වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: තාම හිතවත්කමක් විතරයි ඒත් මගේ හිත ඈ ළඟ: Sarasaviya e edition - Lake House - Sri Lanka

තාම හිතවත්කමක් විතරයි ඒත් මගේ හිත ඈ ළඟ

දිමංක වෙල්ලාලගේ

අවසාන ප්‍රේමය මගේ පෞද්ගලික අත්දැකීමක් නොවෙයි

අවසාන ප්‍රේමයයි මාගේ
නෑ පතන්නේ කෙනෙකු ආයේ
ඉවරයක් නෑ කඳුලු දෙනෙකේ
මාව හැරදාලා ඔයත් යන්නම ගියා ...

මේ ගීතය ගැන කවුද අද නොදන්නේ? බස් එකේ ගියත්, කඩ පළේ කොහේ හිටියත් අවසාන ප්‍රේමය අපි අහනවා නෙවෙයි, අපිට ඇහෙනවා. ඒ වගේම බහුතරයක් දෙනාගේ ජංගම දුරකතනය නාද වනවිට ඇහෙන්නේ ද මේ ගීතය. ඒ තරම්ම අවසාන ප්‍රේමය ජනප්‍රිය වෙලා. ඒ ජනප්‍රියත්වයත් එක්ක අවසාන ප්‍රේමය ඔෂානි සංදීපනී ඇතුළු තවත් කිහිප දෙනෙක් ගයා ෆේස් බුක් එකට ඇතුළත් කොට තිබෙනවා. ඒවා ද ඉතාමත් වේගයෙන් එකිනෙකාගේ ෆේස් බුක් අතරේ හුවමාරු වන්නේ අවසාන ප්‍රේමයට ගොඩක් දෙනෙක් ආදරය කරන හින්දයි.

කවුද මේ අවසාන ප්‍රේමය ගැන කියන්නේ. ඔහු නමින් දිමංක වෙල්ලාලගේ. මෙයා තමයි අර ‘නිදුකින් ඉනු මැන’ කියන ගීතයත් ගැයුවේ. ඒකත් හුඟක් ජනප්‍රිය වුණානේ. මේ දිනවල ගුවන් විදුලි නාළිකාවන්හි තියෙන චාර්ට් ෂෝවල අවසාන ප්‍රේමය ගීතය තියෙන්නේ අංක එකේ. ඉතින් අපි හිතුව දිමංක එක්ක ඒ ගැන ටිකක් කතා කළොත් හොඳයි කියලා.

දිමංක, මේ වන විට ඔබ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම කාර්යබහුල ගායකයෙක් වෙලා. මොකද හිතෙන්නේ?

මේක මම සෑහෙන කාලයක ඉඳලා බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේ ආ ගමන බොහොම කටුකයි. කාත් කවුරුවත් හඳුනන්නේ නැති කාලේ මම ගීත නිර්මාණය කරලා තනිවම ගුවන් විදුලි නාළිකා පස්සේ බඩ ගෑවා. මං සිංදු හයක් කිව්වා. එකක්වත් ජනප්‍රිය වුණේ නැහැ. ඔය අතරෙ තමයි නිදුකින් ඉනු මැන ජනප්‍රිය වන්නේ. ඒත් එක්කම මං රිලීස් කළා අවසාන ප්‍රේමය, හිතාගන්න බෑ අද වන විට ලැබෙන ප්‍රතිචාරවලට. වෙලාවකට හිතෙනවා එය මෙච්චර ජනප්‍රියදත් කියලා.

ඇයි එහෙම කියන්නේ?

මම කෑගල්ල පැත්තේ ෂෝ එකකට ගිහින් ජීවිතේ කවදාවත් නොලද අත්දැකීමක් වින්දා. ඒක ගායකයකුට ලැබෙන ඉතාම විරල අවස්ථාවක්. ඒ ෂෝ එක තිබුණු දවසේ වැස්ස. මම එතනට යද්දි මිනිස්සු යනවා. ඇයි ඉතින් කවුද කැමැති වැස්සෙ තෙම තෙමී ෂෝ එක බලන්න. ඔය අතරේ එතන හිටපු නිවේදකයා මයික්‍රෆෝනය අතට අරගෙන කිව්වා ‘අවසාන ප්‍රේමයයි’ ගීතය ගයන ගායකයා තව සුළු මොහොතකින් වේදිකාවට නගිනවා කියලා. මෙන්න බොලේ අර හැරිලා යන අය ආපහු එන්න පටන් ගත්තා. එදා මං සිංදු කියලා බහිද්දී මාව මිනිස්සු වට කර ගත්තා. පැය දෙකක් යනකම් ෆොටෝ ගැහැව්වා. මා එදා ඇඳගෙන හිටියේ සුදු ෂර්ට් එකක්. එය සම්පූර්ණයෙන්ම අවපැහැ ගැන්විලා මිනිස්සු මාව අල්ලලාම.

ඔබ හිතුවද අවසාන ප්‍රේමය ඔබගේ දෛවය වෙනස් කරයි කියලා?

නැහැ. එය රිලීස් කරලා මාස දෙකක් විතර යනකම් ඇතැම් නාළිකාවල ඇහුණෙත් නැහැ.

ඔය අතරේ අවසාන ප්‍රේමය ඔෂානි නම් වූ තැනැත්තියත් ගායනා කොට එය අන්තර් ජාලයට මුදා හරිනවා?

එයා කිව්වේ අවසාන ප්‍රේමය ජනප්‍රිය වුණු හින්දා. වෙන කෙනෙක් තව කෙනෙකුගේ ගීයක් ගයන්නේ ඒක ජනප්‍රිය නිසානේ.

ඔබ කැමැතිද එය ඔෂානි ගැයුවට? අනික ඔබගේ දැනුවත්භාවයකින් තොරව නේද අවසාන ප්‍රේමය ඇය ගැයුවේ?

ඔෂානි ගයන්න පෙර මාව දැනුවත් කළේ නම් නැහැ. මට ඒ ගැන නම් ගැටළුවකුත් නැහැ. ඇත්තම කිව්වොත් අවසාන ප්‍රේමය ඔෂානි කියනවා අහලා මට සතුටු හිතුණා. මෙකද ඇය ඉතාමත් දක්ෂ අන්දමින් එය කියලා තිබුණා.

ඒත් එක්කම අවසාන ප්‍රේමයට රිප්ලයි වර්ෂන් එකක් පවා ආවා?

අන්න ඒක ගැන නම් කතා කළ යුතුමයි. අවසාන ප්‍රේමයට රිප්ලයි වර්ෂන් එක කරලා තිබුණේ අවසාන ප්‍රේමය නිෂ්පාදනය කළ ආයතනයෙන්මයි. ඔවුන් ගීතයේ ඔක්කොම වැඩ කටයුතු නිමා කරලා මගෙන් අහනවා ‘අපි මේ වගේ ගීතයක් කළා. ඒක රිලීස් කරන්නද’ කියලා. ඉතින් මං එපා කියන්නද. එච්චර කුහක කෙනෙක් නෙවෙයි මං. මේ වන විට එය රිලීස් කරලා ඉවරයිනේ.

අවසාන ප්‍රේමයේ රිප්ලයි වර්ෂන් එකට ඔබ කැමැති නෑ වගෙයි?

අවසාන ප්‍රේමයට විතරක් නෙවෙයි මොන ගීතයකට වුණත් රිප්ලයි වර්ෂන් එකක් අවශ්‍ය නැහැ. මොකද ඒවාවල ලොකු වටිනාකමක් නැහැ. ඒක මගේ පෞද්ගලික මතයයි. ඔර්ජිනල් ගීතය තියෙනවානේ මිනිස්සුන්ට අහන්න.

ඒත් රිප්ලයි වර්ෂන් පහුගිය කාලේ හුඟක් නිර්මාණය කෙරුණනෙ. පුන්සිරි සොයිසා, උරේෂා, සංජීවනී වීරසිංහ වගේ අයත් ගීතවලට රිප්ලයි වර්ෂන් කරලා තියෙනවානේ?

ඔව්. ඒක හරි. නමුත් ඒවා ජනප්‍රිය වුණේ නැහැනෙ. උරේෂා අක්කා රුවන්ගේ නොදැක ඉන්න බැහැ සිංදුවට රිප්ලයි වර්ෂන් එක කළානේ. නමුත් එය මුල් ගීතය තරම් ජනප්‍රිය වුණේ නැහැ.

ඔබ ඔය නොකියා බනින්නේ රිප්ලයි වර්ෂන් එක කරපු කේන්තියටද?

අනේ නැහැ. මම කැමැතියි අවසාන ප්‍රේමය සිංදුව වෙන අය කියනවට. ඔය ඕන තරම් කට්ටිය කියනවා ඇහෙන්නේ. මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ ගැන. අවසාන ප්‍රේමය ඔෂානි කිව්වට පස්සේ මම පෞද්ගලිකව කතා කරලා සුබපැතුවා. අන්න එහෙම කෙනෙක් මම. එහෙව් එකේ මං මොකටද කා ගැනවත් කේන්තියෙන් පසු වන්නේ.

ඔබ ඒ කිව්වේ අවසාන ප්‍රේමය වෙන අය කිව්වට කමක් නැහැ කියන එකද?

අනිවාර්යයෙන්ම මගේ සිංදු ඕන කෙනෙකුට කියන්න පුළුවන්. කිසිම තහනමක් නැහැ. මට සතුටක් මගේ සිංදු වෙන අය කියන එකට.

ඔබේ කටහඬ වඩාත් ගැලපෙන්නේ විරහ ගීතවලට කියලා බොහෝ දෙනෙකු කියනවා?

මටත් ඒක අහන්නට ලැබුණා. එක අතකින් ඒක හරි. මගේ කටහඬ විරහ ගීතවලට මැච් වෙනවා තමයි. නමුත් මට ඕනෑ ජාතියක ගීත කියන්නට පුළුවන්.

ඔබ අවසාන ප්‍රේමය ඔබේ අත්දැකීමක් කරගෙන ගයනවා?

මං ඒක ගැයුවේ ඇඟටම අරගෙන. වචනවලට විරහව කැව්වා. මොනවා වුණත් ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙවෙයි.

තරුණ ගායකයන්ට වැඩි පුරම ඉන්නේ රසිකාවන්. ඔබටත් ඒ කාරණය පොදුයි?

ඔව්.

ඒ අතරින් කී දෙනෙකු ඔබට ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?

විස්සක් තිහක් විතර.

මේ වන විට ඔබ ආදරවන්තයෙක්ද?

කවම නැහැ. හැබැයි මේ දිනවල කෙනෙකුට හිත ගිහින් තියෙන්නේ. දැනට ඒක හිතවත්කමක් විතරයි.

කවදද ඇයට ආදරය ප්‍රකාශ කරන්නේ?

බලමු නේද . . . කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා.

විරහ ගීත රැල්ලෙන් මිදෙන්න අදහසක් නැද්ද?

රැල්ලට නෙවෙයි කාලානුරූපීවයි මං නිර්මාණය කරන්නේ. මේ කාලේ මිනිස් රුචිකත්වය කෙබඳුද මං ඊට අවශ්‍ය නිර්මාණ කරනවා.

මොනවද ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු?

මේ දිනවල ඊළඟ ගීතයට සූදානම් වෙනවා. ඒක මං මෙතෙක් කියපු ගීතවලට වඩා ගොඩක් වෙනස් තේමාවක් රැගත් නිර්මාණයක් වේවි.