|
තරු විමනක අතරමං වූ මානවිකාවක පිළිබඳ සත්‍ය කතාන්දරය
අතිවිශේෂ හේතුවක් මත නම හෙළි නොකළ ආදරණීය ලේඛකයකු අතින් සරසවියට විශේෂයෙන් ලියැවේ ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින් ‘උඹ කවදාවත් මං කියන දේ අහන එකක් යැ’
මානවී ගුරු පාර දිගේ දිව ආවාය. හතර වට කළුවර කරගෙන තිබිණ. මේ දවස්වල හැමදාම මේ වෙලාවට අනෝරාවට වසින්නට පටන් ගෙනය. ඉඩෝරයට හසුව හේබාගෙන සිටි ලියැද්දේ පැල යළි හිස ඔසවන්නේය. ඊයේ වැස්ස සමඟ වැව් කණ්ඩිය මත්තටම වතුර පිරී ඇති වග මානවී දුටුවේ උදේ පාන්දරය. අද වැස්සත් සමඟ වැව වාන් දමනු නිසැකය. 'මේ පාර වාන් දමන්නේ අවුරුදු කීයකට පස්සෙද?' ඈ දුවන ගමන් හිතින් ගණන් බැලුවාය.
'ගිය අවුරුද්දේ ?. ඈ ආයෙත් කල්පනා කළාය. හරියටම හිතා ගන්නට නොහැකි තරම්ය. එහෙත් අවුරුදු දෙක තුනකට කලියෙන් වැව වාන් දැම්මේය. ඒ දවස්වල ඇයට යෙහෙළියන් කිහිප දෙනෙකුම සිටියහ. ඔවුන් කිසිවකු අද ගමේ නැත. අන්තිමට ඉතුරුව සිටි යසෝමා ගිය සතිියේ රස්සාවකට ගියාය. ඒ බියගමටය. මානවී ඇඳ සිටියේ රතු පාට මල් ඉහිරුණු ගවුමකි. තද පැහැ ගවුම ඇගේ සමට මනාව කැපී පෙනුණි. ගවුම ගෙනත් දුන්නේ අම්මාය. අම්මා දැන් ඉන්නේ කටුනායකය. මානවී ඉන්නේ අත්තාත්, අත්තම්මාත් ළඟය. වැස්ස සීරුවට පටන් ගත්තේය. මානවීගේ කම්මුලට වතුර බිඳුවක් වැටිණ. වැස්සේ තෙමෙන්නට උපන් ආසාව එසැණින් මතු වුව ද එය මැඬලූ මානවී දුවන්නට පටන් ගත්තාය. පාර දෙපසම තිබුණේ නෑදෑ ගෙවල්ය. ගම්මානයේ සියල්ලන්ම පාහේ නෑයන්ය. තමා දුව යන අයුරු කිසිවකු හෝ බලා සිටිතැයි ඇයට සිතිණ. මේ දුවන දිවිල්ල සුබා පුංචි අම්මා දැක්කා නම් පද එකක් නොව දහසක් කියනු ඇත. 'පේන්නේ නැද්ද අරකිගේ දාංගලේ' ඈ වැව මංකඩේදී කියනු ඇත. වැස්සට අහල පහල කාගේ ගෙදරකට හෝ ගොඩ නොවැදී ගෙදරටම දුවන්නට මානවී තීරණය කළාය. කලින් දා වැස්ස නිසා පාරේ බොහෝ තැන්වල ඇත්තේ මඩ කඩතිය. මඩ තලියක් සෙරෙප්පුවේ වැදී ඇලෙන්නට පටන් ගත්තේය. මානවී එය නෙතකා දිව ගියාය. ඈ සිතුවා හරිය. ඈ ගෙවත්තට ඇතුළු වෙද්දී අත්තා ගෙයි පිල කණුවකට උර දී එන මඟ බලා උන්නේය. ගෙය පෙනි පෙනී වැස්ස තද කළ හෙයින්, මානවී දිවීමේ වේගය වැඩි කළාය. කඩුල්ලේ එක් ලීයක් දමා තිබිණ. ඈ දුව ආ වේගයෙන්ම වැට පැන්නාය. ඇය වැට පනින අයුරු දුටු අත්තා ඉවත බලා ගත්තේය. අත්තම්මා ගෙයින් එළියට ආවාය. 'කෙල්ලේ උඹ හොඳටම තෙමිලා' අසල වනා තිබූ තුවාය අතට ගත් අත්තම්මා කෑගෑවාය. අනතුරුව ඇය බලහත්කාරයෙන් මෙන් මානවීගේ හිස පිසදැම්මාය. 'මේ වැස්සට තෙමිලා උණක් හෙම්බිරිස්සාවක් හදා ගත්තොත්' අත්තා කෑගැහැව්වේය. අත්තා සහ අත්තම්මා දෙදෙනාම දැන් හොඳටම මහලුය. දන්නා කියන කාලයේ සිට අත්තාගේ කොණ්ඩය සුදුය. පිටුපස කුඩා කොණ්ඩ ගැටයක් ගසා ඇත්තේය. 'වෙදකම් කරන්න අත්තා ඉන්නේ' මානවී පැවසුවේ දිවේ තොල් නොගෑවෙන ගානටය. අත්තම්මා තරහට මෙන් මානවීගේ හිස පිස දැමීම වේගවත් කළාය. 'ආව්' ඇයට කෑ ගැසිණ. අත්තා මිනිබිරිය දෙස බැලුවේය. වැස්ස තදවීමත් සමඟ පිල්කඩ හරහා සිරිකඩ ගලන්නට ගත්තේය. වහලෙන් ද වතුර බිංදු වැටුණි. 'මෙහෙ වරෙං වතුර වැටෙන තැන්වල අර වලං ටික තියන්න' අත්තම්මා කුස්සියට යන ගමන් පැවසුවාය. ඊළඟට කුස්සියේ ඇති වළං හට්ටි මුට්ටි සියල්ල ගෙයි තැන් තැන්වල ගමන් කරයි. අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ගෙතුළට නොවැටී ඒවා රැස් කරන්නට වැඩිහිටියන් දරන ප්‍රයත්නයට මානවී උපකාර කළාය. මානවීගේ නිවහන කලකට ඉහත ගමේ තිබූ එකම උළු ගෙදර විය. අතීතයේ අදට වඩා යමක් කමක් මේ නිවැසියනට තිබූ වග එහි වටපිටාව බලන්නෙකුට සිහියට නැඟෙන්නකි. 'අපේ අප්්පච්චි ඉන්න දවස්වල ගෙදර හැම තැනම සාර සුබාවට සෙනඟ. ඇයි ඉතින් කොයි වෙලාවේ බැලුවත් කවුරු හරි එනවා' අත්තා ඇතැම් අතීතාවර්ජනයකදී කියන්නේය. මානවී ගේ ගෙදර හැඳින් වූයේ වෙද ගෙදර නමිනි. පවුලේ වෙද පරම්පරාව බිඳ වැටුණේ අත්තාගෙන් පසුවය. අම්මාට වෙදකම උරුම කර දෙන්නට අත්තා හෙවත් පබිලිස් වෙද මහත්තයා ගත් වෑයම අන්තිමට වතුරේ ගියේය. ඉගෙන ගන්නට නගරයට යැවූ නිර්මලා වැඩි කලක් නොයාම ධර්මතිලක සමඟ පෙමින් බැඳී දීගෙක ගියාය. ධර්මතිලක ටවුමේ තිබූ සාගර ස්ටෝර්ස් මුදලාලිගේ පුත්‍රයාය. ඔහු හොඳට ඇන්දේය. පැලැන්දේය. මේ කතාව කනට වැටුණු දා සිට පබිලිස් වෙද මහත්තයාට ඉවසුම් නොවීය. එක පයින්ම ධර්මතිලක සමඟ දීග යන්නට ඕනැ යයි නිර්මලා පැවසූවෙන් අන්තිමට වෙද මහත්තයා හිත හදා ගත්තේය. 'පවට පින දෙන්න බෑ' යයි අන්තිමට වෙද මහත්තයා නෑයන්ට පැවසුවේය. එදා ඔහුගේ ඇසෙහි කඳුළක් උපන්න අයුරු අත්තම්මා නිර්මලාට පැවසුවාය. ඒ නිර්මලා ධර්මතිලකගෙන් මුලින්ම ගුටි කෑ දවසේය. අවුරුද්දක් යන්නට මත්තෙන් නිර්මලා මවක වූවාය. ඒ මානවීගේ උත්පත්තියේ කතාවයි. එයින් වසරකට පසු ධර්මතිලක ගෙදර ඒම නතර වූයේය. සාගර ස්ටෝර්ස් මුදලාලි මිය ගිය පසු ව්‍යාපාරය ගොඩනඟන්නට ධර්මතිලක දැන සිටියේ නැත. බිස්නස් බින්දුවට වැටුණේ නිර්මලාගේ හා උපන් එකීගේ අවාසනාවට යැයි ඔහුගේ නෑයින් ද කියා තිබිණ. ධර්මතිලකට තවත් පවුලක් ඇතැයි කට කතාවක් පැතිරිණ. ඒ ඇත්ත නැත්ත කොයි හැටි වෙතත් අන්තිමට නිර්මලා හිත හදා ගත්තාය. ඈ කටුනායක රස්සාවකට ගියේ ද අම්මා හා තාත්තාගේ විරෝධය නොතකාය. 'උඹ කවදාවත් මං කියන දේ අහන එකක් යැ' අත්තම්මා පවසා චීත්තයෙන් කඳුළු පිසලනු මානවී බලා සිටියාය. ඇයට අම්මාට වඩා අත්තම්මා ගැන දුක සිතිණ. අම්මා පිටත්ව ගොස් මාස ගණනාවකට පසු මානවී යව්වනියක වූවාය. එදා අම්මා ගෙදර ආවේ දෝත පුරා තෑගි අරගෙනය. ඈ බොහෝ වේලාවක් මානවීගේ මුහුණ සිප ගෙන හඬන්නට වූවාය. මානවීගේ මුහුණුවර වඩාත්ම නෑකම් කීවේ ඇයගේ පියාගේ කඩවසම් රූපයටමය. මානවී දකින හැම විටම නිර්මලාට සිහිපත් වූයේ ධර්මතිලකය. පබිලිස් වෙද මහත්තයා වෙදකමට කියා මුදලක් ඉපැයුවේ නැත. කුඹුරු වතුපිටිවලින් ලද ආදායම මහ ඉහළින් නොවූවත් ජීවත් වන්නට ඇති බව වෙද මහත්තයා සිතුවේය. බරකට ඇත්තේ මිනිබිරියයි. සියල්ල සිදුවන්නේ කරන ලද පින් පව්වලට අනුව යැයි පන්සලේ හාමුදුරුවෝ ද දෙසූහ. ්අත්තම්මේ' අත්තම්මා හැරී බැලුවාය. ඇය උන්නේ ළිපට ගිනි අවුළවමිනි. අළු ඉහළට විසිර යාමෙන් අත්තම්මාගේ ඇස් ඇවිලිණ. කුස්සිය එකම දුම් ගොඩකි. 'ඉඳපං මං තේ එකක් හදලා දෙන්නං' මානවී අත්තම්මාගේ උරහිසට හේත්තූ වූවාය. 'අත්තම්මේ සුමිත් අයියා ආවාද?' 'නැහැ' 'ඇයි දුවේ?' මානවී කිසියම් දෙයක් සඟවන්නේ යැයි අත්තම්මාගේ ගෑණු මොළයට වැටහිණ.
මතු සම්බන්ධයි |