වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිසුන්ගේ සුළු කාව්‍ය epic

මහා කාව්‍යයකට නිගා කළ පත්රු

මිනිසුන්ගේ සුළු කාව්‍ය epic

මහාචාර්ය බොම්බා බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙකු මෙන් අමුතු උපකරණ රාශියක් පැලැඳගෙන ඇති සැටියකි. නිල්ල නිලන වනාන්තරය පුරා ඔහු කඟවේනෙකු මෙන් දුවන්නේත්,හිටි වනම ගෙම්බෙකු මෙන් බිම ඇද වැටෙන්නේත් හිස පැලැදි අමුතු හෙල්මටයට සම්බන්ධිත දුර බලන විප්‍රරකාර දර්පණ හේතුවෙනි. අති සූක්ෂම දෑ පෙනෙන ඒ දර්පන ඔහුට ළඟ නොපෙන්වයි. කපුටන් තිදෙනෙකු මාරාවේශයෙන් ලුහු බඳීන්නේ කුඩා පක්ෂියෙකි.

ඒද මහාචාර්ය බොම්බාගේ අති සූක්ෂම දර්පණය පෙන්වන දෑය. සටන නිම වෙයි. දුර්වලයා පරාජය වන අතර බාහුබල වැඩි තැනැත්තා පරාද වී බිම් හොත් හෙයින් ඒ පිරික්සන මහාචාර්යවරයාගේ ඇස් කණ්ණාඩිය නියමිත තැන පතිත වෙයි. මුවින් පුදුමය උපදවන දෙයක් දුටු කල පිටවන ශබ්දය ඇති වෙයි. ඒ ඉතා කුඩා ගිරවෙකු අරඹයාය. ගිරවාගේ පිට මත කුඩා සෑදලයකි. එහෙත් සෑදලය හිස්ය. කවුරුන් හෝ ඒ මත සිටින්නට ඇත. දැන් එය හිස්ය.

මේ සූක්ෂම අන්තයක සිදුවන මහා සටනකි. උඩු වියනටත් උඩින් පියඹන්නේ කපුටන්ය. ඒ මත බොගන්ස්වරු දුනු මානාගෙන පත්රු මිනිසුන් මරන්නට පසුපස ලුහුබදියි. වඩාත් පි‍්‍රයමනාප ගිරවුන් පිට නැගි පත්රු මිනිසුන් මාරාන්තික සටනකය. දැන් ඔබ කිසිදා නොදුටු පත්රු මිනිසුන්ගේ ක්ෂුද්‍ර ලෝකයට පිවිස ඇත. සුපුෂ්පිතව එහා මෙහා වැනෙන මල් මෙන්ම ගොළුබෙල්ලන්,විලක නිසොල්මනේ ඉන්නා පොහොට්ටුවල මෙන්ම වනාන්තරයේ රැජින ටාරා,නපුරු පාර්ශවයේ බොගන්ස්වරුන්ගේ වීරක්‍රිය සහ කෲර ක්‍රියා ඉදිරියේ නොසැලී පත්රු මිනිසුන්ට සහය දීමට සිදු වීම අනිවාර්යය සාධකයකි.

මේ කියන්නේ 'එපික්' නම් ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය ගැනය. මන:කල්පිත වූත්,ත්‍රිමාණ සජීවීකරණයක් වූත් විනෝදාස්වාද සිනමාපට කැටගරියට වැටෙන එපික් නිකුත් වන්නට පෙරම ප්‍රකට වූ සිනමාපටයකි. එහෙත් ප්‍රකට සියලු දෑ සාර්ථක විය හැකිද? විශිෂ්ට සජීවීකරණ උපක්‍රම දැක ගත හැකි මේ සිනමාපටය පුරා තැවරුණු මානුෂීය සබඳතා පිළිබඳ දල්වන විසාල ආලෝකය පැසසුම් ලැබිය යුතුය. එහෙත් පසුගිය කාලය පුරාම,වඩාත් පැහැදිලිව කිවහොත් පසුගිය වසර පුරා නිකුත් වූ ත්‍රිමාණ සජීවීකරණ බොහොමයක දකින්නට තිබෙන ඇල් මැරුණු ගති ස්වාභාවය එපික් තුළද නො අඩුව දක්නට ඇති බව කියන්න සිදු වීම මහත් කනගාටුවකි. ඉතාමත් වර්ණාන්විතව ආරම්භ වන මුත් සිනමාපටය තුළ දිගින් දිගටම එය පවත්වා ගැනීමට අසමත් වේ.

කුතුහලය බිඳී යයි,කතාන්දරය පුරා ලුහුබැදීමට තරම් ආශ්චර්යයක් නොමැති බව ඉතා ඉක්මනින් වැටහී යයි. වීර කාව්‍යයක විය යුතු එපික්,තවත් එක් ත්‍රිමාණ සිනමාපටයක් ගණයට වැටෙන්නේ නව්‍යතාවක් තිබූවද එය අසිරිමත් ආකාරයකින් පේ‍්‍රක්ෂකයාට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවිනි. මන්දයත් සියලු ත්‍රි මාණ සිනමාපට එක පෙළට සිට ගන්නේ පැරැණි වූත්,සාර්ථක වූත්,පේ‍්‍රක්ෂක ආකර්ෂණය උදුරා ගත්තා වූත් සිනමාපට සමඟය. සංසන්දනය වැලැක්විය නොහැකි සාධකයක්ව මතු වීම නොසලකා හැරිය නොහැක්කේ එබැවිනි.

එනමුත් එපික් බැහැර කළ හැකි අසාර්ථකම සිනමාපටයක් නොවේ. විලියම් ජොයිස්ගේ 'ද ලීෆ් මෑන් ඇන්ඩ් ද බ්රේව් ගුඩ් බග්ස්' නම් සුරංගනා කතාවක් අනුසාරයෙන් නිර්මාණය කළ එපික් නිෂ්පාදනය කර ඇත්තේ 'බ්ලූ ස්කයි' චිත්‍රාගාරයේය. ප්‍රකට 'අයිස් ඒජ්2' නිර්මාණය කළ ක්‍රිස් වෙජ් අධ්‍යක්ෂණය කර ඇති එපික් නිකුත් වී ඇත්තේ 2013 මැයි 24 වැනිදා තරම් මෑතකදීය.

තරුණ දියණියක වන මේරි කැතරින්,ඇගේ පියා මහාචාර්ය බොම්බා අතර ඇති ළඟා විය නොහැකි බැම්ම බිඳ දමන මේරි කැතරින් හදිසියේම පත්රු මිනිසුන් තරම් කුඩා වී ඔවුන්ගේ ලෝකයට යාම,නිවසින් යන්නම යන මේරි කැතරින් ගැන දුක් වෙමින් ඉන්නා මහාචාර්යකම අමතක කළ පියා මෙන්ම ඊට බොහෝ දුරස්ථ ලෝකයක වනාන්තරය ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත ක්ෂුද්‍ර පත්රු මිනිසුන් වෙන වෙනම කියන කතාන්දර එක් ගැළපුමක් සේ ගත් විට කියැවෙන මනුෂ්‍යත්වය වඩා කැපී පෙනේ. මේ ත්‍රිමාණ සජීවීකරණ බහුතරයක දැක ගත හැකි ලක්ෂණයකි. සතුන් ඇසුරින් මෙන්ම මිනිසුන් ඇසුරින්ද නිතර මතු කර දක්වන මනුෂ්‍යත්වයේ කතාව කිසි විටෙක අපට මඟ හැරී නොමැත. ද්විමාන මාදිලියෙන් තැනුණු ලයන් කින්ග් සිට ත්‍රිමාණ මාදිලියේ උත්කර්ෂයට නැඟුණු අයිස් ඒජ් ආදියෙන් ඒ ගලපා ගැනීම එතරම් අපහසු නැත. එහෙත් ඊට වසර ගණනාවකට පසුව නිමැවුණු එපික් ඒසා උත්කර්ෂයකින් අපව නැළවීමට සමත් නොවීම කනගාටුවකි.

පත්රු මිනිසුන් හා බොගන්ස්වරුන්ගේ මාරාන්තික වෛරී ලුහුබැදීම හැරුණු කොට මේරි කැතරින් සහ විද්‍යාඥ පියාව මෙතුළින් නරඹන්නාට හසු වෙයි. එහෙත් ලත් අවසරයෙන් ඔවුන් අපේ ඇඟිලි තුළින් ලිස්සා වැටෙයි. සිනමාපටය අවසානයේ ආස්වාදනීය රිදුමක් හෝ කැලඹීමක් නොලබාම නම් පෙළ දෙස බලා සිටින්නේ අසතුටෙනි. වීර කාව්‍යයක් එසේ විය යුතු නැත. ගෙවුණු වර්ෂය පුරාම මෙන්ම ඊට පෙර වසර පුරාද නිර්මාණය වූයේ මෙවන් අසම්පූර්ණ ත්‍රිමාණ සජීවීකරණයෝය. ඒ මතුද නොවේ,ඒ නිකුත්වීමට පෙරම මහත් උත්කර්ෂයට නංවාලමිනි. මේ අසාර්ථක පක්ෂයයි. යළිත් සාර්ථක පක්ෂයට හැරෙමු.
‘එපික්’ සිනමාපටයේ අධ්‍යක්ෂ ක්‍රිස් වෙජ්

1957 මාර්තු 20 වැනිදා නිව්යෝර්ක් හි උපන් ක්‍රිස් සජීවීකරණය පිළිබද උනන්දුවට පත් වූයේ වයස අවුරුදු 12දීය. ඔහියෝ ස්ටේට් විශ්වවිද්‍යාලයෙන් පරිගණක නිර්මාණකරණය සහ කලාව පිළිබද ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත් ක්‍රිස් නිව්යෝර්ක් නගරයේ දෘශ්‍යකලා පාසලේ සජීවීකරණය උගන්වමින් සිටින විට හමුවූ කාලෝස් සැල්ඩනා ක්‍රිස්ගේ වත්මන් සහාය අධ්‍යක්ෂවරයායි.

පළමුව කෙටි සජීවීකරණ සිනමාපට නිපදවූ ඔහු 1987දී බනී නමින් තවත් කෙටි සජීවීකරණ සිනමාපටයක් අධ්‍යක්ෂණය කළ අතර එම වසරේ හොඳම කෙටි සජීවීකරණ සිනමාපටයට හිමි ඇකඩමි සම්මානය දිනා ගන්නා ලදී. 2002දී අයිස් ඒජ් අධ්‍යක්ෂණය කළ ක්‍රිස් 2005දී රෝබෝට්ස් සහ 2013දී එපික් අධ්‍යක්ෂණය කරල ලදී.

පත්රුවලින් සැකසුණු කොළ පැහැති ඇඳුම්,මලින් සැරසුණු මුහුණු සහ දිග නාරටි සහිත ඇගපතද,පත්රුවලින් සුසැදි ගවුම් ආදිය ඇදි මල් යුවතියන්,වරා මල් හිසේ පැලැදි තැන්පත් කාන්තාවන්ද සිනමාපටය පුරාම අලංකාරයෙන් පෙනී සිටියි. ඒ අතර කෝප්පයක් හිසේ නැමුවාක් මෙන් පිපිණු මල් මුහුණු ඇති තරුණයන් යුහුසුලුව මලින් මලට පැන දුවන්නේ පත්රු මිනිසුන් දකින්නටය. මුළු වනාන්තරයම එකම මිනිස් හිස් ගොඩකි.

ඒ අපි නිතර දකින මලින්,කොළයෙන් සහ කුඩා කෘමීන්ගෙන් සැරසුණේ වීම වඩාත් සිත් ගනී. මේ තත්ත්වය වෙනත් අකාරයකින් මැවීමේ අපූරු දස්කමකි. සිනමාපටය සුරංගනා ලෝකයකට ඔබව කැදවාගෙන යයි. මල් මුනු මුනු ගාමින් දොඩවන්නේ යැයි විස්වාස කිරීමට ඔබව පොළඹවයි. පත්රුවලින් උපදුණු මිනිසුන් ලොව තුළ ඇතැයි අතීරණාත්මක සිතුවිල්ලක ඔබ පටලවයි.

මොහොතකින් ඔබට හමු වන්නේ ටාරා නම් වනාන්තරයේ අධිපති රැජනයි. ඕ මල් පුබුදයි. වනාන්තරය ආරක්ෂා කරයි. මලින් සැදුණු දිගු ගවුමකින් සැරසී වනාන්තරයේ ඊළඟ රැජන තේරීමට මල් පොහොට්ටුරවක් සොයයි. වසර සියයකට පසුව එළැඹෙන මේ මොහොත ඕ දිවි හිමියෙන් රැක ගත්තත් සියලු කතාන්දරවල මෙන් නපුරු පාර්ශවය ඊට හවුල් වීමට නියමිතය. ගැටුම ඇරඹෙන්නේ එතැනිනි.

මේ සියල්ල මහත් සිත් අලවන සුළුය. විශේෂයෙන්ම රඟපෑම අතින් ඔවුන් බොහෝ දස්කම් දක්වයි. ටාරා රැජන,සෙන්පති රොනින්,තරුණ නෙඩ් මෙන්ම මනුෂ්‍ය මේරි කැතරින් මෙහිදී කැපී පෙනේ. දුෂ්ට මැන්ඩ්රේක් මෙන්ම මබ් සහ ග්ර්බ් නම් ගොළුබෙල්ලන් දෙපළ සිනමාපටයට ආලෝකය සපයයි. එහෙත් අවසානයේ ඒ සැපයූ ආලෝකය මදි බව හැඟී යයි.

නෙඩ් සහ මේරි කැතරින් පේ‍්‍රමයෙන් වෙළීම එපික් හි දක්නට තිබූ හොඳම ලක්ෂණය බව කිව හැකිය. එහෙත් ඉන් වැඩි ප්‍රයෝජනයක් නොගෙනම මේරි කැතරින්ව මනුෂ්‍ය දුවක් කර යළි පිටත් කරන අතර මහාචාර්යවරයාගේ ක්ෂුද්‍ර කැමරාවලට කතා කරමින් තම සබඳකම් දිගටම පවත්වාගෙන යනු අවසානයේ පෙන්වයි. එතකින් නිම වන මේ අපූරු පේ‍්‍රම සම්බන්ධය එපික් වෙත ගෙන ඒමට නියමිත අමුත්ත වසං කළා සේය. සෙන්පති රොනින් සමඟ මුකුළු කරන ටාරා රැජින නිකරුනේ මරා දමන්නේ ඉන්ද කිසි ප්‍රයෝජනයක් අත්පත් කර නොගනිමිනි. කුඩා කතාවකින් විසාල යමක් කියන්නට යාමක් නොව කුඩා කතාවක හෝ ආකර්ෂණයක්,අපූර්වත්වයක් රදවා ගැනීමට එපික් සමත් නොවීම පිළිබද අසතුට පළ කිරීමකි. වනාන්තරයක සිටින අති මහත් සත්ත්ව වර්ගයා අමතක කිරීම පිළිබද නොකැමැත්තෙනි. උඩු වියනටත් උඩින් කඳවුරු ලාගත් මේ ක්ෂුද්‍ර මිනිසුන්ගේ ජීවිත සටන් ගැන මීට වඩා දැනෙන අයුරකින් අපට කීවා නම් වඩාත් සතුටු බව කීමකි.

හුදෙක් කතාන්දර කීමෙන් ත්‍රිමාණ සජීවීකරණ පේ‍්‍රක්ෂකයන් පිනවීම කළ නොහැකි බව හොඳීන්ම දන්නා අධ්‍යක්ෂවරයා අසාර්ථක වූ පළමු අවස්ථාව මෙය විය හැකිය. අයිස් ඒජ්2 සහ රොබෝට්ස් නිර්මාණය කළ ක්‍රිස් වෙජ් බග්ස් ලයිෆ්වලින් එහාට යාමට අසමත් වීම කනගාටුදායකය.

ඩොලර් මිලියන 93ක ඇස්තමේන්තුවක් අනුව තැනුණු එපික් බොක්ස් ඔෆීස් වාර්තා තැබීම අනෙකකි. අමෙරිකානු ඩොලර් 245,141,820ක ඉලක්කම්ගත ආදායමක් පෙන්වූ පමණින් අති සාර්ථක නොවන බොහෝ දෙනෙකුට මා කියූ තරමට අසාර්ථකත් නොවන මේ සිනමාපටය ත්‍රිමාණ සජීවීකරණ පේ‍්‍රක්ෂකයා පරීක්ෂා කිරීමට යොදා ගත්තක් වැනිය.

නැරඹීමෙන් ඒ කුකුස සංසිදවා ගනු හැකි වීම අනිවාර්යය.