වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




ඔව්, මං එදත් වීදියේ - අදත් වීදියේ

ඔව්, මං එදත් වීදියේ - අදත් වීදියේ

සමන් හේමරත්න ‘ගබ්සාව’ට හිස බූ ගායි

ලීලසේන පවර්ෆුල්...

ඈත සිට ඔහු එනු මට පෙනිණ. ක්‍රමයනේ ඔහුගේ රුව මවෙත සමීප විය.

පුදුමයකි. මේ ඔහුමද?

මට ඔහුව හඳුනා ගැනීමට සුළු මොහොතක් ගත විය. මා බලාපොරොත්තුව සිටි තැනැත්තා ඔහු වීම යන හේතු කාරණය හැර අන් තැනකදී මේ රුව මා නෙත ගැටුණා නම් ඔහුව මා හඳුනා නොගනු ඇත. බලන්න මෙහි පළවන ඡායාරූප දෙස . . . මෙහි සිටින්නේ ඔබ ආදරය කරන ලීලසේන හෙවත් සමන් හේමරත්නය. ඔහුගේ මේ වෙනස මේ කතාවට මා ප්‍රවේශයක් කර ගත්තේය.

සමන්, මොකද මේ කොණ්ඩෙයි රැවුලයි කපාගෙන . . . හදිසියේම, හාමුදුරු නමකගේ චරිතයක්වත් ලැබුණද?

නැහැ. නැහැ. එහෙම චරිතයක් වෙනුවෙන් නෙවෙයි මෙහෙම වෙනස් වුණේ. හැබැයි නාට්‍යයක් නිසා කොණ්ඩය, රැවුල කැපුවා කියලා කියන්න පුවවන්.

තවදුරටත් ඒ කතාව පැහැදිලි කළොත්?

මෙහෙමයි. ගබ්සාව කියලා වේදිකා නාට්‍යයකට මං සම්බන්ධ වෙලා ඉන්නවනෙ. එකෙ මං රඟපාන චරිතය වෙනුවෙනුයි ස්වරූපය වෙනස් කෙරුවේ.

නමුත් මා දන්නා පරිදි ඔබ 1991 ඉඳලා ගබ්සාව නාට්‍යයට එකතු වෙලා ඉන්නවා?

මෙච්චර කල් මං විග් එකක් භාවිත කරමින් තමයි ඒ චරිතය කළේ. මට හිතුණා ඇත්තටම තට්ටේ ගාලා ඒ චරිතය කරන්න. එතකොට තවත් සාර්ථකනෙ.

හිටි හැටියෙම ඔබ මෙහෙම ස්වරූපය වෙනස් කළාම ඔබගේ වෘත්තීය ජීවිතයට ලොකු බලපෑමක් එල්ල වෙනවානේ?

අපොයි නැහැ. මං හිතනවා මාව අවශ්‍ය නිර්මාණකරුවෝ මාව සොයගෙන හරි ඇවිල්ලා මාව වැඩවලට ගන්නවා කියලා. ඒකට කොණ්ඩෙ රැවුල ගැටලුවක් නැහැ. මෙච්චර කල් එහෙම තමයි වුණේ. ඉදිරියටත් එහෙම වේවි කියලා විශ්වාස කරනවා.

ඔබ ඇයි මාධ්‍ය ඉදිරියට අඩුවෙන් පැමිණෙන්නේ?

ඒක මගේ හැටි. මං මාධ්‍ය හඹාගෙන යන්නේ නැහැ. තෝරා බේරාගත් මාධ්‍ය හමුවලට විතරයි මං යන්නේ. මේකත් එහෙමයි.

නළුවෙකු විදිහට ඔබ යම් මාන්නයකින් ඉන්න වගක් පේනවා?

මන්දා. පිටතින් බලන අයට මාව කොහොම පේනවද කියලා මම දන්නේ නැහැනෙ.

හැබැයි ඔබ සමඟ මේ ලිපියට මා කතා කරපු අවස්ථාවල් කිහිපයේදීම මට එය දැනුණා?

ආඩම්බරයට නෙවෙයි එහෙම කතා කළේ. ඒ මගේ හැටි.

මේ දවස්වල ඔබ සිටින චිත්‍රපටයක් තිරගත වෙනවා. ඒ ගිරිරාජ් කෞශල්‍යගේ 'සුහද කොකා'?

ගොඩක් සතුටුයි සුහද කොකා හා සම්බන්ධ වීම ගැන. ගිරිරාජ් කියන්නේ අපේ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ තිර රචකයෙක්. ඔහුගේ පිටපත්වල නියම කමඩි තියෙනවා. ඔහුගේ පිටපත්වල තියෙන සීරියස් කමඩිලට ගහන්න කෙනෙක් නැහැ.

ඔබ ඔය නොකියා කියන්නේ අනෙක් ෆිල්ම්වල තියෙන්නේ මෝඩ ජෝක් කියලද?

ඇත්තටම සමහර චිත්‍රපටවල මෝඩ ජෝක් තියෙනවා. ඒ ක නිර්මාණකරුවාගේ වැරැද්ද නෙවෙයි. සවිමත් පිටපතක් නොමැති වීම ඊට හේතුව ලෙස මං දකිනවා.

එතුමා ටෙලි සිතුවමේ චරිත තමයි ගිරා මේ 'සුහද කොකා' හරහා සිනමාවට ගේන්නේ. මොනවද ඔබට ඒ ගැන කියන්න තියෙන්නේ?

ඔබ ඔය ප්‍රශ්නය ඇහුවා නම් හරි ගිරිරාජ්ගෙන්.

ගිරිරාජ් මුණ ගැහුණු වෙලාවක මං ඒක ඔහුගෙන් අහන්නම්. නළුවකු විදිහට මට ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න?

නළුවෙකුට වඩා සාමාන්‍ය කෙනෙක් විදිහට මං ඕකට පිළිතුරක් දෙන්නම්. එතුමා එදා ගියානේ. ඊට පසුව වසර ගණනාවක් ගත වුණත් ගිරා ඒ නාට්‍ය හරහා කතා කළ සංකල්පය වෙනස් වෙලා නැහැ. එදා වගේමයි අදත්.

'සුහද කොකා' රඟපාන දවස්වල හවසට හවසට ඉක්මනට රඟපෑවේ ඇයි?

ගිරාගේ හදිස්සියටනේ ඒක වුණේ. සාමාන්‍යයෙන් ගිරා කෑකෝ ගහන අධ්‍යක්ෂවරයකු නෙවෙයි. ඔහු බොහොම සෙමින් විහිළුවෙන් තහළුවෙන් උදය වරුව් වැඩ කරනවා. හවස දෙක තුන වෙද්දී තමයි දෙකොන විලක්කුවේ බැන්ද ඇදුරා වගේ වෙන්නේ. සහාය අධ්‍යක්ෂවරයා ඇවිත් ගන්න තියෙන සීන් ගණන කියද්දී ගිරා කලබල වෙනවා. ඊට පස්සේ තමයි සිං සිං ගාලා වැඩේ යන්නේ. ආයේ පහු වෙනදාට උදේ ගිරා ආයේ කූල් එකේ වැඩ. හවස දෙකොන විලක්කුවෙ බැන්ද ඇදුරා වෙනවානෙ.

ඔබව මිනිසුන් වඩාත් හඳුනා ගත්තේ ලීලසේනගේ චරිතයෙන්. නමුත් ඊට පසු ඔබව මතක හිටින චරිතයකින් අප දැක්කේ නැහැ?

ඔබ කිව්වා වගේ ලීලසේන පවර්ෆුල්. ඒ වගේම ඒ චරිතය තුළ දේශපාලනයකුත් තිබුණා. ඒ කාලෙදිම මට එවන් වූ චරිතම ලැබුණා. මං කළේ නැහැ. මොකටද මං ඒකාකාරී වෙන්නේ. නමුත් ඒකෙන් වුණේ මට ලැබෙන දේවල් නැති වෙච්ච එක. කොහොම හරි ඔය අතරේ මට ආරියරත්න ඇතුගලගේ සමනළ කඳවුර සහ සුදත් රෝහණගේ ගිරිකුල යන නාට්‍යවල හොඳ චරිත ලැබුණා.

ඔබ කොහොම කිව්වත් බහුතරයක් ඔබෙන් බලාපොරොත්තු වුණේ ලීලසේන වගේ චරිත?

ඇත්ත. එහෙම වුණයි කියලා මට කොටු වෙන්න බැහැනේ. මං චරිතාංග නළුවෙක්.

ඒ වුණාට බොහෝ දෙනෙක් ඔබව හඳුන්වා දෙන්නේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු හැටියට?

ඒකට මං මොනවා කරන්නද?

ඔබ කැමැතිද එහෙම හඳුන්වනවාට?

එහෙම හැඳින්නුවට මං මොනවා කරන්නද. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බැහැනෙ.

ඔබේ කලා ගමන ආරම්භ වන්නේ වීදි නාට්‍යවලින්. බොහෝ දෙනෙක් ගොඩගියාට පස්සේ වීදි නාට්‍යවලින් ඉවත් වෙනවා. නමුත් ඔබ තවම වීදියේ?

ඔව්. මං එදත් වීදියේ, අදත් වීදියේ, හෙටත් වීදියේ. මං 1982 වසෙරදියි පළමුවරට ගාමිණී හත්තොටුවේගම මහතා යටතේ වීදියට බැස්සේ. එදා සිට අද දක්වා මං අඛණ්ඩව වීදි නාට්‍යවල ඉන්නවා.

හැමදාම?

හැමදාම ඉන්නවා. නමුත් වීදි නාට්‍යවලට පක්ෂ දේශපාලනය ගෑවුණොත් අන්න එදාට මං වීදියෙන් අයින් වෙනවා.