වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සාහිත්‍යයට සම්මානයක් ඕනෑ

සිනමා සාහිත්‍යයට සම්මානයක් ඕනෑ

මෙවර රාජ්‍ය සාහිත්‍ය උලෙළේ දී ඉතිහාසයේ මුල්වරට සිනමා සාහිත්‍ය කෘතියක් උදෙසා සම්මානයක් පිරිනැමී ඇත. ඒ විවිධ පර්යේෂණ යන තේමාව යටතේ ජූරියේ විශේෂ ගෞරවය හැටියටය. ග්‍රන්ථය ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම විසින් රචනා කරන ලද දේශීය සිනමා වංශය ග්‍රන්ථය අරභයාය. සිනමා සාහිත්‍ය උදෙසා අපේ රටේ සාමාන්‍යයෙන් ඇත්තේ අල්ප අගය කිරීමකි. සිනමා පුවත්පත් කලාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී පිරිනමනු ලබන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය හා සිග්නිස් උලෙළේදී පිරිනමනු ලබන සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානයද සිනමා සාහිත්‍ය උදෙසා පිදෙන සම්මාන අතර වෙති.

සිනමා සාහිත්‍යය යනු හුදෙක් නළු නිළියන්ගේ ඕපාදූපවලට හෝ රස කතාවලට සීමාවූවක් වන්නකැයි බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. එහෙත් ලෝකය හා සසඳද්දී කොයි හැටි වෙතත් ලංකාවේ සිනමා සාහිත්‍යය යනු අගය කළ හැකි මට්ටමක පවතින්නකි. අනිත් අතට සිනමාව යනු පුළුල් විෂයයකි. එය හුදු චිත්‍රපටයක් පමණක් නිසා නොවන්නකි. සිනමාව ලොව සත්වැනි කලාව ලෙස සලකනුයේ එය ස්වාධීන කලාවක ලක්ෂණ ඉස්මතු කළ ද සියලු කලාවන්ගෙන් පෝෂණය ලබන බැවිනි.

සිනමාකරණය මෙන්ම සිනමා සාහිත්‍යය ද එක ලෙස පැරණිය. එය හුදෙක් ලේඛනයක් පමණක් ද නොවේ. එක් අතකින් සිනමා කෘතියක් පිළිබඳ ලිඛිත සාධනය හෝ චිත්‍රපටයක හැදෙන මුල් ලිඛිත පිටපත හෝ ගොඩනැගෙන්නේ සාහිත්‍ය ඔස්සේය. මෙරට පසුගිය වකවානුව ඇතුළත අති විශාල චිත්‍රපට තිර නාටක රාශියක් මුද්‍රණ ද්වාරයෙන් දොරට වැඩියේය. මෙරට සාහිත්‍යයට තිර නාටක නමින් අංගයක් එක් වූයේ 1982 පමණ 'සතර දිගන්තය' චිත්‍රපටයේ තිර නාටකය එළිදැක්වීමත් සමඟය. එය රෝහණ වෙත්තසිංහ විසින් රචනා කරන ලද්දකි. එතැන් පටන් පසුගිය දශක තුනක කාලය ඔස්සේ තිස්ස අබේසේකර, සුදත් දේවප්‍රිය, සනත් ගුණතිලක, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, බෙනට් රත්නායක, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රියත් ලියනගේ, ධර්මසිරි බණ්ඩාරනායක, විජිත ගුණරත්න ඇතුළු බොහෝ දෙනෙකු සිය තිර නාටකයන් මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වූහ.

මහාචාර්ය ආරිය රාජකරුණා රෂොමාන් ඇතුළු ජපාන තිර නාටකයන් මුද්‍රණ ද්වාරයෙන් මෙරට ප්‍රේක්ෂකයා වෙත ගෙන ආහ. මණ්ඩාවල පඤ්ඤාවංශ හිමි හිරෝෂිමා මොන් ආම තිර නාටකය හරහා ප්‍රංශ සිනමාව පිළිබඳ අපේ ඇල්ම වැඩි කළේය. මෙහි නම සඳහන් නොවූ තවත් තිර නාටක රාශියක් මුද්‍රණයෙන් එළි දැක ඇත. එපමණක් නොව චිත්‍රපට රසාස්වාදනය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ ඉතිහාසය මෙරට එයටත් වඩා පැරණිය. අමරනාත් ජයතිලක, බෙනඩික්ට් දොඩම්පේගම, චන්දන සිල්වා ආදීන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ ද විශාල සංඛ්‍යාවකි.

ඒ. ඩී. රන්ජිත් කුමාර, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සුනිල් මිහිඳුකුල, ආචාර්ය නුවන් නයනජිත් කුමාර, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, අජිත් ගලප්පත්ති, උදිත අලහකෝන්, දිල්හානි විජේරත්න වැනි බොහෝ ලේඛකයන් සිනමාව පිළිබඳ බොහෝ ග්‍රන්ථ පසුගිය වකවානුවේ එළිදැක්වුහ. මේ ඇතැම් ග්‍රන්ථයන් ඇතැම් වර්ෂවල පිදුන සියලු සාහිත්‍ය සම්මාන එක ගොඩහිලා දැම්මත් එයටත් වඩා බරසාර කෘතීන් බව නොරහසකි. එහෙත් මෙම ග්‍රන්ථයන් දෙස කිසිවකු හෝ ඇස්ඇර බලන්නට සමත් වූයේ නැත.

සිනමාව යනු සාහිත්‍යයේ රූපමය පරිවර්තනය බව ඇත්තය. සිනමා සාහිත්‍ය අවශ්‍ය වනුයේ කුමකටද?

වර්තමානයෙහි චිත්‍රපටය පවා හුදකලා රස වින්දනයට ගොදුරු කොට ගන්නා නමුදු එහි සාමුහික රස වින්දනය තවදුරටත් බැහැර ගොස් නැත. හුදී ජනයාගේ රස වින්දනය සඳහා පමණක් නොව සිනමා සම්ප්‍රදායන් හැදෑරීමේදී එය සාහිත්‍ය විසින් ගොඩ නඟන මානයන් පුළුල් පරාසයක පවතී.

මෙවර මුල්වරට සාහිත්‍ය සම්මාන උලෙළේ අගැයීමට ලක්වන ගාමිණී වේරගම විසින් රචනා කරන ලද මුල්ම සාහිත්‍ය කෘතිය දේශීය සිනමා වංශය නොවේ. එහෙත් දේශීය සිනමා වංශය ඉතා දීර්ඝ කැපවීමක ප්‍රතිඵලයක් බව කිවයුතු නැත. සම්මාන පිදෙන්නේ කැපවීම සඳහා නොවේ. එහි අවසන් ප්‍රතිඵලයේ ඇති සාර්ගර්භ බව උදෙසාය.

ගාමිණී සිය සම්මානනීය කෘතිය ආරම්භ කරනුයේ 1898 වර්ෂයෙන්ය. 1969 දී ඔහු එහි ප්‍රථම කාණ්ඩය නිමා කරලනුයේ ලාංකික චිත්‍රපටයේ විකාශය හා තේමාවන් පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාලමිනි. මෙරට චිත්‍රපට ප්‍රදර්නය ආරම්භ වනුයේ 1898 ජනවාරි මාසයේ 8 වැනිදා බැව් ගාමිණී වේරගම සඳහන් කරයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධම්මික දිසානායක විසින් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවේ එය ඔප්පු කොට තිබු කාර්යයකි. කෙසේ වෙතත් අපේ නිහඩ චිත්‍රපටය පිළිබඳ ඇති බොහෝ කරුණු කාරණාවල පරස්පර විරෝධී ලකුණු දැක ගත හැක්කේ ඒ සියල්ල ඉන්දියානු සිනමා ඉතිහාසය හා සැසඳීමෙනි. එපමණක් නොව 1930 වන විට චිත්‍රපට දැන්වීම් පුවත්පත්වල ප්‍රධාන ආදායම් මාර්ගය වූ අයුරු ද ගාමිණී සඳහන් කරයි.

එහි වඩාත්ම දුෂ්කර පර්යේෂණය වනුයේ 1947 සිට 1968 දක්වා තිර ගත කරන ලද සිංහල චිත්‍රපටල කතා සාරාංශය හා අධ්‍යක්ෂවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කරදීමේදී ඔහු කළ මෙහෙයයි. එය පහසු කටයුත්තක් නොවන්නේ ලාංකික සිනමාව පිළිබඳ ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට එය සිදු කරන්නට ඇත්තේ ශත වර්ෂ ගණනාවක කාබනික පර්යේෂණයක් කරනවාටත් වඩා සීරුවෙනි.

පසුගිය වකවානුවේ ලාංකික සිනමාව කේන්ද්‍ර කොට ගෙන රචනා කරන ලද බොහෝ ග්‍රන්ථ ද එබඳු ව්‍යායාමයන්ගේ ප්‍රතිඵලයන්ය. අනිත් අතට එවැනි සිනමා සාහිත්‍ය කෘතීන් මෙරට වෙළඳපොළ ඇතුළත විශාල ඉල්ලුමක් තනන්ට තරම් රසවත් වන්නක් ද නොවේ. එහි ඉලක්කය වනුයේ සිනමා විද්‍යාර්ථීන් මෙන්ම අතිශය සිනමාලෝලීන් වේ.

මේ ලිපියේ සිනමාව යනු පුළුල් විෂයක් බැව් මම සඳහන් කළෙමි. ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් සිය නිබන්ධන උදෙසා චිත්‍රපට තෝරා ගන්නේ එය පහසුවෙන් ගොඩ දා ගත හැකි මාතෘකාවක් ලෙස සලකමිනි. නිබන්ධනය සකසා ගෙන යෑමේදී ඔවුන් අමාරුවේ වැටෙනුයේ නිතැතිනි. එකක් විෂය කෙරෙහි ආසක්ත නොවී නිබන්ධනය අවසන් කළ නොහැකි වීමය.

දෙවැන්න නම් මෙරට සිනමා පර්යේෂණ සඳහා බොහෝ සාධක පහසුවෙන් සොයා ගත නොහැකිවීමය. මේ නිසාම විශ්වවිද්‍යාල හරහා බිහිවන බොහෝ නිබන්ධන පිටු ගණන් පුරවා ඇත්තේ ගජ බින්නාලංකාරයේ කොටස්වලින්ය. එක්තරා විශ්වවිද්‍යාල ප්‍රශ්න පත්‍රයක රුක්මණී දේවි යනු ඉන්දීය නිළියක හා ගායිකාවක ලෙස ද, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ඉංග්‍රීසි ජාතිකයකු යැයි සඳහන් කර තිබුණු අයුරු මට මතකය. ඒ නිසා අලුත් පරම්පරාවේ නළු නිළියන් නිදහස් දිනය ලැබූ වසර හෝ අගනුවර ගැන දෙන පිළිතුරු ගැන කවර නම් වේද?

සිනමා සාහිත්‍යයක අවශ්‍යතාව මෙන්ම එය අගය කළ යුත්තේ එබැවිනි. සිනමා තිර නාටක ඉතිහාසයේ පර්යේෂණ, ශිල්ප ඥානය ආදී වූ විවිධ කාරණා යටතේ සිනමා ග්‍රන්ථ එළි දකිති. මේ අතර සිනමාකරුවන් පිළිබඳ ජීවනාපදාන ද වෙති. මේ කොයි හැටි වෙතත් ඒ සියල්ල ඇතුළත් විය යුත්තේ සිනමා සාහිත්‍යයේ කොටස් හැටියටය. සාහිත්‍ය සම්මාන උලෙළක සිනමා සාහිත්‍ය පිළිබඳ සම්මානායක් පිරිනැමීම මෙරට සිනමා ලේඛකයන් දිගු කලක් බලාපොරොත්තු වූවකි. සිනමා සාහිත්‍ය විෂය ධාරාවක් ලෙස නොසලකා වුව ද මුල්වරට සිනමා විෂයට අදාළව රචනා කරන ලද ග්‍රන්ථයකට සම්මාන පිරිනැමීම අප අගය කරනුයේ එබැවිනි. ලබන වසරේ සිට නවකතා, පද්‍ය ඇතුළු සම්මාන ගොන්නට සිනමා සාහිත්‍ය සම්මානයක් ද යොමු කරන්නට සාහිත්‍ය සම්මාන උලෙළට අරක් ගත් බලධාරින්ගේ සිත් යොමු වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.