වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ මහත්තයා විතරයි ඇඟපත හොලවල මොනව හරි කරන්නෙ

අපේ මහත්තයා විතරයි ඇඟපත හොලවල මොනව හරි කරන්නෙ

ධම්ම ජාගොඩ කියන්නෙ අපට හිටපු, ඒත් අකල්හි අපෙන් වියෝ වී ගිය විශිෂ්ට කලාකරුවෙක්. ඔහුගෙ කලා ජීවිතය කෙටි කාලයක් වුනත්, ඒ කෙටි කාලය තුළ අපේ රටේ කලාවේ විවිධ ක්ෂෙත්‍ර සඳහා ඔහුගේ සම්ප්‍රදානය කියා නිම කරන්නට අසීරුයි. රජයේ දෙපාර්තමේන්තුවක රැකියාව කරමින් සිට පළමුවෙන්ම වේදිකා නාට්‍ය කලාවට නළුවෙක් විදියට එකතුවෙලා නාට්‍ය නිෂ්පාදනය, පරිවර්තනය යන අංශවලින්,ඉදිරියට ඇවිත් වේදිකාව සඳහා අවශ්‍යව තිබුණු විශාලතම අඩුපාඩුවක් වූ නළු නිළියන්ට හා ඊට සම්බන්ධිත ක්ෂේත්‍ර තුළ ශිල්පීන්ට අවශ්‍ය පුහුණු පාසලක් ඇරඹීම දක්වා විශාල මෙහෙවරක් කළ බව අපට මතකයි.

ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව හා ඉන් බිහිවූ නිර්මාණකරුවන් අද දවසේ තමන් නිරත කලා මාධ්‍යන්හි ඉහලම ස්ථාන අසුන් අරා ඉන්නවා. ධම්ම ගේ රූපවාහිනී නාට්‍ය මෙහෙවර පිළිබඳ ලියන්නට, කියන්නට, මේ කුඩා තීරුව කිසිසේත්ම සෑහෙන්නෙ නෑ. පළිඟු මැණිකේ වැනි රූපවාහිනී නාට්‍ය මාලවක් අපට අද දවසෙ පවසන්නෙ, ධම්මගෙ කලා භාවිතාවෙ තිබුණු ප්‍රශස්ත බව.නිර්මාණශීලී බව.

ධම්ම ජාගොඩ

අද පසු වේදිකාවෙ මගේ මතකයට එන්නෙ, ධම්ම මනමේ නාට්‍යය හා සම්බන්ධ වෙලා හිටපු කාලෙ සිද්ධියක්. මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රංශයේ තානාපතිව සිටි 70 දශකයෙ මැද භාගයේ මනමේ,සිංහබාහු වගේම මහාසාර නාටකයේත් නිෂ්පාදන කටයුතුත් සංවිධාන කටයුතුත් භාරව සිටියේ ධම්ම.

ඔහුගෙ කලාත්මක ජීවිතය, සද්ජන මිත්‍ර සමාගමයෙ කතා හරිම රසවත්. විනෝදාත්මක, උපහාසය පිරුණු කතා කියන්නත් ඔහු හපනා. සමහර කතා නාට්‍ය බස් රියේදී අපේ කාන්සිය, පාළුව නැතිකරන්නත් උදව් වෙන්නෙ, ධම්ම ඒව රස කරල කියනව අහගෙන, බලාගෙන ඉන්න කොට.

මනමේ නිෂ්පාදනයෙ විජය නන්දසිරි කුමාරයා ලෙස තෝරා ගත් අවස්ථාවෙ දි රජුගෙ භූමිකාව කළේ ධම්ම. දුර ඈත දර්ශනයකට ලයනල් වෙන්ඩ්ට් රඟහල අසලින් බස් රිය ගමන් ඇරඹුවට පස්සෙ තමයි, කාගෙ කාගෙත් අළුත් කතා එළියට එන්නෙ. විජය නන්දසිරි.සිරිසේන සූරියාරච්චි ප්‍රධාන පෙළේ කතාකාරයො. ඒ අතරෙත් විජය නම්බර් වන්. ධම්ම මේ කතාව අපිත් එක්ක කියන කාලෙ පදිංචි වෙලා හිටියෙ ටොරිංටන්වල රජයේ මහල් නිවාසයක. ධම්ම කියනවා හැමදාම නාට්‍ය ඉවරවෙලා, ගෙදර යනකොට ගෙදර වැඩට උදව්වට හිටපු අම්ම කෙනෙක් තමයි දොර අරින්නෙ කියලා.

විජය නන්දසිරි

එයා දන්නවා මහත්තයා නාට්‍යයක රඟපානව කියලා, නමුත් වැඩි විස්තර දන්නෙ නම් නෑ.කාටද රඟපාන්නෙ, නටනවද, සින්දු කියනවද වගේ දේවල්. ඒ ඇරුනම ඈත ගමක ඉඳල කොළඹ ආපු මේ අම්ම කවදාවත් කොළඹදි නාට්‍යයක් බලලත් නෑ. මහත්තය රඟ පානව කිව්වත්, දැකල නැති නිසා, මේ අම්මා දවසක් ධම්මට කියනව, අනේ මහත්තයො දවසක මාවත් එක්ක යන්නකො ඔය නාට්‍යය බලන්න. මම හරී ආසයි මහත්තය මොනවද කරන්නෙ කියල බලන්න. ධම්මට දුක හිතිලා එක සති අන්තෙක, ලයනල් වෙන්ඩ්ට්වල තිබුණු මනමේ දර්ශනයකට මේ අම්මව එක්ක ගිහින් නාට්‍යය පෙන්නුවලු.

එදා රෑ වෙලා ගෙදර ගිය ධම්මට, ගෙදර වැඩ කරන අම්මගෙන් තමන්ගෙ රඟ පෑම ගැන හරි නාට්‍ය ගැන හරි අහන්න බැරිවුනාලු. ඒත් පහුවෙනිදා උදේ ධම්ම පත්තරේ බල බල ඉන්නකොට, ඒ අම්ම ආවලු තේ එක අරගෙන. කොහොමද අම්මෙ ඊයෙ රෑ නාට්ටිය ? ධම්ම ටිකක් සැකෙන් වගේ ඇහැව්වලු. අපෝ මහත්තයො, මට නම් ඒ නාට්ටියෙ කිසිම වැඩක් නෑ. කට්ටියම ඇවි ඇවිත් සින්දු කිය කියා යනව විතරයි. අපේ මහත්තය විතරමයි ඕන්න ඩිංගක් හරි අතක් පයක් ඇඟක් හොලවල මොනව හරි කලේ. මම බලාගෙන හිටියෙ අපේ මහත්තයට හොඳටම දාඩිය දාලත් තියෙනව අර කුමාරයත් එක්ක ගහ ගෙන කඩුවෙන් ඇනල මරපු වෙලාවෙ. ධම්ම ඒ වෙලාවෙ තද කර ගත්තු හිනාව මනමේ බස් එකේදි අපිත් එක්ක බෙදා ගන්නෙ අපූරු රසවතෙක් විදියට.