මෙහි රූගත කිරීම් සිදු කර ඇත.

මිච් බුචනොන් සහ ඔහුගේ පිරිස ෆ්ලොරිඩාහි 'එමරල්ඩ් බේ' නම් මුහුදු වෙරළෙහි ජීවිතාරක්ෂකයන් පිරිසකි. ජීවිත පන්සියයකට වඩා වැඩි ගණනක් බේරාගෙන මිච් සියල්ලන්ගේම ආදරයට පාත්‍ර වූවෙකි. දිනක් එම ප්‍රදේශයේ ඇති සමාජ ශාලාවකදී නීති විරෝධි මත්කුඩු මිච්ගේ ඇස ගැටේ. මෙම සමාජ ශාලාව වික්ටෝරියා නම් කාන්තාවට අයත් වූවකි.

මේ අතර අලුත් ජීවිතාරක්ෂකයින් තෝරා ගැනීමකදී ඔලිම්පික් පිහිනුම් තරගයන්ට පවා ඉදිරිපත් වී ඇති බ්‍රෝඩි ද ඉදිරිපත් වන අතර ඔහු එයින් අසමත් වේ. ඒ මිච් විසින් ඔහු අසමත් කෙරෙන බැවිනි. එකිනෙකා අතර ගැටුම් විරසකවීම් පැවතුණ ද මිච් සහ බ්‍රෝඩි වික්ටෝරියා විසින් පවත්වා ගෙන යන බවට සැක කෙරෙන මත්කුඩු ජාවාරම සොයා ගැනීමට රහස් පරීක්ෂණයක් දියත් කරති. එහිදී මිච් සහ බ්‍රෝඩි මුහුණ දෙන හාස්‍යෝත්පාදක නමුත් ත්‍රාසජනක අත්දැකීම් Baywatch මෙම චිත්‍රපටයෙන් දිග හැරේ.

රූපවාහිනි කතා මාලාව සහ චිත්‍රපටයෙහි වෙනස ලෙස විචාරකයන් දකින්නේ රූපවාහිනි කතා මාලාව තමන්ට ගෙවන මුදලට වඩා තම ජීවිත පරදුවට තබා ජීවිතාරක්ෂක ක්‍රියාවේ නිරත පිරිසක් ගැන කියවෙන්නක් ලෙසත් චිත්‍රපටය හාස්‍ය රැගෙන එන්නක් පමණක් බවය. එසේම හාස්‍යමය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙසින් මිනිත්තු 119ක් පුරා තිරයේ දිග හැරෙන මෙයට පසුගිය 26 වැනිදා තිරගතවීම ආරම්භ කළ අමෙරිකානු ඩොලර් මිලියන 230ක වියදමකින් නිර්මාණය වූ Pirates of the Caribbean: Dead Men Tell No Tales  සමඟින් තරඟයක් පවතිනු ඇති බවත් මත පළ වෙලා.

කෙසේ වුවත් Baywatch චිත්‍රපටය ද ළමයින්ට සුදුසු නොවන චිත්‍රපටයක් බව විචාරක මතය යි. මේ තුළ හාස්‍ය ගෙනන ඇතැම් අවස්ථා නැවත නැවතත් දකින්නට ලැබීම අඩුපාඩුවක් බවත් ඇතැමුන්ගේ අදහසයි. හොඳ නළු නළි පිරිසක් නාස්ති කළ බවට තවත් විචාරකයෙක් චෝදනා කර සිටිනවා. කවුරුත් දන්නා දේ මිස පුදුමය උපදවන කිසිවක් මේ තුළ නොමැති බව ද බොහෝ විචරකයන්ගේ මතය යි.