වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




මැණික් පෙට්ටියේ අබිරහස

මැණික් පෙට්ටියේ අබිරහස

ෂාහිරු රණසිංහගේ අධ්‍යක්ෂණයක්

ඝනකම බිත්තිවලින් හා පුළුල් කවුළුවලින් යුක්ත වූ කෞතුකාගාරය ඇතුළත රැඳී ඇත්තේ ගුප්ත බවකි. එහි තැනින් තැන රඳවා ඇති කෞතුක වස්තුවල නිහඬ බව අපට කියා පාන්නේ ගුප්ත බවේ සාක්ෂි දරන්නට මෙන් පෙළ ගැසී සිටින බවකි. ඒ එකිනෙක කෞතුක වස්තු අතර ඒ ඒ අතීතය සිහිපත් කිරීම උදෙසා තනා ඇති ආකෘති කිහිපයක් ද තැනින් තැනවෙයි. එවැනි අතීතයකට උරුම කම් කියන ඇවොන්ස්ටා නැවේ ආකෘතිය අසල සිටින්නේ උත්තුංග දේහදාරී පුරුෂයෙකි. උසට සරිලන මහතත්, උඩුරැවුළත්, සෘජුකයත්, සමේ පැහැයත් නිසා ඔහුගේ රුව දකින්නෙක්ගේ සිත එක්වර පැහැර ගනියි. සෘජු බවට සරිලන සේ හැඳ සිටින කමීසය සහ කලිසමත්, කමීසයට පිටින් හැඳ සිටින කළු පැහැති ජැකැට්ටුවත් කියා පාන්නේ ඔහු පුරා විද්‍යාව හා සම්බන්ධ කටයුත්තක නියැළෙන්නෙකු බවකි. ඔහු අසල ම සිටින්නේ තරුණයන් දෙදෙනෙකි. කලින් කියන ලද පුද්ගලයාට අවධානයෙන් ඇහුන්කන් දෙන මේ තරුණයන් දෙදෙනා ඔහු දෙස බලා සිටින්නේ ඇහිපිල්ලමක්වත් නොගසමිනි. තිදෙනා ම යෙදී සිටින්නේ වැදගත් කතාබහක බව ඔවුන්ගේ ඉරියව් කියාපායි. ඔහු ඒ අසල තිබෙන ඇවොන්ස්ටා නැව දෙසට අත දිගු කරමින් කියාපාන මේ විස්තරය නිසා මෙතැන සිදුවන්නේ පුරා විද්‍යාව පිළිබඳ කතාබහක් වග ඕනෑ ම කෙනෙකුට හැඟෙයි.

“ නැවේ අයිතිය තිබිලා තියෙන්නේ ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමට.......”

තම ගුරුවරයාගේ අදහසට උස් හඬින් ප්‍රතිඋත්තර බඳීන එක් තරුණයෙකුගේ අදහස සනාථ කරමින් හේ ඔළුව වනයි.

“ අන්න හරි ...... ඒ සමාගමේ නැවක් තමයි මේ. මේ නැවේ කාලතුවක්කු හතරක් හයි කරලා තිබිලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා තමයි. එතකොට ලංකාවෙන් අලි ඇතුන් පටවාගෙන ගියේ මෙන්න මෙතැන මේ බලන්න...... ”

ඔහු යමක් දෙසට අත දිගු කරයි.

“ ඒ කාලේ අලි ඇත්තු හොඳ අපනයන භාණ්ඩයක් තමයි. හැබැයි ඒ විලියම් රොජස්ලා අලි දහස් ගණන් මරන්න කලින්. ඇවොන්ස්ටා නැව මීටර් එකසිය විස්සක් දිගයි. මීටර් තිස්පහක් පළලයි. විශාල නැවක්. නැව මුහුදුබත් වුණත් නැවේ කපිතාන් ඇතුළු සියලුදෙනාගේ ජීවිත බේරුණා. ඒ වුණත් අබිරහසක් තියෙනවා.”

තරුණයන් දෙදෙනාගේ මුහුණෙන් දිස්වන්නේ කුතුහලයකි. ඒ කුතුහලය විසඳමින් ඔහු පවසන්නේ නැවේ කප්පිත්තාගේ කුටියේ ගැහැනු කෙනෙකුගේ හිස් කබලක් තිබුණු බවකි.

“අගෙයි.... අගෙයි මිස්ටර් ප්‍රසාද් මඬුගල්ලට පැරැණි අභිරහස් ගැන බොහෝ දැනුමක් තියෙනවා.”

කතාව, තිරරචනය සහ අධ්‍යක්ෂණය -  ෂාහිරු රණසිංහ

නිෂ්පාදනය - අජිත් නිශාන්ත, නිලන්ත ගුණවර්ධන, ෂාහිරු රණසිංහ

නළු - නිළියන් - සිරිල් වික්‍රමගේ, රවීන්ද්‍ර රන්දෙණිය, ඩබ්ලිව්. ජයසිරි, ඩග්ලස් රණසිංහ, වීණා ජයකොඩි, සුසන්තා චන්ද්‍රමාලි, ගාමිණී ජයලත්, රූපා ගෝමස්, ටෙඩී විද්‍යාලංකාර, මහානාම විජේසිංහ, කීර්ති පතිරණ, සේනක සිංහගේ, රංජිත් සුබසිංහ, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සංකල්ප රණසිංහ, මල්ෂි මද්දුමගේ, පෙමිත රන්දෙණිය, හිමංස ගුණවර්ධන, පෙහංසා මන්දිනී

කැමරාකරණය - කවින්ද රණවීර

සහය අධ්‍යක්ෂණය - සමීර එල්. රත්නායක, කෝසලවිජේසුන්දර

කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්ත

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - නිශාදි රත්නාවලී, නිපුන චාමර

නිෂ්පාදන කළමනාකරු - චන්දන එස්. කුමාර

සංස්කරණය - අනුර බණ්ඩාර

ගායනය - සංකල්ප රණසිංහ, තත්සරණී කන්නංගර, ප්‍රභාෂි සෙනෙවිරත්න,

ජාතික යොවුන් සේනාංක ගායන හා නර්තන කණ්ඩායම

සංගීතය - උපාලි කන්නංගර

ඔවුන්ගේ කතාබහ අතරට පැමිණෙන තට්ට හිස ඇති බටහිර පන්නයට සැරැසුණු අයෙක් පවසන්නේ උස්හඬිනි. සිසුන් දෙදෙනා එතැනින් ඉවත්වන්නේ ඒ දෙදෙනාට කතාබහ කරන්නට ඉඩහසර පාදමිනි. එහෙත් එතැන සිදුවන්නේ සුහද කතාබහක් නොවන වගක් හැඟුණෙන් සිසුන් දෙදෙනා සැංඟී අසා සිටියහ.

“චී... චී....චී.... කවුද ඉතිහාසය විකුණගෙන කන්නේ. බොහොම කැත අදහසක් පුරාවිද්‍යඥතුමා. මම කරන්නේ අයිතිකාරයෙක් නැති දෙයකට අයිතිකාරයෙක් හොයලා දෙන එක විතරයි.”

ප්‍රසාද් මඬුගල්ල කියූ කිසිවක් නෑසුණාක් මෙන් එහි පැමිණි අමුත්තා පවසන්නේ සෝපහාසයෙනි.

“ මගේ තීරණය මම මිස්ටර් සල්ගාදුට කිව්වා.”

එහි පැමිණි අදහස ව්‍යර්ථ කරගනිමින් සල්ගාදු පිටත් වී ගියේ හිත හොඳකින් නොවේ.

ප්‍රසාද් මඬුගල්ල සිටියේ කල්පනාවක නිමග්නව ය.

“සර්.... සෙල්ලිපි කතාව මොකක්ද?”

සිසුන් දෙදෙනා නැවත පැමිණියහ.

“සල්ගාදුට සෙල්ලිපි හම්බ වෙන්න පුළුවන්. ඒත් කියවන්න බෑ. ඒවා කියවන්න පුළුවන් මටයි, අල්මේදටයි විතරයි.”

සල්ගාදු භයානක මිනිසෙකි. ඔහු විශ්වාස කළ හැක්කෙකු නොවේ.

“ඕ..... දෙයියනේ හැබෑ නේන්නම් මට දැනුයි තේරුණේ. සූරියසිංහ, සංඛ අල්මේදා දැන් කොහෙද ඉන්නේ ?”

හදිසියේ ම යමක් මතක් වූ කලෙක මෙන් ප්‍රසාද් මඬුගල්ල පවසන්නේ ඉදිරියේ වෙන්නට යන අනතුරක් සිහිපත් වූ නිසා ය. සෙල්ලිපිය කියැවීමට ඇති අනෙක් කෙනාව පැහැර ගැනීම හැර සල්ගාදුට අනෙක් පිළිවෙතක් නොවේ. ඒ නිසා කෞතුක වස්තුවලට ලොබබැඳ සිටින සල්ගාදුගේ ඊළඟ ඉලක්කය අල්මේදා ය. උන් හිටිතැන්වලින් නැඟිට්ට තිදෙනා පවනට බඳුවේගයෙන් ගියේ අල්මේදාව සොයන්නට ය. පැරැණි සොහොන් කොත් ඇති කනත්ත අසල ඔහුගේ කාරය නවතා ඇත. මද දුරක් ගියතැන තිබුණේ අල්මේදාගේ තොප්පියයි. තවත් තැනක සටහන් පොත විසිර තිබුණි.

“සීයේ...... සීයේ.....”

අල්මේදාට සිදුවූයේ කුමක් ද? පුරාවස්තු මංකොල්ල කෑමට බලා සිටින සල්ගාදුට මැණික් පෙට්ටිය හමුවේවිද? මේ වැණික් පෙට්ටියේ අභිරහස සොයායන ප්‍රසාද ඇතුළු සිසුන්ට කුමක්වේවිද? ළඟදීම ඔබ හමුවට පැමිණීමට නියමිත ෂාහිරු රණසිංහගේ ‘වීරවර්ණ’ ඒ ගැටලුව විසඳනු ඇත.