|
අවසාන මායා දඩයක්කරු ඉදිරියට
නපුරු මායාකාරියන් ගැන අප බොහෝ දෙනා දැන හඳුනාගත්තේ සුරංගනා කතා සමඟිනි. නපුරු මායාකාරියෝ මෙන්ම මායාකරුවෝද සමහර කතාන්දරවල වෙති. කලාතුරකින් මේ අතර කරුණාවන්ත මායාකාරියෝද නැතුවා නොවේ. කෙසේ වුවත් බොහෝ මායාකරුවන් හෝ මායාකාරියන් අතීතයේ මිස වර්තමානයේ ජීවත් වන බව නම් ඒ කතාන්දර වලින් කියවෙන්නේ නැත. කිසි ලෙසකින් හෝ මේ නපුරු බලවත් මායාකාරයන් සහ මායාකාරියන් ඔබත් මමත් ජීවත් වන වර්තමානයේත් ජීවත්ව සිටියා නම් කුමකින් කුමක් සිදුවෙතැයි කෙනෙකුට සිතා ගැනීමද අපහසුය. ඒ කුමක් වුවත් නරකක් මිස හොඳක් නම් විය නොහැකිය. බ්‍රෙක් ඊස්නර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, මාක් කැන්ටන්, වින් ඩීසල් හා බර්නී ගොල්ඩ්මන් විසින් නිෂ්පාදනය කෙරුණු, The Last Witch Hunter (අවසන් මායා දඩයක්කරු) මෙවැනි මාතෘකාවක් රැගත් ‘අධිස්වභාවික ක්‍රියාන්විත’ (Supernatural Action) චිත්‍රපටයකි. මීට වසර සිය ගණනාවකට පෙර, දරුණු මායාකාරියක් සහ ඇයගේ සහචරයින් දමනය කිරීමට කෝල්ඩර් නම් මායාදඩයක්කරුට (Witch Hunter) හැකි විය. කෝල්ඩර්ට දරුණ සාපයක් කර පලා ගිය ඒ දරුණු මායාකාරියගේ වත්මන් පුනරාගමනය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම විනාශයට මුල විය හැකිය. ඇගෙන් ලෝකය බේරාගැනීමට කොල්ඩර්ට හැකිවේද ? වින් ඩීසල්, රෝස් ලෙස්ලි ආදී ප්‍රවීණ නළු නිලි රැසක් රංගනයෙක් දායක වන The Last Witch Hunter, පසුගිය 23 වනදා සිට ලොවපුරා තිරගතවීම ඇරඹීය. විනාඩි 106 ක් මුළුල්ලේ තිරගත වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක පිරිවැයකින් තනා නිමකොට ඇත. සමිට් එන්ටර්ටේන්මන්ට් බෙදා හැරීමකි. මෙම චිත්‍රපටය, IMDB දර්ශකයේ 7.8/10 ක්ද, රොටෙන්ටොමැටෝස්හි සියයට 13ක්ද, IGN.com හි 5/10 ක්ද ලෙස ඇගයීමට ලක් වී ඇති අතර, සමස්තයක් වශයෙන් ගත්විට චිත්‍රපට විචාරකයින්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ. The Last Witch Hunter ආකර්ශනීය චිත්‍රපටයක් නොවන බව ඔවුන්ගේ මතයයි.
|