වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




මහත්මා ගති ඇති නළුවකුගේ නික්ම යාම

මහත්මා ගති ඇති නළුවකුගේ නික්ම යාම

ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

කොටහේනේ 06 වැනි පටු මඟේ පදිංචිව සිටි වයස අවුරුදු 10 ක් පමණ පුංචි ළමයෙක් තම නිවසට යාබද වාසල පාරේ පදිංචිව සිටි තම ගජ මිතුරා සමඟ ලංකාවේ ප්‍රථම සිංහල කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ බැලීමට ගියහ. මේ පුංචි මිත්‍රයන් වූයේ කොටහේනේ ශාන්ත ලුසියා විද්‍යාලයේ ඉගෙන ගත් ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා හා කේරි විද්‍යාලයේ ඉගෙන ගත් ආරියරත්න කහවිටය. මේ දෙදෙනාටම චිත්‍රපට පිස්සුව වැලඳී තිබුණි. තම නිවෙස්වලට යාබදව තිබූ කිංස්ලි සිනමාහලේ ශත 25 බැගින් ගෙවා ගත් ගැලරි ටිකට් ඇතිව ඔවුන් තිරය දෙස නෙත් දල්වා බලා සිටියේ කුතුහලයෙනි.

ක්‍රිස්ටිගේ සිත ඇදී ගියේ එඩී ජයමාන්නගේ ගීතවලට හා විකට ජවනිකාවලටය. කහවිටගේ සිත ඇදී ගියේ එහි ප්‍රේම ගීතවලට හා දෙබස් ඛණ්ඩවලටය. ක්‍රිස්ටි පෙරුම් පිරුවේ එඩී මෙන් විකට නළුවකු වීමටය. කහවිට සිහින මැව්වේ චිත්‍රපට කතා ලිවීමටය. දෙදෙනාටම ගීත ගැයීමේ ආසාව ද තිබුණාහ. පසු කලෙක ක්‍රිස්ටි දක්ෂ විකට නළුවකු වූ අතර කහවිට කතා හා දෙබස් රචකයකු ද සිනමා සඟරා (සිනමාදීප හා කලා) සංස්කාරකවරයෙක් ද වූයේය. කහවිට කලකට ඉහත ජීවිතයෙන් සමුගත් අතර ක්‍රිස්ටි පසුගිය සතියේ දෙව් මව් තුරුලට ගියේය.

1932 ජූලි 27 වෙනිදා උපන් මදුරාවල ආරච්චිගේ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා මීට වසර 30 කට එපිට මට මුලින්ම හමු වූයේ ‘සරසවිය’ පුවත්පතකට විශේෂාංගයක් ලිවීමටය. මා ඔහු ගැන ලියූ ජීවිත කතාව ඇතුළත් ‘ජීවිතයේ ලස්සන දවස්’ නම් විශේෂාංගය 1985. 6. 27 දින සරසවියේ මැද පිටුවේ පළ විය. ක්‍රිස්ටි මට මුලින්ම හඳුන්වා දුන්නේ කහවිටය. ඒ සිනමාස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදීය.

පැරණි චිත්‍රපට නළු නිළියන් තුළ නිතැතින්ම තිබූ නිහතමානී බව, ආචාරශීලී බව, කළ ගුණ සැලකීම වචනයේ පරිසමාප්තව සිටි මහත්මා ගති ඇති මානව දයාවෙන් සපිරි නළුවෙකි, ක්‍රිස්ටි. ජීවිතය විනෝදයෙන් ගත කළ ඔහු ප්‍රතිපත්ති ගරුක නළුවෙකි.

ක්‍රිස්ටි එඩී ජයමාන්නට කොතරම් ඇලුම් කළා ද යත් ඔහු රඟපෑ ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටය 17 වතාවක් කිංස්ලි සිනමාහලේ නරඹා ඇත.

‘ඒ කාලේ ගැලරි ටිකට් එකක් ශත 25 යි. සල්ලි නැති වුණාම පන්තියේ කොල්ලන්ගේ පොත් හොරකම් කරලා ආමර් වීදියේ අන්සාරි පොත් සාප්පුවට විකුණලා පික්චර් බැලුවා. දැන් මට ඒ ගැන දුකකුත් ඇති වෙනවා’ ක්‍රිස්ටි කියා ඇත.

ක්‍රිස්ටිගේ තාත්තාගේ නම සෙබෙස්තියන් පෙරේරාය. ගම මහනුවර. තාත්තා වරායේ පරීක්ෂකවරයෙකි. අම්මාගේ නම ලුසියා පෙරේරාය. ඇගේ ගම මිනුවන්ගොඩය. මේ යුවළට දරුවන් 6 කි. එයින් තුන් දෙනෙක් කුඩා කලම මිය ගොසිනි. ඊළඟට ගැහැනු ළමයි දෙදෙනෙකි. ක්‍රිස්ටිගේ ලොකු අක්කා නෙලී කැතරින්ය. දෙවැනි අක්කා එල්සිය. මේ දෙදෙනා වයස අවුරුදු 16 සහ 19 දී මිය ගොස් ඇත. ගෙදර ඉතුරු වුණු එකම බඩපිස්සා ක්‍රිස්ටිය.

පාසලේ ක්‍රිස්ටිගේ ප්‍රියතම දිනය සිකුරාදාය. සිකුරාදා සිංහල සමිතියේදී ඔහු එඩී ජයමාන්න අනුකරණය කරමින් ඉදිරිපත් කළ විකට ජවනිකාව නිසා පුංචි ක්‍රිිස්ටිට විද්‍යාලයේ විශාල ප්‍රචාරයක් ලැබිණ. ‘එඩී වගේ සින්දු කියන පුංචි කොල්ලෙක් ඉන්නවා’ යන ආරංචිය මුළු කොටහේන පුරා ප්‍රසිද්ධ විය.

‘දවසක් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් තිබුණා. එහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර, පී. එල්. ඒ. සෝමපාල මහත්වරු ඇවිත් හිටියා. ඔවුන් ඉදිරියේ මම විකට ගීතයක් ඉදිරිපත් කළා. ගුරුගේ මහත්තයා මගේ වගතුග අහලා ගුවන් විදුලියේ වෙළඳ සේවයේ බ්‍රැසල්ස්’ ආධුනික පැයට එන්න කිව්වා. ඊට පස්සේ ගුවන් විදුලියේ පැය කාලක වැඩ සටහනක් ලැබුණා ගීත ගයන්න. මම මුලින්ම ගයපු ‘පෙර අපගේ සිංහල කාලේ’ රචනා කළේ කරු. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ආර්. ඒ. චන්ද්‍රසේන. ‘ලංකා මහතුනි නවීන ලෙඩක් බෝ වෙලා , කුල්ලෙන් පොළා පොළා ගීත වඩා ජනප්‍රිය වූ එච්. එම්. වී. තැටියක්. ක්‍රිස්ටි තම ගායන ජීවිතයේ මුල් අවධිය එදා විස්තර කළේ එසේය.

ක්‍රිස්ටිගේ පියා මිය යාමත් සමඟ පවුලේ අඟහිඟකම් වැඩි විය. අම්මා සෞඛ්‍ය වින්නඹුවක් වුව ද, ඒ ලැබුණු මුදල් වැඩිපුර ඇය වෙන් කළේ ක්‍රිස්ටිගේ ඉගෙනීමටය. පියා මිය ගිය පසු වරායේ සුදු මහත්තයා ඕවර්සියර් තනතුරක් ක්‍රිස්ටිට ලබා දුන්නත් ඔහුගේ සිත රඟපෑමටය.

චිත්‍ර ශිල්පයට දස්කම් පෑ එම්මානුවෙල් පත්තර දැන්වීමක් අනුව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හමුවීමට ගියේ ක්‍රිස්ටි සමඟය.

‘මචං අපි දෙන්නාට ඇට් කරන්න චාන්ස් එකක් ඉල්ලා ගම්මු’ ක්‍රිස්ටි කීය.

‘මේ දැන්වීමේ තියෙන්නේ චිත්‍රපටවල නාමාවලිය අඳින්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් ඉල්ලලා’

එම්මානුවෙල්ගේ අකුරු සාම්පල් දුටු ජයමාන්න ‘එහෙනං තමුසෙ ලබන සුමානේ ඉන්දියාවට යන්න ලෑස්ති වෙනවා’ කියා ඇත.

එම්මානුවෙල් ඉන්දියාවට ගිය පසු ක්‍රිස්ටි තනි විය. ඔහු වරායේ වැඩ කරන ගමන් තම මිතුරා එන තෙක් මග බලා සිටියේය. දෙපාරක් නොසිතා කහවිටව රෙකමන් කළා. මොකද කහවිට ‘සිනමාදීප’ කියලා සිනමා සඟරාවක් කරලා තිබුණා. කහවිට ‘කලා’ සිනමා සඟරාව කරන්න ගුණරත්නම් මහත්තයා පැවරුවා. මට දැන් ලොකු ශක්තියක් යාළුවොත් ඉන්න නිසා රඟපෑමට අවස්ථාවක් ලැබේවි කියලා’ ක්‍රිස්ටි කියා ඇත.

ඒ කලේ සංගීත සාදවල, කානිවල්වල ක්‍රිස්ටි ගීත ගයා රුපියල් සියයක් පමණ ලබාගෙන ඇත. දිවයිනේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙක් වූ ප්‍රේම් ජයන්ත් හා ඩොමී ජයවර්ධන සමඟ කානිවල්වලට යන ක්‍රිස්ටිට අනිවාර්යෙන්ම ගී ගැයීමට අවස්ථාව ලැබී ඇත. 1953 වසරේ සිනමාස් සමාගම ‘වරද කාගේද’ චිත්‍රපටයේ වැඩ ආරම්භ කළ අතර ප්‍රේම් සහ ඩොමී මේ සඳහා තෝරා ගෙන තිබුණි. දිනක් ප්‍රේම් ක්‍රිස්ටිට හොඳ ආරංචියක් ගෙනාවේය.

‘මචං හොඳ චාන්ස් එකක් තියෙනවා. ‘වරද කාගේද’ ෆිල්ම් එකේ කොබෝ කියලා විකට චරිතයක් තියෙනවා. අපි ට්‍රයි එකක් දෙමු’

ප්‍රේම් හා ඩොමී ගුණරත්නම්ට ක්‍රිස්ටි ගැන ලොකු රෙකමාදාරුවක් කළහ.

‘මම කිසිම නළු නිළියෙක් තෝරන්නේ නැහැ. ඒවා කරන්නේ ඩිරැක්ටර්’ ගුණරත්නම් කියා ඇත.

ක්‍රිස්ටි තමාට වූ අභියෝගය අපට විස්තර කළේ මෙසේය.

‘ප්‍රේම් මා ගැන අධ්‍යක්ෂ ටී. ආර්. සුන්දරම්ට දැඩි රෙකමදාරුවක් කළා. පසුවදා පරීක්ෂණයකට එන්න දිනයක් දුන්නා. ස්ථානය කොටහේනේ අලුත් හෙට්ටි වීදියේ සිනමාස් කාර්යාලය. පරික්ෂණයට එදා හිටි දක්ෂ විකට නළුවොත් ඇවිල්ලා හිටියා. ඔස්ටින් අබේසේකර, ලුවී රුද්‍රිගූ, ජෝසප් සෙනෙවිරත්න, ස්ටීවන් උඩවත්ත, එඩී යාපා. මම හිතුවා ‘මට කෙළ වුණා’ කියලා.

මගේ නම කතා කළා. මම ගිය කාමරයට පෙනෙනවා මේසයක් ගාව අධ්‍යක්ෂ සුන්දරම්. ඔහු අසල බිරිඳ. මේසය උඩ ග්‍රේප්ස්වලින් පිරුණු කූඩයක් මට හොඳට මතකයි. මාව තියලා එක එක නළුවෝ අර කාමරයට යනවා. මම දැක්කා එක නළුවෙක් මරහඬ දීලා කෑගහලා රඟපාලා පෙන්නවා.

‘බඩ . . . බඩ . . . මැගී මට ඉඟුරු කෑල්ලක් ගෙනෙන් ඉක්මනට’

මම වට පිට බැලුවා. ප්‍රේම් ජයන්තට මම කතා කළා.

‘මචං මට කෙළ වෙයිද? අරූ මර හඬ දීලා ඇට් කරනවා.’

මම ඒ කලේ පණුවා වගේ කෙට්ටුයි. මම දාල හිටිය ටයි එක මට වඩා විශාලයි. මට කතා කළා ඇතුළට.

මාව දැක්ක ගමන් සුන්දරම්ගේ හිතට අල්ලපු ගතියක් පෙනුණේ නෑ. ඔහු ඩොමීට කතා කළා.

‘ඩොමී කැන් හී ඩූ සම්තිං’ සුන්දරම් ඇසුවා.

මගේ ශරීරය දැකලා එහෙම හිතුවට පුදුමයකුත් නෑ.

ඩොමී, ප්‍රේම්ට කතා කළා. දෙන්නම මා ගැන රෙකමදාරුවක් දුන්නා.

‘දෙන් ආස්ක් හිම් ටූ ඩූ සම්තින්’

මට උඩ බිම බැලුණා.

‘අයිසේ ක්‍රිස්ටි ගිව් මී අ ස්මෝල් ස්කෙච්’ සුන්දරම් මට කිව්වා.

‘රයිට් සර්’

මට පොඩි විකට ජවනිකාවක් දුන්නා. එතකොටම සුන්දරම්ගේ බිරිඳ බාල සරස්වතීට හිනා ගියා. සුන්දරම්ටත් හිනා ගියා. ගුණරත්නම් මා දිහා බැලුවා.

ඩොමීට ගුණරත්නම් කිව්වා මාව ඇතුළේ කාමරයකට ගෙනි යන්න කියලා. මට ඈතට ඇහෙනවා දොන් ස්ටීවන් උඩවත්ත උස් හඬින් ගීතයක් කියනවා.

‘බයි බයි බබී නෝනා . . .’

මම ආයිත් හිතුවා මට කෙළ වුණා කියලා.

සුන්දරම් ගුණරත්නම්ට කතා කළා.

‘ගුණම් යූ බෙටර් සයින් කන්ට්රෑක් විත් දිස් චැප්’

ඩොමී, ප්‍රේම් මාව ඇදගෙන ගියා සිනමාස් එකවුන්ටන් ගාවට. එක්ක ගිහින් රුපියල් 1500 ක ගිවිසුමකට අත්සන් කරලා රු. 500 ක අත්තිකාරම් මුදලක් අරන් දුන්නා.’

ක්‍රිස්ටිට ඉන්දියාවට යන්නට දිනයක් ලැබිණි. ඔහු මරදානේ ඩැනී සහ සහෝදරයෝ සාප්පුවට ගොස් අත් ඔර්ලෝසුවක්, කමිස 5 ක්, කලිසම් රෙදි 3 ක්, බැනියම් ද අම්මාට සාරියක් ද මිලයට ගෙන ඇත. මේ සියල්ලටම ඔහුට වැය වී ඇත්තේ රු. 200 ක මුදලකි. වරායේ පෙන්ෂන් සහිත රැකියාවට ආයුබෝවන් කියා ඉන්දියාවට යාමට අම්මා අකමැති බව දන්නා නිසා ක්‍රිස්ටි ප්‍රේම් හා ඩොමී කැඳවාගෙන ගොස් කරුණු පැහැදිලි කළත් ඔවුන් ගිය පසු අම්මා ක්‍රිස්ටිගේ පිට මැද්දට පහර දුන්නේ දර කෑල්ලකිනි. ඔහු මෙසේ අතවර, බාධක මැද මදුරාසියේ මොඩර්න් චිත්‍රාගාරයට ගොස් ඇත.

‘මම මුලින්ම ‘වරද කාගේද’ චිත්‍රපටයේ රඟපෑවේ මගේ පාසල් මිත්‍රයා ප්‍රේම් ජයන්ත් එක්ක. සිනමාවට මාව හඳුන්වා දුන්නේ ඔහු. චිත්‍රපටයේ ප්‍රේම් ගිනි පැනීමට ඉනිමඟ දිගේ උඩට යන කොට මම කෑගහනවා.

‘ගිනි පනිනවා, ගිනි පනිනවා’ කියලා.

මම මේ චිත්‍රපටයේ ශාන්ති ලේඛාගේ මල්ලි කොබෝ. ඊළගට ‘රදළ පිළිරුව‘ චිත්‍රපටයේ තෝමස් අයියා. මගේ පෙම්වතී උදුලා දාබරේ. මදුරාසියේදී මගේ විකට රඟපෑම් ඉන්දියානු ජාතිකයෝ අගය කළා. ඔවුන් මාව තම රටේ විකට නළුවා වූ චන්ද්‍රබාබුට සමාන කළා. ඔය විදිහට ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් ද, ‘සූරයා’ චිත්‍රපටයේ ගුරුන්නාන්සේ කෙනෙක්. මේ චිත්‍රපටයේ මගේ පන්තියේ ගෝලයො හැටියට කාන්ති ගුණතුංග හා විජිත මල්ලිකාත් රඟපෑවා.’ ක්‍රිස්ටි විස්තර කර ඇත.

රඟපෑමට අමතරව සිනමාස් සමාගමේ සිනමා ශාලා පරික්ෂකයෙක් හැටියටත් සේවය කළ ක්‍රිස්ටි ගී ගැයීම ද දිගටම කරගෙන ගියේය. ඔහු හාපුරා කියා චිත්‍රපටයක ගීතයක් ගැයුවේ ‘සිරිමලී’ චිත්‍රපටයේය. ‘ඇයි වදේ මේ බය වෙලා’ මේ ගීතය ගැයුවේ ජමුනා රාණි එක්කය. ‘ධීවරයෝ’ චිත්‍රපටයේ ‘වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා’ ගීතය මොහිදීන් බෙග් හා මල්ලිකා කහවිට සමඟ ගැයූ ක්‍රිස්ටි ‘චණ්ඩියා’ චිත්‍රපටයේ විරුදු කියයි. ‘සූර චෞරයා’ චිත්‍රපටයේ ‘ආදර ගඟුලැලේ’ ගීතය මොරිස් දහනායක සමඟ ගැයූ ඔහු ‘සිතක මහිම’ චිත්‍රපටයේ ‘සිතක හැටි දන්නවා දන්නවා’ ගීතය ගැයුවේය. ඔහු ‘සුකුමලී’ චිත්‍රපටයේ රඟපෑ නිකමාගේ චරිතය බෙහෙවින් ජනප්‍රිය විය. එහිදී ඔහුට මොහිදීන් බෙග් පසුබිම් ගී ගැයුවේය. ‘අපි යන්ට යමු ලීලා ඇති තැනකින් ගන්ට සොයා’ මේ ගීතයයි.

‘මම 1964 දී පමණ ගාමිණි ෆොන්සේකා සමඟ මුල්වරට ගීතයක් ගැයුවා. ඒ කාලේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ මට ගීත ගයන්න වැඩ සටහනක් ලැබුණා. දවසක් ගාමිණි හම්බවෙලා මේ ගැන ඇහැව්වා.

‘ගාමිණි අපි දෙන්නා සින්දුවක් කියමු’

‘මොකද? ක්‍රිස්ටි මල්ලි මට සින්දු කියන්න බැහැ කියලා හිතුවද?’

‘එහෙනං කියමු’

මම ඊළඟට ගියා කරු ගාවට. කරු අපූරු ගීතයක් ලියලා දුන්නා. මේ ගීතයේ මම තනිකඩකමේ අගය කියනවා. ගාමිණි විවාහ ජීවිතයේ අගය කියනවා. ගීතයේ සංගීතය මොහොමඩ් සාලිගේ. ගාමිණි ඒ කලේ මුළු රටේම ජනප්‍රිය නළුවා. ඔහුගේ රන්මුතු දූව, ගැටවරයී තිරගත වෙලා. ගාමිණි එක්ක යුග ගීතයක් ගයන බව අහලා වෙළඳ සේවයේ අධ්‍යක්ෂ ලිවී විජේමාන්න මගෙන් මෙහෙම ඇහැව්වා.

 ‘Can He Sing? I Know He is a Good Actor’
 

මෙසේ ඇසූ විජේමාන්න ගීතය පටිගත කරන මැදිරියටත් ආවා. ලස්සනම වැඩේ එකවරින්ම (One Take) ගීතය ගැයීමට ගාමිණි සමත්වීමයි. මේ ඒ ගීතයයි.

ක්‍රිස්ටි ලෙනාඩ් පෙර්රා රඟපෑ චිත්‍රපට -

1954 - වරද කාගේද, රදළ පිළිරුව

1956 - දුප්පතාගේ දුක

1957 - සූරයා

1958 - සල්ලි මල්ලි සල්ලි, සුනීතා, සේපාලි

1959 - සිරිමලි

1960 - සුන්දර බිරිඳ, වීර විජය

1963 - අදට වැඩිය හෙට හොඳයි, උඩරට මැණිකේ

1964 - ධීවරයී, සිතක මහිම

1965 - චණ්ඩියා, යටගිය දවස, අල්ලපු ගෙදර

1966 - මහ රෑ හමු වූ ස්ත්‍රිය

1967 - ඔක්කොම හරි, සූර චෞරයා

1968 - වනසරා, අටවෙනි පුදුමය

1969 - ඔබ නැතිනම්, කොහොමද වැඩේ

1970 - ආත්ම පූජා, පේනව නේද

1971 - කලණ මිතුරෝ

1973 - හොඳම වෙලාව

1974 - දුප්පතාගේ හිතවතා

1976 - ඔන්න මාමේ කෙල්ල පැනපි

(ශ්‍රී ලාංකේය සිනමා වංශය)

ක්‍රිස්ටි - හිත යන අත යන්නට හැක රජකුට සමලූ

හැමකමටම වැඩිය මිහිරි තනිකඩකමලූ

ගාමිණි - තෙමි තෙමි හිඳ තරුණියකගෙ ආදර වැස්සේ

ජීවිතයේ රහ දැනෙන්නෙ බැන්දට පස්සේ

ක්‍රිස්ටි - ඩිංගක් වැරදුණු දවසෙදි අපා දුක දැනේ

නැන්දම්මා එරෙව්වාම ලෝකෙ එපා වේ

ගාමිණි - උයා පිහා දුන්නෙ නැතත් කෑමට රහට

බඩ කට පිරෙනවා බිරිඳගේ ආදර බහට

ක්‍රිස්ටි - දවස් දෙක තුනක් අපි අම්බලමේ උයන්නේ

තනි රකින්න තවත් කෙනෙක් මොකටද ගන්නේ

ගාමිණි - වැල ගස වට එතෙයි ගඟුල මුහුදට යන්නේ

තනිකඩයා තනිව ඉඳලා තනිව මැරෙන්නේ

ක්‍රිස්ටි - ඔබට ළඳක් ලැබී ඇතත් ගුණැති කදිම

නිකිණි සොයා ගන්න වගේ ගැහැනු සෙවීම

ගාමිණි - දුකට ළඟින් ඉඳන් කියන බස ද මනාපයි

ඇගේ හුස්ම ටික වැටුණත් මගෙ ඇඟට සනීපයි

ක්‍රිස්ටි තම මිතුරන්ට හදවතින්ම ආදරය කළේය. ප්‍රේම් ජයන්ත්, ඩොමී, කහවිට, මොරිස් දහනායක, ගාමිණී ෆොන්සේකා, ජෝතිපාල, මිල්ටන්, එම්. එස්. ඔහුගේ ගජයන් වූහ.

‘ජෝතිපාල හොඳ හදවතක් ඇති මිතුරෙක්. ජෝති, බ්‍රොලොසම් විවාහ වූ දා ජෝතිගේ මිතුරා (දෙවන මනමාලයා) මම.’ ක්‍රිස්ටිගේ නිවසේ ඇති ජෝතිගේ විවාහ පින්තූරය ඔහු පණ සේ සුරකමින් පැවසුවේ වරක් දෙවරක් නොවේ.

ක්‍රිස්ටි ජෝති සමඟ ද යුග ගීයක් ගයා ඇත. ‘අලි නැව් එන කොළඹ නගරෙ’ නම් මේ ගීතය ගාමිණි සමඟ ගැයූ යුග ගීතය මෙන් ජනප්‍රිය විය.

ක්‍රිස්ටි තරම් තම මවට සැලකූ නළුවකු ගැන අප අසා නැත. චිත්‍රපට රඟපෑමෙන් ඉවත් වු ඔහු තම මව තම ඇස ලෙස රැක බලා ගත්තේය.

‘මට ලෝකයේ සිටිය එකම වස්තුව මගේ අම්මා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා කළ සෞඛ්‍ය වින්නඹුකමෙන් ලැබුණු සොච්චම් මුදලින් මගේ අත පය නොකඩා, උගන්නලා මිනිහෙක් කළා. අම්මා හැමදා මගේ දඩබ්බරකම් ඉවසුවා’. ‘පුතේ හොඳ නළුවෙකුට වඩා හොඳ මිනිහෙක් වෙයන්’ අම්මා නිතර කිව්වා. මම විවාහ වීම ප්‍රමාද කළෙත් ඒ නිසා. බිරිඳගෙන් අම්මාට අනාදරයක් ඇති වේවි කියලා මම බය වුණා. අම්මා වෙනුවෙන් මම ගීතයක් කරුට කියලා ලියා ගත්තා.

‘අම්ම කියා කියත හැකි එකම ළඳකටයි’

මේ ගීතය ගුවන් විදුලියේ යන කොට අම්මා කොහේ හිටියත් රේඩියෝව අසලට එනවා.

‘ඔය සින්දුව කියලා හරි යන්නේ නෑ. මම ඇස් දෙක පියා ගන්න ඉස්සර වෙලා උඹ මට ලේලී කෙනෙක් ගේන්න ඕනෑ’ අම්මා කියන කොට මම හිනා වෙනවා. අම්මව ඉඹිනවා.’

978 ජූලි 09 වැනිදා අම්මා මිය ගියාට පස්සේ ක්‍රිස්ටිගේ භාරකාරයා වුණේ ක්‍රිස්ටි පෙරේරා නම් ඥාති සොහොයුරාය. ඔහු කොළඹ නගර සභාවේ ප්‍රබල චරිතයයකි. ඔහු ක්‍රිස්ටිව රැක බලා ගත්තේය. තොටළඟ බෝම්බයෙන් ඒ ක්‍රිස්ටි අයියා මිය යාම මේ ක්‍රිස්ටිට දැරිය නොහැකි දුකක් විය. 1979 ක්‍රිස්ටිට සහකාරියක් ලැබුණේ හිතවත් මුදලාලි කෙනෙකුගේ යෝජනාවක් නිසාය. ඇය කෑගල්ලේය. නම අරංගල ලොරේටා රිචල් පෙරේරා. ඇය ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්. 1982 අගෝස්තු 07 වෙනිදා ඔවුහු විවාහ විය. එකල රිචල්, දොන් බාරෙන් ජයතිලක විද්‍යාලයේ ගුරුවරියකි. මිය යන තුරුම රිචල් ක්‍රිස්ටිව ඇස් දෙක මෙන් රැක ගත්තාය.

ක්‍රිස්ටි ප්‍රතිපත්ති ගරුක මිනිසෙකි. ඔහු කෑමට බීමට හොඳම දේ තෝරා ගෙන මිතුරන්ට හිතවතුන්ට සංග්‍රහ කළේය. ඔහුට ආවේණික ගති පැවතුම් රටාවක් තිබුණේය. සෑම සෙනසුරාදාම මරියකඩේ මාරකැට්ටුවට යන ඔහු හොඳම තෝර මාළු, එළුමස්, පලා වර්ග, එළවළු සතියකට අවශ්‍ය දේ මිල දී ගනී. මිනිසුන්ට ආදරය කළ ඔහු ඔවුන් තෝරා බේරා ඇසුරු කළේය. එපමණක් නොව බොහෝ නළු නිළියන් මෙන් ක්‍රිස්ටි ඉපැයූ මුදල් නිකරුණේ නාස්ති කළේ නැත. ඔහු හැමදාම පැවසුවේ කිසිවකුගෙන් අත පා ජීවත් විය යුතු නැති වගයි. උපයන ආදායමෙන් කොටසක් ඉතුරු කරන ලෙස ඔහු හැම විටම තරුණයන්ට පැවසුවේ ඔහුම එයට ආදර්ශයක් වෙමිනි. එබැවින් බොහෝ කලාකරුවන් මෙන් මහලු වියේදී කාගෙන්වත් පිළිසරණ සොයා යන්නට ක්‍රිස්ටිට ඇවැසි නොවීය. සිය රංගන ජීවිතය අගයමින් සරසවිය රණතිසර සම්මානය ද, යූ. ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානය ලබා ඇත. ඔහුගේ වියෝවෙන් මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ සෙවණ පෙදෙසේ අංක 13-2-3 නිවස පාළුවට ගොස් ඇත. රොචෙල් හුදකලාවේ සිටී.