දුවකගේ ලෝකයේ වීරයා - තාත්තා
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියකු
දක්වන අදහස්
දුවකගේ ලෝකයේ වීරයා - තාත්තා
යමුනා මාලිනි පෙරේරා ‘ඉතසිතින්ම’ ගැන කියයි
ගීතයෙන් ලොව ආමන්ත්‍රණය කරන ඇය කවියෙන්, කෙටි කතාවෙන් සහ නවකතාවෙන් ද ලෝකය අමතන
සුන්දරත්වයේ අපූරුව ඇයටම ආවේණික වූවකි. ආදරය, විරහව සේම මිනිස් සිතුවිලි ගැන ඇය කතා
කරන්නේ ඇයටම සුවිශේෂ වූ අයුරිනි. සංගීත ක්ෂේත්‍රයේ මිහිරි ගීත රැසක් ඇයගේ පන්හිඳෙන්
ලියවුණු ඒවාය. කවි සේම නවකතාද ආදර්ශවත්ය. යමුනා මාලිනි පෙරේරා කලා ක්ෂේත්‍රය ලද
මහඟු සම්පතක් වැනිය. අද මං සලකුණු ඔස්සේ ඇය පිය මනින්නේ ඇයගේ සුන්දර ළමා කාලය
වෙතටය.
“දෙවියනි. . . මේවා චිත්‍ර ද . . .? ඇන්දේ කවුරුන්ද? කුමකට ඇන්දා ද? මට ප්‍රශ්නයක්
නැත. සමහරන් චිත්‍ර මගේ ඇස්වල ස්නායු නූල් පන්දුවක් සේ ඇදගෙන ඇදගෙන ඔතාගෙන ගියේය.
දේවියනේ . . . ඒවායේ පාටවල්. . . හා. . . චිත්‍ර කුළ ඇති චිත්‍ර. ඒ චිත්‍ර තුළ ඇති
කතා . . . ඒ තුළ ඇති කවි . . . ආයෙත් ඒ කවි තුළ චිත්‍ර . . . මට මගේ ඔලුව
උහුලාගන්නට බැරි තරම් හැඟීම් ආවේය. ඇත්තටම මේවා බලන්න ඇස් දෙකත් මදිය . . . !
දෙවියෝ මට ඇස් දෙකක් දුන්නේ මොන එහෙකටද? මගේ එක කණක් වෙනුවට ඇහැක් දී ඇස් තුනක්
වුණා නම් . . . මේ වාගේ දේවල් ලෝකයේ තිබෙන්නේ ඇයි?”
යමුනා මාලිනි විසින් 2013 වසරේ රචිත ‘ඉතසිතින්ම’ යොවුන් නවකතාවේ මෙසේ දැක්වෙයි.
කුතුහලයෙන් පිරි ළමා වියත් එසේම යොවුන් වියත් අතර අවධියේදී සෑම විටම අලුත් යමක් දැන
ගැනීමේ ප්‍රශ්නකාරී තත්ත්වයෙන් පිරුණු ළමයින් ඇතත් ඒවා ප්‍රශ්න කිරීමේ හෝ සොයා යාමේ
උවමනාව ප්‍රදර්ශනය කෙරෙන ළමයින් සිටින්නේ නම් ඒ අතළොස්සකි. ‘ඉතසිතින්ම’ යොවුන්
නවකතාවෙන් සිදු කෙරෙන්නේ ඔවුන්ගේ ජීවිත විවරණය යි. අද ඇය කතා කරන්නේ ඒ පිළිබඳවය.
ඔබ විසින් රචිත කෘති අතරින් ‘ඉතසිතින්ම’ කෘතිය විශේෂ වෙන්න හේතුව?
ගොඩක්ම විශේෂ අයුරින් මේ කෘතිය මට දැනෙන්නේ මගේ ළමා කාලය සමඟ ලොකු සම්බන්ධයක් තිබෙන
නිසයි. මගේ ළමා කාලයේ සිතුවිලිවල උණුසුම හැමදාම මගේ හිතේ තිබුණා. ඒ වගේම ඒවා තදින්ම
මගේ හිතේ වූ සටහන්. ඇත්තටම මේ අදහස් කෘතියකට එක් කරන්න හිතුණේ මීට බොහෝ කලකට පෙර.
තාත්තා ජීවතුන් අතර සිටියදී මේ පොත එළි දක්වන්නයි මට ඕනි වුණේ. නමුත් මට එය ඉටු
කරන්න හැකි වුණේ නැහැ. විවිධ කටයුතු වගේම විවිධ විෂයන් යටතේ කෘතින් රචනා කරන්න
යොමුවීම සමඟින් මේ අදහස් එකතුව පොතකට එකතු කරන කාර්යය මට මඟ හැරී ගියා. කාලයක් ගත
වී 2013 වසරේදී මට මේ බලාපොරොත්තුව ඉටු කරගන්න හැකි වුණා.
වර්තමාන සමාජය සමඟින් ඔබේ ළමා කාලයේ සුන්දරත්වය බෙදාහදා ගැනීම දැනෙන්නේ කොහොමද?
අද දවසේ ළමයින්ගේ සිතුම් පැතුම් ආකල්ප අපිත් අත්විඳිනවා. ඒ කාලයේ අපි හිතුවේ පැතුවේ
කොහොමද කියලා සන්සන්දනය කිරීම නිරායාසයෙන්ම සිදුකෙරෙන්නක්. වර්තමාන සමාජය එදාට වඩා
ගෙඩක් වෙනස්. මේ විදියට වෙනස්වන සමාජයේ නොවෙනස් වන දේත් තිබෙන බව අපට වැටහෙන
කාරණයක්. ඒ ඔස්සේ කල්පනා කරනවිට මගේ ළමා කාලයේ සිතුම් පැතුම් අදටත් වැදගත් වේවි
යැයි මට නිතරම සිතුණු දෙයක්. ඒ සිතුවිල්ල ඇති වුණේ නිරායාසයෙන්.
මෙම කෘතිය යොවුන් නවකතා ගණයට ගැනුණද එය යෞවනයට පමණක් සීමා කර නැහැ?
ඇත්තටම යොවුන් නවකතාවක් ලෙසින් වෙන් කළත් ‘ඉතසිතින්ම’ කෘතිය යොවුන් අයට පමණක් වෙන්
කරන්න බැහැ. මෙය යොවුන් පරපුරට පමණක් සීමා නොවුණු බව මට පැහැදිළි වුණේ කෘතිය
එළිදැක්වූවාට පසුවයි. ‘ඉතසිතින්ම’ කෘතිය මගේ අනිකුත් කෘති නොලැබූ තරම් ඉහළ පාඨක
ප්‍රතිචාර රැසක් ලබා ගත් කෘතියක්. ඒ අය අතරේ සිටි බොහොමයක් වැඩිහිටියන්. බාල,
වැඩිහිටි වගේම මහළු අයත් මේ කෘතිය ඉතාම ආසාවෙන් කියවා තිබුණා. දරුවන්ගේ දරුවොත්
සුරතල් කළ අය පවා ඒ අතරේ සිටිනවා. ඔවුන් මට පැවසුවේ මේ කෘතිය සමඟින් මනසින් තම
තමන්ගේ බාල කාලයට පිය මැන්න බවයි. මගේ වගේම ඒ හැමෝගේමත් යම් යම් සුන්දර මතක තම
තමන්ගේ මනස තුළ බොහොම සොඳුරු ලෙසින් තැන්පත් වෙලා තියෙන බව එයින් පැහැදිලි වුණා.
මේ කෘතිය පාඨකයන්ගේ පවා පරිකල්පන ශක්තිය මෙහෙයවීමේ කාරකයක් ලෙසින් ක්‍රියා කළ බව මා
තේරුම් ගත් දෙයක්. කෘතියක් තුළින් තවත් කෙනෙකුට හිතන්න පුරුදු කරන්න වගේම අදහසක්
දෙන්න පුළුවන් නම් ඒ කෘතිය ඉතාම සාර්ථක නිර්මාණයක් බව මම විශ්වාස කරනවා. ඒ සියල්ලම
‘ඉතසිතින්ම’ කෘතියෙන් මනාව ඉටු වූ බව මට විශ්වාසයි.
ඔබේ ළමා කාලය අපූරුවට මේ කෘතිය කුළ කැටි වෙලා?
මම ළමා කාලයේ අත්විඳි සුවිශේෂ සිදුවීම් රාශියක් තිබෙනවා. මම මගේ ළමා කාලය අත්විඳපු
ආකාරය, මගේ සිතුවිලි ධාරාව කම්පනය කළ හැටි වගේම ජීවිතයේ ඇතැම් සිදුවීම් ගැන ඇති වූ
කුතුහලය මේ තුළ එකින් එක ගලපා තිබෙනවා. නමුත් එහි ඇතැම් දේ වර්තමාන ළමයින්ට
කුතුහලයක් ගෙන නොදෙන්න ඉඩ තියෙනවා. මන්ද වර්තමානයේ අධ්‍යාපනය වගේම නවීන තාක්ෂණය
සමඟින් දරුවන්ට තොරතුරු දැන ගැනීමේ අවස්ථා වැඩියි. නමුත් එදා අපට ඒ කුතුහලය තිබුණු
එකත් හොඳ යැයි මට හිතෙනවා. නමුත් අපි ඇතැම් දේවල් නොදැන හිටියත් සැමවිටම පරෙස්සම්
වී සිටින්න අපි වගබලා ගත්තා. අද කාලයේ දරුවන් කෙතරම් දැනුමින් පොහොසත් වුණත් ඉබේටම
ඔවුන් අනාරක්ෂිත තත්ත්වට පත් වෙනවා.
මේ කෘතිය තුළ මට කැටි කරන්න හැකි වුණේ මා ලද අත්දැකීම් වලින් අතළොස්සක් පමණයි.
එහිදී මගේ ‘අදහස් පොත’ විශේෂ වෙනවා. කෘතිය පළ වී ප්‍රතිචාර ලැබූ පසු සිතුනේ මීට වඩා
කෙතරම් නම් ලියන්න තිබුණාද කියලයි. මගේ පවුල අපේ ගෙදර පරිසරය මෙහි බොහෝදුරට ඇතුළත්.
නාමලී දැරිය වැඩිවියට පත්වීම සමඟින් කතාව නතර වුණත් පාඨකයන්ගේ ඉල්ලීම වුණේ ඇයගේ
සුන්දර යොවුන් කාලයත් මේ විදියට එළිදක්වන්න කියලයි. එකම පොත කොටස් ලෙස ඉදිරිපත්
කිරීම ගතානු ගතික වන නිසා මගේ ඊළඟ යොවුන් නවකතාව වුණේ ‘දින පොතක අන්දරය’ යි. එහි
දුක් විඳින දරුවෙකුගේ ආදර්ශවත් කතාවක් ඇතුළත්. ඉදිරියේදී ‘ඉතසිතින්ම’ කෘතියේ ඉදිරිය
ලියවෙන්නත් පුළුවන්.
ඔබ එදා අද අතර ළමා කාලයේ ලොකු වෙනසක් දකිනවා ද?
අපේ ළමා කාලයට වඩා අද ළමයින්ගේ ළමා කාලය දියුණුයි. ඔවුන් බොහෝ දේ කුඩා කාලයේදී ඉගෙන
ගන්නවා. අපි බොහෝ කාලයක් ගිහින් ඉගෙන ගන්නා දේවල් කුඩා වියේදීම ඔවුන් දැන ගන්නවා.
සහජ ඉව සහ බුද්ධිය මිනිස් ජීවිත සමඟ බැඳී තිබෙනවා. ඕනෑම ළමයෙක් තුළ එය තිබිය යුතු
ගුණාංගයක්. නමුත් අද ළමයින්ට ඒ වගේ තත්ත්වයක් නැති බව නම් හොඳටම පැහැදිළියි.
මේ කතාවේ නාමලී වඩාත් ළෙංගතු තාත්තාට. එහෙම විශේෂයක් කරන්න හිතුවේ
ඇයි?
ඇත්තටම මනෝ විද්‍යාත්මකව සිතුවොත් ගැහැණු දරුවෙක් තමන්ගේ තාත්තාට වඩාත් සමීපයි.
පිරිමි දරුවකු තම මවට වඩාත් ළෙංගතුයි. ඒක විශේෂයෙන් කියවෙන දෙයක්. ඇත්තටම දුවෙකුගේ
ලෝකයේ වීරයා වන්නේ ඇයගේ තාත්තා. මටත් එහෙමමයි. මමත් විශේෂ හැමදේම වගේම මට ඇතිවෙන
ගැටළු කිව්වේ තාත්තාට. තාත්තා හැමදේම තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්. අම්මාත් අපට
ගොඩක් ආදරෙයි. නමුත් අපේ වැඩ කටයුතු, ගෙදර දොරේ වැඩකටයුතු සමඟ කාර්යබහුල ඇයට අපට
සාවධානව ඇහුම්කන් දෙන්න තරම් වෙලාවක් නැහැ. එදා තාත්තාට එහෙම කරන්න වෙලාවක් තිබුණා.
ඒත් වර්තමානයේ තාත්තලා නම් එහෙම කරනවා කියා මම හිතන්නේ නැහැ. මේ විදියට ඕනෑම පියෙක්
සවන්දීම, සාකච්ඡා කිරීම තුළ දරුවෙකුට තම ගැටළු විසඳා ගන්න ලැබීමෙන් ඔහු කෙරෙහි වූ
ආදරය තව තවත් වැඩි වෙනවා.
“අම්මාට බොරු කියන එක හොඳ නෑ තමයි. ඒත් දුවේ කෙනෙකුට අපහසුවක් වෙන දෙයක් වළක්වන්න
පුළුවන් නම් ඒක හුඟක් හොඳ දෙයක්.”
‘ඉතසිතින්ම’ කෘතිය පුරාවට ඔබ වැදගත් උපදේශ දෙන්නත් වගබලාගෙන තියෙනවා?
මම විශ්වාස කරන්නේ මගේ ලේඛන ජීවිතයේ ආරම්භය මගේ ළමා කාලය බවයි. ඒ කාලයේ මම මගේ
අදහස් කොල කෑළි වල පොත්වල සටහන් කරන පුරුද්දක් තිබුණා. කවුරුවත් මට ලියන්න කියලා
අදහසක් දුන්නේ නැහැ. නමුත් ලියන එක මට පුරුද්දක් වෙලා තිබුණා. ඒක මට ජන්මයෙන්
ලැබුණු පුරුද්දක් වෙන්න ඇති. තාත්තා මට දුන් අභ්‍යාස පොතක මම මේ අදහස් එදිනෙදා සිදු
වූ සිදුවීම් ලියා තැබුවා. බැළලි පැටවුන් තිදෙනාගේ කතාවේදී මට ඇති වූ හැඟීම් වගේම ඒ
වෙනුවෙන් තාත්තා ගත් ගියවර අනුව මගේ නිගමනයත් මම එහි සටහන් කළා. කඩේ ළඟ දමා ගොස්
තිබූ ඒ බැළලි පැටවුන් ගෙදරට ගෙන ඒම අම්මා විසින් ප්‍රතික්ෂේප කරනවිටදී තාත්තා ඔවුන්
නිවෙසට ගෙන ඒම තුළ මගේ නිගමනය වුණේ “අපේ තාත්තා හොඳ පිරිමියෙක්” බවයි. ළමයින් තුළ
යහපත් ආකල්ප ගොඩනැඟෙන්න ආකාරය පෙන්නුම් කිරීමට එය උපකාරි වෙනවා කියා මට හිතෙනවා.
හැබැයි ඒ කාලයේ කවුරුවත් දැකලා මාව ලැජ්ජාවට පත් කරාවි කියන බයට මම ඒ ‘අදහස් පොත’
තවත් පොත් ගොඩක් අස්සේ හංගලා තිබුණේ.
යොවුන් නවකතාවක් සේම මෙහි මනෝ විද්‍යාත්මක පැතිකඩකුත් නිරූපනය වෙනවා?
මේ කෘතිය තුළ මනෝ විද්‍යාත්මක වටිනාකමත් අඩංගු බවට විචාරක අදහස් පළ වුණා. ඇත්තටම
මෙහි ඇතුළත් වෙන්නේ ළමයෙකුගේ මනෝ චිත්‍ර එකතුවක්. ළමා මනසක් හදාරන්නේ කෙසේද යන්න
සොයා බැලීමට මෙය ඉතාම වැදගත් මෙහෙවරක් ඉටු කරනවා. මේ කෘතිය තුළ ගැහැණු දරුවෙකු
වශයෙන් මවට වඩා තාත්තා කෙරෙහි දක්වන ආදරය සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතයේදී හමුවන
ගැහැණු දරුවකුගේ චරිත ස්වභාවය පෙන්නුම් කරනවා. කුඩා වියේ පටන් මට ලිවීමේ හැකියාව
තිබූ නිසා මම මගේ අදහස්, ගැටළු සටහන් කර තැබුවා. නමුත් මේ වගේ නොලියුවත් මම වගේම
හිතූ දරුවන් තවත් සිටින්න ඇති. ඒ වගේම වර්තමානයේත් ඉන්නවා වෙන්නත් පුළුවන්. ළමා මනස
හදාරන්නත් මේ කෘතියෙන් අත්වැළක් සපයා ගන්න පුළුවන්.
මෙම කෘතිය පාඨකයන්ගේ වගේම විචාරකයන්ගේද විශේෂ අවධානයට යොමු කෘතියක් ලෙසත්
විශේෂයි?
‘ඉතසිතින්ම’ කෘතිය සාර්ථක ප්‍රතිචාර රාශියක් ලද කෘතියක් බවට පත් වුණා. මහාචාර්ය
කුලතිලක කුමාරතුංග මහතා පැවසුවේ මනෝ විද්‍යාත්මකව විශාල වටිනාමක් මේ කෘතිය සතුව
තිබෙන බවයි. තවත් විචාරකයන් බොහොමයකගේ අදහස වුණෙත් එයමයි. මනෝ විද්‍යාව හදාරණ
අයෙකුට වුණත් ගත හැකි බොහෝ කරුණු මේ තුළින් කියවෙන බව ඔවුන්ගේ අදහස වුණා. ඒ වගේම
විශාල පරාසයක පාඨක හදවත් දිනා ගන්නත් මේ කෘතිය සමත් වුණා කිව්වොත් නිවැරදියි.
දියණියන් හොරෙන් මේ පොත කියනවා දැක මට ස්තූති කළ මව්වරුත් ඒ අතරේ හිටියා. ඒ විතරක්
නොවෙයි ‘ඉතසිතින්ම’ යොවුන් නවකතාව 2014 වසරේදී ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ සහ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම යොවුන් නවකතාව වෙනුවෙන් නිර්දේශ වුණා.
ඔබේ ප්‍රථම යොවුන් නවකතාව එළිදකින්නේ 1998 වසරේදීයි. ඉන් පසුව දෙවැනි නවකතාව ලෙස
‘ඉතසිතින්ම’ එළිදකින්නේ එයින් වසර පහළොවකට පසුවයි. ඔබ මේ වෙනුවෙන් මේ තරම් කාලයක්
ගත්තේ ඇයි?
මගේ ප්‍රථම යොවුන් නවකතාව ‘සිහිනයට සමු දී’ රචනා කළ පසුව මගේ සැමියා සේනකගේ අදහස
වුණෙත් මගේ ළමා කාලය අළලා යොවුන් නවකතාවක් රචනා කිරීම සුදුසු බවයි. මගේ ළමා කාලය
ගැන අසා තිබූ නිසා ඔහු මට නිතර නිතරම මේ පිළිබඳ පැවසුවත් කවි, කෙටිකතා වගේම නවකතා
ආදියට යොමු වීමෙන් මේ සඳහා වූ කාලය මඟහැරී ගියා. මේ කාලය පුරාවට කෘති හතළිහක් පමණ
එළිදැක්වීමෙන් පසුව මම මගේ ළමා කාලය ඇසුරෙන් ‘ඉතසිතින්ම’ නිර්මාණය කරන විට සේනකත්
ජීවිතයෙන් සමුඅරගෙන. මගේ තාත්තාත් ජීවතුන් අතර හිටියේ නැහැ. මේ කෘතියේ වටිනාකම
ඉහළින්ම දැනෙන්නේ ඒ දෙදෙනාටයි.
යොවුන් නවකතාවක් ඔස්සේ තිළිණ කළ යුතු දේ පිළිබඳ ඔබේ අදහස?
වර්තමාන සමාජයේ බොහෝ දෙනාගේ අදහස නම් යොවුන් නවකතාවට වීරත්වය පදනම් විය යුතු බවයි.
ඇත්තටම එය රහස් පරීක්ෂක, යුදමය කතාපුවත් ගෙන කතා පමණක් නොවිය යුතුයි. වීරත්වය තිබිය
යුත්තේ හදවතේ බව මගේ විශ්වාසය යි. දුගීබවෙන් ගොඩ එන්න වීර්යයෙන් කටයුතු කරන කෙනා
තුළ තියෙන්නේද වීරත්වය යි. හැමදේටම කඩු, පොලු, මුගුරු අරගෙන සටන් කර ජය ගැනීමම
වීරත්වය නොවෙයි. තමන්ගේ හිත ජය ගැනීම සැබෑ වීරත්වය බව මගේ හැඟීමයි. තමා තුළ සිටින
මිනිසා ඝාතනය නොකර මනුෂ්‍යත්වයට ඉඩ දී ජීවිතය ජය ගැනීම නියම වීරත්වය යි. යොවුන්
පරපුරට ඒ ඔස්සේ තිළිණ කෙරෙන කෘතිවල හිඟයක් අද තියෙනවා.
ඒවගේම යොවුන් නවකතාවකින් වැඩිහිටියන්ටත් පණිවුඩයක් දෙන්න පුළුවන් විදියට ලියනවා නම්
වඩාත් උචිත බව මගේ හැඟීමයි. අද ළමයා හෙට යොවුන් වියට පත් වෙනවා සේම, අද යෞවනයා හෙට
වැඩිහිටියෙක්. මෙය අටලෝ දහමට අනුව සිදුවන්නක්. ඒ නිසා සියල්ලටම ගෝචර වන අන්දමෙන්
රචනා කිරීම ඉතාම වැදගත්. නමුත් වර්තමානයේ මුදල් ත්‍යාග බලාපොරොත්තුවෙන් කෘති රචනා
කරන බවකුත් පෙනෙන්න තියෙනවා. මගේ අදහස නම් එවැනි කෘති සාර්ථක නොවන බවයි. අපි ලියන
දේ හරියට ලියන්න ඕනි. ලේඛකයෙකුට ලබාගත හැකි ලොකුම ජයග්‍රහණය නම් කෘතියක් ජනතාව අතරට
යාමයි.
ඔබ කවිය, ගීතයටත් බොහොම සංවේදී චරිතයක්. කවිය, ගීතය වගේම නවකතාව පිළිබඳ සාකච්ඡා
කිරීමේදී මේ සඳහා ඔබ වස්තු බීජ සපයා ගන්නේ කෙසේද?
මගේ කලා මාධ්‍ය වුණේ කවිය යි. කවිය, ගීතය, කෙටිකතාව, නවකතාව වගේම යොවුන් නවකතාව ආදි
වූ මේ සෑම නිර්මාණයක්ම මම එළිදක්වන්නේ මට දැනෙන අයුරින්. යම් වස්තු බීජයක් ලැබුණාම
මට ගීතයකට හොඳ යැයි සිතුණොත් එයින් මම නිර්මාණය කරන්නේ ගීතයක්. එය නවකතාවක් ලෙසින්
ගොඩනඟන්න පුළුවන් නම් මම රචනා කරන්නේ නවකතාවක්. ඇතැම් පාඨකයන් කතාකරලා කවියකට හෝ
ගීතයකට ගන්න අත්දැකීමක් දුන්නත් එහි නවකතා දහයකට විතර ලියන්න දේ තියෙනවා. මේක හරියට
පත අට එකට සිඳුවා ගන්නවා වගේ දෙයක්. ඒ නිසා එයින් ඇතැම් විට ගීතයක් නිර්මාණය
වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් නවකතාවක්, කෙටි කතාවක් හෝ කවියක් නිර්මාණය වෙන්නත්
පුළුවන්. පරිකල්පන ශක්තිය අනුව පුංචිම පුංචි නිමිත්තකින් වුණත් දැවැන්ත කතා පුවතක්
නිර්මාණය විය හැකියි.
යතේජා ඥානරත්න
|