වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ කිරිබත අනුෂ්කාට රසලු

ලංකාවේ කිරිබත අනුෂ්කාට රසලු

බොම්බායට වඩා ලංකාව හරි පිරිසුදුයි

බොම්බේ වෙල්වට් තනන්නට ආ හින්දි තරු පවසති

මුතු පලසක් දිග හැරෙන්නාක් සේ බොම්බේ නගරයේ රූපරාමු එකින් එක දිග හැරෙයි. ඒ බොලිවුඩ් පුරවරයේදී නම් නොවෙයි.

ශ්‍රී ලංකාවේ රන්මිහිතැන්න ස්වර්ණ භූමියේදීයි. 2012 වසරේදී විවෘත කරන ලද මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේදී මංගල බොලිවුඩ් සිනමා නිර්මාණය දැන් රූගත කෙරෙමින් පවතී. ඒ ‘බොම්බේ වෙල්වට්’ සිනමාපටයයි.

පසුගියදා සෙරන්ඩිබ් ස්ටුඩියෝ කළනාකාරිත්වය යටතේ රූගත වෙන සිනමාපටය හා ලංකාවේදී ඔවුන් ලද අත්දැකීම් ගැන සොඳුරු කතාබහක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණි.

මේ අවස්ථාවට අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප්, නිෂ්පාදක විකාස් බාලි, ප්‍රධාන තාරකා යුවළ රන්බීර් කපූර් සහ අනුෂ්කා ෂර්මා, දුෂ්ට චරිත රඟන කේ කේ. මෙනන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඉන්දියානු සයුරේ මුතු ඇටය ගැන ඔවුන්ට හා ඔවුන් ගැන අපට හැගුණු දේ බොහෝය. ඒ සියල්ල බොලිවුඩ සිනමාපටයක් මෙන් සුන්දරය.

ප්‍රධාන නළු රන්බීර් කපූර් කියා සිටියේ ලංකාවේ පිරිසුදුකමට ඔහු ඉතා කැමැති බවයි. ‘ඕනෑ තරම් රූගත කිරීම් ගැන අත්දැකීම් තිබෙනවා. ඒත් ලංකාවේදී රූගත කිිරීමේදී තරම් සතුටක් විනෝදයක් ලැබිලා නැහැ.’

රන්බීර් කපූර් ඉතා කපටි ලෙස කතාවේ වැඩි කොටස භාර කළේ අනුෂ්කා ෂර්මාටය. අනුෂ්කා ද ‘මං ඔබව මරනවා’ කියමින් රන්බීර්ට සොඳුරු සිනහවකින් ප්‍රතිචාර දැක් වූවාය. රන්බීර් සේම මේ පුංචි දිවයිනේදී ලද මිහිරි අත්දැකීම් අනුෂ්කා මාධ්‍යයට පැවසුවාය.

‘අපේ ආප්ප, කිරිබත් හරි රසයි’ කීමට ද ඇය අමතක නොකළාය.

අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් ‘බොම්බේ වෙල්වට්’ සිහිනය සැබෑ වුණේ ලංකාවේ රන්මිහිතැන්න නිසා බව පැවසුවේය. ‘බොහෝ කාලයක් සුදුසු දර්ශන තල සොයා ලෝකය පුරාම ඇවිද්දා.

ලංකාව දැක්කම මේ තමයි අපට කියාපු පරිසරය කියා සිතුණා. පරිසරය වගේම අප හා සමාන මිනිසුන් සිටීමත් වාසියක් වුණා. ලංකාවේ පිරිසුදුකම ගැන කියන්න ඕනෑ.

බොම්බේ වගේ නෙවෙයි, මෙහේ හරිම පිරිසුදුයි. ඒ වගේම ලාංකිකයන් හරිම මිත්‍රශීලීයි. අප වෙනුවෙන් අවට නිවෙස්වල අයත් උපරිම සහයෝගයක් ලබා දෙනවා.

හරිම වේගයෙන් රූගත කිරීම් සිදුවෙනවා. ඉන්දියාවේ රූගත කළා නම් මෙතරම් ඉක්මන් නෑ. මගේ සිහිනය හැබෑ කළාට ලාංකික ඔයාලට ස්තුතියි.’ අනුරාග් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ චිත්‍රාගාර තාක්ෂණ අති නවීන බවත් ආසියාවේ සෙරන්ඩිබ් චිත්‍රාගාරය වැනි චිත්‍රාගාර ඇත්තේ අඩුවෙන් බවත් ඔහු පැවසුවේ අපේ පුංචි රටට ආඩම්බරයක් ගෙන එමිනි.

‘බොම්බේ වෙල්වට්’ ලබන වසරේ ඔක්තෝබරයේදී තිරගතවීමට නියමිතයි. දින 40 ක් ලංකාවේදී සිනමාපටය රූගත කෙරේ.

රන්මිහිතැන්නට අමතරව ගාල්ල, බෙන්තොට, කොස්ගොඩ, කොළඹ නගරවලදී රූගත කිරීම් සිදු කෙරේ.

අනුරාග්ගේ බොහෝ සිනමාපට මෙන්ම මෙය ද සත්‍ය කතාවක් පසුබිම් කරගෙන නිර්මාණය කෙරෙන්නති. 50, 60, 70 දශකයන්හි බොම්බේ පුරවරය නවීකරණයවීමේදී ඇති වූ විවිධ වෙනස්කම් ඇසුරින් කතාව නිර්මාණය කර තිබේ.

මෙහි අනුෂ්කා ෂර්මා රඟන්නේ ජෑස් ගායිකාවකගේ චරිතයයි.

අනුෂ්කා, අනුරාග්ගේ සිනමාපටයකට සම්බන්ධ වෙන්නේ ප්‍රථම වතාවටයි. අනුරාග්ගේ සෙසු නිිර්මාණ වනුයේ දේව් ඩී, නෝ ස්මෝකිං, ද ගර්ල්ස් ඉන් ද යෙලෝ බූට්ස්ය.

රන්බීර් කපූර්ට කාශ්‍යප් සොයුරන් දෙදෙනකුගේ සිනමාපටවලට දායක වන්නට සිදු වී තිබේ.

ඒ ලංකාවේ රූගත කෙරෙන අනුරාග්ගේ ‘බොම්බේ වෙල්්වට්’ සිනමාපටයට හා මූම්බායි හි රූගත කෙරෙන අභිනව්ගේ ‘බෙෂ්රාම්’ සිනමාපටයටයි.

‘බොම්බේ වෙල්වට්’ සුවිශේෂී දැක්මක් ශ්‍රී ලංකාවේ පවත්වන බවට අධ්‍යක්ෂ අනුරාග් කාශ්‍යප් ශ්‍රී ලාංකිකයන්ට පොරොන්දු වී තිබේ.