වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




තමුන්නේ අම්මාගේ ආසිරිවාදේ නැත්තං ඔය ගමන යන්ඩ බෑ
සරසවිය ගෙනෙන නවතම නවකතාව ගිරිකුල

තමුන්නේ අම්මාගේ ආසිරිවාදේ නැත්තං ඔය ගමන යන්ඩ බෑ

සම්මානනීය නවකතාකාරිනිය ශාන්ති දිසානායකගේ නවකතාව ඇසුරෙන් සරත් ධර්මසිරි ගේ රූපවාහිනී රචනයෙන් ෆාහිම් මව්ජුඩ් නිෂ්පාදනය කළ සුදත් රෝහණ ගේ නවතම ටෙලි වෘත්තාන්තය පාදක කරමින් සරසවිය ගෙන එන අලුත්ම වෘතාන්තය ගිරි කුළ

ගිනි මද්දහන සිරුර දවා ලන සුළු වුව ද වස්තුහාමිට එය නොදැනිණ.ජීවිතය අලුතෙන් පටන් ගත යුතුව තිබේ. ඒ සඳහා යා යුතු දුර බොහෝය.ජීවිතය අලුතෙන් අරඹන්නෙමැයි සිතා ඔහු ගමින් පිටත්වූයේ නැකැත් බලා නොවේ.ඒ සදහා අලුත් බලාපොරොත්තු එමටය.එබැවින් ජීවිතය පිළිබඳ මේ තීරණය ගන්නට ඔහුට සිදුව ඇත්තේය.කලකට ඉහත නම් ඔහුගේ පුවලේ උදවිය කුරුණෑගල උහුමීය පළාතේ යමක් කමක් තිබුණ මිනිසුන් වූහ.එහෙත් එයට එකම සාක්ෂිය නම් දැවැන්ත ගෘහය පමණී. එහෙත් කාලයාගේ ඇවෑමෙන් අද ඒ නිවස ජරාජීර්ණ වන්නට පටන් ගෙනය.වත්තේ කොනක ඉදිවුණ සොහොන් ගැබ එහි ජීවත් වූ මහ මිනිසාට පමණක් නිදැල්ලේ නිදා ගන්නට ඉඩ හැර ඇත්තේය.

කරත්තයේ කිරි කිරිය නිසා වස්තුහාමි තරමක් නැවතී බැලුවේය.බිරින්දෑ ද දියණිය ද එහි පැදුරක් මත ගමන් කරති. කරත්ත එකක් නොව කිහිපයක්ම මේ ගමනට එක් කර ගත යුතු වූයේ අලුත් ජීවිතයට ඇවැසි සියලු දේම ගෙන යායුතු බැවිනි.කර දඬු උස් මහත් වුණ පුතුන් දෙදෙනා වූ සුදු බණ්ඩා සහ කිරි බණ්ඩා සිය පියා මෙන්ම පයින් ම ගමන් කරමින් සිටියහ.වත්තුහාමිගේ බාල පුතු හීන් බංඩා මහ ගෙදර නැවතුනේ ඒ වන විට මහලු වියේ වූ මව රැක බලා ගැනීමේ වගකීම පැවරුණ හෙයිනි.අත්තම්මාට හදිසියේ උයා පිහා දීමේ වගකීමත් ඇයට සාත්තු සප්පායම් කිරීමත් ඔහුට පැවරිණ. කොහොමටත් පොඩි එකා ලෙඩා දුකාය.ඌට අලුත් රටක මහ පොළොව සමග ගැටීමට අයියලාට තරම් හයිය හත්තියක් නැත.කොල්ලා තම නෑයන් ගම රට අත හැර යන කරත්ත පේළිය නොපෙනී යනතුරුම බලා උන්නේය.වස්තුහාමි නිවසින් පිටත්ව යන්නට මත්තෙන් ඔත්පළ ව වැතිර සිටින අම්මාගේ පාමුල පසඟ පිහිටුවා වැන්දේය. එහෙත් ඈ කරබා ගෙන සිටියාය. මහලුව සිටින ඇගේ සිරුර දිරා පත්ව යන හැටියකි.

‘සුර සැප විඳීන්ඩ යන ගමනක් නෙමේ...වෙන කරන්නඩ දෙයක්

නැති හින්දා යන ගමනක් මෙහෙ ඉඳලා මොකද කරන්නේ.? මාත් දන්නාකාර හිතුවා නොයා ඉන්ඩ..මේ දරු කැලකට කන්ඩ හොයන්ඩ එපායැ මං ..මං යන්නං අම්මේ ‘

අම්මා වචනයකුදු නොදෙඩුවාය.වස්තුහාමි තවත් වරක් ඇයට කතා කළේය.

“දරුවෙකුට තමුන්නේ අම්මාගේ ආසිරිවාදෙ නැත්තං ඔය ගමන යන්ඩ බෑ..මයෙ ඔළුව අත ගාපං අම්මේ..‘

වස්තුහාමි අම්මා ඉදිරියේ යළිත් වැඳ වැටුණේය. ඇය ගේ අත තම හිසෙහි ගැල්වෙන අයුරු ඔහුට දැනිණ.කිසියම් සතුටක් ඔහුට දැනිණ.

‘මං එන්නං උඹ එක්කාසු කොරාන යංඩ..මට උඹ දාලා යන්ඩ හිත දෙන්නේ නෑ..මං හිත තද කොරාන ඉන්නේ.ඒක බුරුල් කොරාන්ඩ එපා‘

වස්තුහාමි අවසන් වචන පැවසුවේ සෙමිනි. තමා වරදක් කරන්නේය යන හැඟීම ඔහුගේ සිතට පිවිසියේ වරක් දෙවරක් නොවේ.එහෙත් තමා මේ ගමන යන්නට හිත හදා ගෙන උන්නේය.

මේ වූකලී අදින් දශක ගණනාවකට කලින් දිනයකි. ඒ දවස්වල රට පාලනය කළේ එංගලන්තයේ පස් වන ජෝර්ජ් මහ රජුය. දින වකවානු හරියට කියන්නේ නම් ඒ 1944 වසරේ නොවැම්බර් 29 වැනි දිනය.ලෝක මහා යුද්ධයකට එංගලන්තය නැත්නම් රජුගේ රට පැටලී යද්දී කුරුණෑගල උන් වස්තුහාමිලාටත් එය දැනෙන්නට පටන් ගත්තේය. ඒ කුස්සිය පැත්තෙන් අග හිඟ කම් දැනෙන්නට පටන් ගත් බැවිනි.

ඉතින් අලුත් රටක් බලා ගමන් ඇරඹිය යුතු ව තිබේ.ඒ ගම තිබෙන්නේ කලා ඔය ඉස්මත්තේය. එය අලුතින් ජීවිතය අරඹන මිනිසුන්ගේ ලෝකයක් බැව් වස්තුහාමි තේරුම් ගත්තේය.බාලකොලුවා ගැන ඔහුගේ සිතේ ඇත්තේ නොසතුටකි.බිරින්දෑ ඩිංගිරි අම්මා ගමන පිටත් වන්නට මොහොතකට කලින් තම බාල පුතු වැලඳ හඩන්නට පටන් ගත්තාය.

සරත් ධර්මසිරි

‘රෑට බුදියන්න කලින් නාහෙට තෙල් ඇදපං පපුවේ ගා ගනිං..දූවිල්ලේ නටන්ඩ මකුළු දැල් කඩන්ඩ යන්ඩ නම් එපා“

ඩිංගිරි අම්මා පැවසුවේ කඳුළු සලමිනි. ඈ කාටත් වඩා මේ පොඩි එකාට ආදෙර්ය. පිටත් ව යන්නට කලින් කිරි බංඩා සිය මලණුවන්ට දුනු පිහියක් දුන්නේය. තමා සතු එම දුනු පිහියට මලණුවන් කැමැති බැව් ඔහු දැන සිටියේය.රං මැණිකා හීන් බණ්ඩාගේ අක්කාය. ඇය තම මලණුවන්ගේ කටට කිතුල් හකුරු කැටයක් දැම්මාය.

ඩිංගිරි අම්මා කරත්තයට නැංඟේ හඬමිනි.ඇය එයට ගොඩ වුණේ ද සියල්ලට පස්සේය. ඒ ද වස්තුහාමි ඇයට ගෝරනාඩු කළ පසුය.උහුමීයේ සිට සේනපුරට යායුත්තේ කරත්ත මඟිනි.අලුත් නිවසට අවශ්‍ය සබ්බ සකල මනාවම පසු ගිය දවස් ටිකේ සොයා ගන්නට වස්තුහාමිට හැකි විය. ලුණු පොල් කට්ටේ සිට සෑම දෙයක්ම ගෙන යන තරමට හොඳ බැව් ඔහු දැන උන්නේය. අලුත් මිනිසුන් කොයි වගේ දැයි ඔහුට නිකමට සිතිණ. හැන්දෑව ඉක්මනින් ගලා එන්නට පටන් ගෙනය. ගොන්නු විඩා වට පත්ව ඇත්තේය. කරත්තකරු ලවා ගැල් ලිහා දමන්නට කාලය එළැඹ ඇති වග ඔහුට වැටහුණේ කරත්ත අතරමග නතර ව ඇති නිසාවෙනි. වස්තුහාමි කරත්ත කරුවන් සමීපයට ගියේය.

"ගොනාටත් මහන්සිනේ.නවතිනව නම් නවතිමු'

ඔහු කියා සිටියේය.

'මෙතනත් නරක නම් නෑ."

එක් කරත්තකරුවෙකු පැවසුවේය.

"කමක් නෑ.මෙතන ඉමු.'

දෙවැන්නා පැවසුවේය.

'වතුර ටිකක් නාලා බුදිය ගත්තම ඔය මහන්සිය යයි"

වස්තුහාමි ගේ බසට කරත්තකරුවන් සිනාසෙන්නට පටන් ගත්හ.

"බුදිය ගන්ඩ නම් වෙන්නේ නෑ. මේවායේ හරක් හොරු ඉන්නවා.අයියේ ගොන් බාන් රකින්ඩ එපායැ"

සුදත් රෝහණ

එක් කරත්තකරුවෙකු පැවසුවේය.

"නෑ..නෑ..ඒක නෙමෙයි ක්‍රමේ.මායි මයෙ කොල්ලො දෙන්නයි.මාරුවෙන් මාරුවට රකිනවා,ඒකට බයවෙන්ඩ එපා.අපට බැරිය දවල්ට බුදියන්ඩ"

වස්තුහාමිගේ යෝජනාවට කරත්තකරුවෝ එකඟත්වය පළ කළහ.

'වට්ටක්කා උයලා.කරෝල තෙල් දාලා,කැකුළු බතට"

ඩිංගිරි අම්මා යෝජනා කළාය. ඒ සියල්ල අඩුම කුඩුම ඇය ඇගේ මල්ලේ ලාගෙන පැමිණ ඇත්තේය.ඇගේ දියණියන් වූ රං මැණිකා ද කිරි මැණිකා ද අම්මාට උදව් කළහ. ගැල් පේළිය නතර කළ සැනින් තේ සාදා දුන්නේ කිරි මැණිකාය.ඩිංගිරි අම්මාගේ කෑම වට්ටෝරුව පිළිබඳ වස්තුහාමි කරත්තකරුවන්ගෙන් විමසා සිටියේය.

"ඉහටත් උඩිං"

ඔවුහු යෝජනාව ස්ථිර කළහ.හීන් බංඩා නිවසේ තනියම සිටියේ ජීවිතයේ මුල් වතාවටය.ඔහුට පුරුදු පරිදි හුස්ම ගන්නට අසීරු විය. වෙනදාට අම්මා අතින් කෙරෙන කාර්යය ඔහුට මතක් විය. මහා නාරාසන තෛලය තිබූ තැනින් සොයා ගන්නට කුප්පි ලාම්පුවේ අඳුරු එළිය ඔහුට මහෝපකාරි විය.ඔහු තෙල් බෝතලය අත්ලට හලා ගෙන පපුව පුරා තවරා ගත්තේය.

ඒ වන විට එයට සැතපුම් ගණනාවකට එපිට මග අයිනේ පැදුරක වැතිර සිටි රං මැණිකා පිබිදුණාය. ඇය විමසිල්ලෙන් අසා සිටියේ කවුදෝ ඉකි බිඳීනු හඩ ඇසිණ. ඇය එයට කන් දී ගෙන සිටියාය.ඒ අම්මාගේ හඬ බැව් ඇයට වැටහිණ.

"මට හීං එකා මතක් වෙනවා ඒකා තනියම.ඌ කවදාවත් තනියෙන් ඉඳලා නෑ.මට ඒකා දාලා යන්ඩ හිත දෙන්නේ නෑ.“

"කොලනියට ගියාම මලයාත් ගෙන්නා ගනිමු"

රං මැණිකා යෝජනා කළාය.අම්මාගේත් දියණියගේත් කසුකුසුව නතර වූයේ වස්තුහාමි මහ හඬින් මොකද බොලව් යනුවෙන් ඇසූ පසුවය.