වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 29 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්වරට සිනමා පත්තරයක් හදන සැටි බලා සිටියෙමි

මුල්වරට සිනමා පත්තරයක් හදන සැටි බලා සිටියෙමි

තාත්තාට අයත් මුද්‍රණාලය 'සිනමාවෙන් සපිරි කලා මණ්ඩපයක' සිරි ගත් බව මගේ ළමා කාලය සමඟම ආවර්ජනය කර ගත හැකිය. තාත්තා මෙන්ම මාමා වූ ගුණරත්න රත්නායක ද කලාවට ම කැප වූ චරිතයකි. මාමා වෘත්තියෙන් වාණිජ චිත්‍ර ශිල්පියකු වූ අතර වේදිකා නාට්‍ය කිහිපයක වේදිකා සැරසිලි හා වෙස් ගැන්වීම් ද කර ඇත. ක්‍රියාශීලී සමසමාජකාරයකු වූ ඔහු චිත්‍රපට කලාවට දැක් වුයේ අසීමිත ආදරයකි. Film India, Screen, Film Fair මෙන්ම බටහිර කව්බෝයිස්ලා තොරතුරු සහිත ඉංග්‍රීසි සඟරා ද මාමා නිතර බැලුවේය. එකල පුංචි අපි 'බබල්ගම්' (චුවින්ගම් විශේෂයකි) කෑමට ආසා කළෙමු. හැම ඩබල්ගම් පැකැට්ටුවකම බටහිර කව්බෝයිස්ලා වූ රෝයි රොජර්, ජෝන් වේන්, ඩීන් මාටින්, ෆෑන්ක් සිනෙට්රා ගේ කුඩා වර්ණ ඡායාරූප තිබුණි. ඔවුන්ගේ පෙම්වතියන් වූ බටහිර නිළියන්ගේ ඡායාරූප ද විය. මම ඒවා එකතු කළෙමි.

මාමාගේ ගජ මිතුරා වූයේ තොටළඟ නාගලගම් වීදියේ ටේලර් හැරිසන් සහ සමාගමෙ (සාප්පුවේ) පදිංචිව සිටි, සිනමාවට, නාට්‍ය කලාවට, ලේඛන කලාවට ආදරය කළ ධර්ම ශ්‍රී කල්දේරාය. පසුව ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා පුවත්පත් කලාවේදියකු ලෙස ප්‍රකට විය. උග්‍ර සමසමාජකාරයන් වූ ගුණරත්න - කල්දේරා දෙමිතුරෝ කාල වර්ණය. මේ දෙදෙනා චිත්‍රපට ගැන හවසට අපේ ගෙදරට වී කතා කරන අතර සිනමාව ගැන සඟරාවක් ඇරඹීමට තාත්තා සමඟ කතා කරනු කුඩා මම අසා සිටියෙමි.

මගේ තාත්තා කියා සිටියේ චිත්‍රපට සඟරාවක් කරනවාට වඩා ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්තරයක් මුද්‍රණය කිරීම ලාභදායක බවය. මේ 1953 වසරය. පත්තරයේ නම 'චිිත්‍රපටි' ය. කර්තෘ ධර්ම ශ්‍රී කල්දේරාය. පත්තරේ සිරස්තල හා රූ රටා නිර්මාණය ගුණරත්න රත්නායකගෙනි. පිටු 08 කි. මිල ශත 15 කි. අප නිවසේ මැද සාලයේ ඇති ලොකු කළු පැහැති මේසය වටා හිඳගෙන කල්දේරා මාමාත්, ගුණරත්න මාමාත්, තාත්තාත් ඩමි අඳිමින් වැඩ පටන් ගන්නේ හවස් වරුවේය.

අම්මා විසින් සාදන ඉඟුරු ප්ලේන් ටී බොමින් ඔවුන් සිංහල හා හින්දි නළු නිළියන්ගේ පින්තූර විවිධ හැඩතල අනුව කපා ඒවායින් පත්තර් ලිපි අලංකාර කරන අයුරු මම ආසාවෙන් බලා සිටිමි. මම මාමාට අත් උදව් දෙමි. මා විසින් ගම් තවරා දෙනු ලබන පින්තූර මාමා අලවයි. කල්දේරා මාමාත්, තාත්තාත් සෝදුපත් බලති.

ඒ පින්තූර අතුරෙන් මා හඳුනන්නේ රුක්මණී දේවි සහ අප නිවසට නිතර යන එන එමානුයෙල් අන්කල් පමණි. කොස්ගස් හන්දියේ ග්‍රෑන්ඩ්පාස් හි ඩිවෝස් ලේන් හි පදිංචි 'එමානුයෙල් අන්කල්' රඟපෑ ' සුජාතා' චිත්‍රපටය බලන විට 'පුතේ අර . . . අර . . . එමානුයෙල් අන්කල්' යයි අම්මා කියනු මට මතකය. ඔහු 'ප්‍රේම් ජයන්ත්' බව දැන ගත්තේ පසුවය. ඔහු අප නිවසට පැමිණි හැම විටම ඉන්පසු මා බලා සිටියේ විජ්ජා පෙන්නූ තැනැත්තෙකු ලෙස කුතුහලයෙනි. ප්‍රේම් ජයන්ත් පාරේ ඇවිද ගෙන අපේ නිවසින් යන විට අවට ගැහැනු පිරිමි ඔහු දෙස බලා සිනාසී දෙවරක් හැරී බලති. සුළඟටවත් නොසැලෙන රැළි සහිත ඔහුගේ කොණ්ඩය හා ගිනිකූරු කට් එක සහිත රැවුල එකල කාගේත් සිත් ගත්හ.

ධර්ම ශ්‍රී කල්දේර මෙන්ම ප්‍රේම් ජයන්ත් ද පසුකාලීනව චිත්‍රපට නළුවන් වූ ධර්ම ශ්‍රී රණතුංග හා ජෝසප් සෙනෙවිරත්න ද කොස්ගස් හන්දියේ සුමිත්‍රා ස්ටුඩියෝ හි අධිපති සුමිත්‍රරත්න මහතා අධ්‍යක්ෂණය කළ වෙසක් නාට්‍යවල රජ පාට් රඟපෑ බව වැඩිහිටියන් පවසා ඇත. ප්‍රේම් ජයන්ත් දක්ෂ වාණිජ චිත්‍ර ශිල්පියෙකි. පසු කලෙක චිත්‍රපට රඟපෑමට හා නිෂ්පාදනයට පිවිසි ඔහු දැවැන්ත චිත්‍රපට ප්‍රචාර පුවරු (කට්අවුට්) නිර්මාණයේ ප්‍රවීණයකු විය. ඔහුගේ පියා පිලිප් රුද්‍රිගු ද දක්ෂ නාට්‍යකරුවකු හා චිත්‍ර ශිල්පියෙකි. කොස්ගස් හන්දියේ වෙසක් තොරණ ඔහු විසින් අඳිනු දැක ගැනීමට මම කිහිපවරක්ම වැඩිහිටියකු සමඟ ඩිවෝස් ලේන් එකට ගිය අයුරු මට මතකය.

මඟුල් ගෙදරකට යන්න සූදානම් වන සෑමවිටම මට කල්දේරා මාමාගේ විවාහ මංගල්‍යයට හාපුරා කියා සපත්තු හා ටයි පටියක් පැලඳ ගෙන ගිය ගමන සිහිපත් වෙයි. එවකට මගේ වයස අවුරුදු අටක් පමණ වන්නට ඇත. තාත්තා විසින් මට ගෙනෙන ලද සපත්තුව කකුලට හිරය. කකුල කැපුණ නිසා එදා මා අඬ අඬා දලුගම ඒ මඟුල් ගෙදර ගිය ගමන අමතක නොවන එකකි.

එදා කල්දේරා මාමා සංස්කරණය කළ 'චිත්‍රපටි' පත්‍රය මුද්‍රණය කළ පසු එයින් නැඟුණ තීන්ත සුවදට මා තවමත් කැමැතියි. මේ අතර අප නිවසට යාබදව ඇති ඈපා මුද්‍රණාලයේ උඩු මහලේ බෝඩිම් වී සිටි සෝමපාල මාමා ද අප ගෙදර නිතර ආව ගියේය. ඔහු දක්ෂ කවියෙක් බව ගෙදර කතාවෙනු මා අසා තිබුණි. සෝමපාල මාමා දිනක් පාට සහිත පිට කවරයකින් සැරසුණු සිනමා සඟරාවක් තාත්තාට පිරිනැමුවේය. සඟරාවේ නම 'චලන චිත්‍ර' ය. එහි සෝමපාල මාමාගේ නම සෝමපාල රණවීර නමින් එම සඟරාවේ පළ වී තිබුණා. කර්තෘ ඔහුය. මේ 1954 වසරය.

පසු කලෙක මා පූර්ණකාලීනව සිනමා පුවත්පත් කලාවට යොමුවීමට අඩිතාලම වැටුණේ 'චිත්‍රපටි' හා 'චලන චිත්‍ර' සිනමා පත්තර, සඟරා බැලීමෙන් ලැබූ මිහිරි අත්දැකීම් වන්නට ඇත.

මා හාපුරා කියා පාසලක ඉගෙනීිමට ගියේ මාලිගාකන්දේ ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවටය. එය පිහිටා තිබුණේ කුප්පියාවත්තේ ජයශේඛරාරාමයට නුදුරිනි. එහි විදුහල්පති වූයේ මගේ ලොකු තාත්තා වූ තලගල ලොකු ඉස්කෝල මහත්තයාය. ලොකු අම්මාත්, ලොකු තාත්තාත් ඔවුන්ගේ දරුවන් වූ නිහාල්, මොනිකා, මර්ලින් හා සුරංගණී ද මා ද හැදී වැඩුණේ විද්‍යාලය තුළම වූ ගුරු ගෙදරය. සෑම සෙනසුරාදාම අම්මා මා බැලීමට ගුරු ගෙදරට එන්නීය. අම්මා පැමිණි දිනක, ලොකු තාත්තා දහවල් කෑම කන අතරේ අලුත් ආරචියක් කීවේය.

'මගෙ පරණ ගෝලයෝ වගයක් නාට්‍යයක් පුරදු වෙන්න තැනක් නෑ කියලා ඉස්කෝලේ පන්ති කාමරයක් ඉල්ලුවා. අදත් මගේ හිතේ පුහුණුවීම් ඇති'.

'අනේ පුංචි අම්මේ අපිත් යමු ද? ඒක බලන්න' මර්ලින් අක්කා අම්මාගේ කනට කර කීවාය. නාවල වජිර විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ මර්ලින් (සුමනසේකර) අක්කාය. ලොකු අම්මා පෙරටු කොට අපි නාට්‍ය පුහුණු කරන ස්ථානයට ගියෙමු. මා තුළ ඇත්තේ කුතුහලයකි. ආසාවකි. හාපුරා කියා නාට්‍යයක් ජීවමානව රඟදක්වනු දැකීමයි ඒ.

'අර . . . ඉන්නේ නවනන්දන විජේසිංහ. අර පෙම්වතාට ඉන්නේ රැල්ප් විජේසේකර. මේ දෙන්නම මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත තාත්තාගේ ගෝලයෝ. තාත්තාගෙන් වේවැල් කසාය ලැබිල තියෙනවා දඟ වැඩ කරලා. නවනන්දන පන්තියේ ඉන්න කොටත් විහිළුකාරයාලු.' මොනිකා අක්කා අම්මාට කීවාය.

නවනන්දන විජේසිංහ නාට්‍ය ගණනාවක රගපා හොඳම නළුවාට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තේ 'වහලක් නැති ගෙයක්' නාට්‍ය සඳහාය. ඔහු චිත්‍රපට නළුවකු ලෙස ද ප්‍රභාව දැක් වීය. රැල්ප් විජේසේකර පසුව ප්‍රකට වූයේ චිත්‍රපට සටන් නළුවකු ලෙසය. වැදිබිම, සීතල වතුර, රෑණ ගිරව්, වහල් දූපත, මාතෘභූමි ඇතුළු චිත්‍රපටවල ඔහු රඟපෑවේය.

එදා අපි නැරඹූ නාට්‍යයේ රැල්ප් රඟපෑවේ පෙම්වතකුගේ චරිතයකි. නවනන්දන රඟපෑවේ වැඩිහිටි තාත්තා කෙනෙකුගේ චරිතයකි. නාට්‍යයේ එක් අවස්ථාවක රැල්ප් සිය පෙම්වතියට තොත්තුවක් දීමට සැරසේ. මට ලැජ්ජා සිතුණි. මම අහක බලා ගතිමි.

මොනවද මේ මල කෝලම්. මේ පොඩි එකත් නරක් වෙනවා. ඔයගොල්ලෝ බලලා එන්න.' ලොකු අම්මා මාවත් ඇදගෙන පන්ති කාමරයෙන් එළියට ආවේ කේන්තියෙනි.

'ලොකු ඉස්කෝලේ හාමිනේ . . .' කියමින් නවනන්දන ලොකු අම්මා පිටුපස පැමිණිය ද ඇය මාවත් ඇදගෙන ගුරු නිවාසයට පැමිණියේ පස්ස නොබලාය.

කෙසේ වෙතත් මා හාපුරා ශාලාවක රඟදැක් වූ ප්‍රථම වේදිකා නාට්‍යයක් මුල්වරට දුටුවේ 1956 වසරේ බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශාලවේදීය. ඒ ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ 'දීපා' නාට්‍යයයි. මේ නාට්‍යය පසු කලෙක 'දීපාංජලී' නමින් සිනමාවට නැඟිණ. 'දීපා' නාට්‍යයේ සියලු සැලසුම් ක්‍රියාත්මක වූයේ ද අපේ නිවසේය. මේ නාට්‍යයේ රඟපෑ රංජිත් දයානන්ද (පසුව ඔහු වනමල, සුරංගණී, කුරුළු බැද්ද, සීතල වතුර චිත්‍රපටවල රඟපෑවේය. විශ්‍රාමික විදුහල්පතිවරයකු වූ ඔහු කඩුවෙල, කොතලාවල පුර නිවසේ සිය සන්ධ්‍යා සමය ගත කරයි) චිත්‍රා ධනවලවිතාන (වාකිෂ්ඨ), රැල්ප්, නවනන්දන හා සුමනදාස ජයකොඩි රඟපෑ ජවනිකා අපේ නිවසේ පුහුණු වෙනු මම දැක ඇත්තෙමි.

'දීපා' නාට්‍යයේ වෙස් ගැන්වීම් කළ ගුණරත්න මාමා නළු නිළියන්ට වෙස් ගන්වන විට රැවුල්, කොණ්ඩා, ගම්, කතුරු ආදිය ලබා දෙමින් සහාය වන්නේ මාය.

'ගුණේට හොඳ ගෝලයෙක් හම්බ වෙලා තියෙන්නේ, හොඳයි හොඳයි. ඔයාට මම හෙට එන කොට තෑග්ගක් අරන් එන්නම්' නවනන්දන මගේ හිස අත ගාමින් කීවේය.

නවනන්දන පොරොන්දු වූ පරිදි මට බැලුම් බෝල පෙට්ටියක් රැගෙන ආවේය. ඒ කාලේ ඔහු රැකියාව කළේ  B.O.A.C නම් බ්‍රිතාන්‍ය ගුවන් සේවා සමාගමකය. ඔහුගෙන් අපට ලැබුණු අනගි බැලුම් බෝලවලින් නංගීත් මල්ලිලා දෙදනාත් සමඟ කාලයක් යනතුරු සෙල්ලම් කළෙමු.