වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

අද ප්‍රතිචාර තීරය වෙනස්ම වූ අදහස් රැසකින් සමන්විතය. ඒවා අතර විවේචන ද තිබේ. එමෙන්ම ඔබ ආදරය කරන කලාකරුවන්ට ද මෙමගින් සුබපැතුම් එක් කොට තිබෙනු දැකිය හැකිය. ඔබේ විවිධ වූ නැවුම් අදහස් ක්ෂණිකව 0752805047 අංකයට එවිය හැකිය. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල් පත් වෙනුවෙනි.

පුංචි තීරයේ ආදරණීය මව වී දූ දරුවන්ගේ දුකේදිත් සැපේදිත් සැම විටම තැනට සුදුසු ලෙසින් ක්‍රියා කර ප්‍රශ්න විසඳන තුර්යා හි රානිගේ චරිතය තුළින් සැමගේ සිත් බැඳ ගත් එඩිතර මව වූ රම්‍යා වනිගසේකර ඇත්තටම දක්ෂ රංගන ශිල්පිනියක බව ලොවටම පෙන්වා අවසන්.

සුසිලා පතිරාජ

උස්වැටකෙයියාව

ඔබ පෑ වික්‍රමයන් අමරණීයයි

කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ උපත ලබා එහිම හැදී වැඩී නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා නම් වූ ඔහු මෙරට කා අතරත් ජනප්‍රිය වූයේ එන්. එම්. යන අකුරු දෙකෙනි. දේශපාලන කරළියට පිවිසි ඔහු කොළඹ නගරයේ ප්‍රධාන පුරවැසියා වී දේශපාලන කරළියේ කළ වික්‍රම බොහෝයි. එම වික්‍රමයන් බොහෝ දෙනෙක් දැක හෝ අසා තිබේ.

එහෙත් ඔබ දේශපාලන කරළියට පිවිසීමට පෙර යොවුන් වියේදීම සිංහල සිනමාවේ (නිහඬ යුගයේදී) ප්‍රථම රංගන ශිල්පියාවීමේ භාග්‍ය ලැබුවේය. එම නිර්මාණය ‘රාජකීය වික්‍රමය’ නම් විය. එහෙත් මෙරට ජනතාවට නම් ඔබ රඟපෑ රාජකීය වික්‍රමය දැක ගැනීමට නම් වාසනාව උදා වූයේ නැත.

දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම සිංහල සිනමාවේ නිහඬ යුගයේදී ඔබ පෑ රාජකීය වික්‍රමය නිසාම එන්. එම්. නාමය අමරණිය ලෙස සටහන්ව ඇත.

විමල් රණසිංහ

ග්‍රෑන්ඩ්පාස්

මිත්තණියගේ වෙන්වීම දැරිය නොහැකියි

ආදරයයි කරුණාවයි සිනමාපටයෙන් කලා ලොවට පිවිසි සීතා කුමාරි ඇහැළේපොළ වත්සලා අක්කා, සැඟවුණු මැණික, ළසඳා, තරංගා ඇතුළු සිනමාපට රාශියකට රංගනයෙන් දායක වූවාය. වත්සලා අක්කා සිනමාපටයේ රංගනය උදෙසා ජනාධිපති කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ ඇය ශ්‍රියාණි අමරසේනගේ දත් කැකුළු පාලා ටෙලි සිතුවමෙන් ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වී මායා, ගිජු, නන්නාදුනන්නී ඇතුළු ටෙලි නාට්‍ය ගණනක රඟපා කලාවට අනුපමේය සේවයක් කළාය. සැම විටම මවගේ සහ මිත්තණියගේ චරිතය මනා ලෙස රංගනයේ යෙදෙමින් රසික සිත් සතන් දිනා ගැනීමට සමත් වූවාය. තමා වෙත ලැබුණු චරිතවලට මනා සාධාරණයක් ඉටු කළාය. මෙවන් කලාකාරිණියක් සදහටම වෙන්වීම දැරිය නොහැකි පාඩුවකි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

විනීතා ඇතුළු පිරිවරටම තුති!!!

දිගු නිහැඩියාවකට පසු රූපවාහිනියට ආලකමන්දාව රැගෙන එන විනීතා කරුණාරත්න ඇතුළු පිරිවරට ගෞරවාන්විත ප්‍රණාමය.

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

ජන හද දිනූ සුසන්තා

චාරුලතා ටෙලි නාට්‍යයෙන් පසු ඉතාම හොඳ ප්‍රතිචාර ලැබූ සුසන්තා චන්ද්‍රමාලි නම් වූ අපේ ජන හද දිනූ ඔබ රූපවාහිනියේ හොඳම නිළියයි.

සරත් සේනාධීර

ජාඇල

ඉඩෝරය නිමා කළ ‘වේදිකා නාට්‍ය’

මේ දිනවල තරම් හාස්‍ය රසය ගැබ් වූ වේදිකා නාට්‍ය රැල්ලක් ලාංකික වේදිකාව තුළ නොතිබෙන්නට ඇතැයි මම සිතමි. සමහර විට යුද බිය දුරු වී ප්‍රේක්ෂකයා වේදිකා නිර්මාණ කරා ඇදී ඒමට එයම හේතුවක් විය හැකියි. මේ වේදිකා නාට්‍ය අති බහුතරයකගේ නම් සාදා තිබුණේ සත්තුන්ගේ නම ඈඳමිනි.

බුද්ධිමත් ප්‍රේක්ෂකයාට දැන් අලුත් ඉරක් පායා එන බව මට හැඟේ. කලකට පසු බුද්ධික දමයන්ත අලුත් නාට්‍යයක් නිෂ්පාදනය කර ඇත. ඒ මරා දැමූ ජීවත්වන මිනිසායි. ඊළඟ නිර්මාණය රාජිත දිසානායකගේ ආදර වස්තුවයි. ඔබලා දෙදෙනාගේ නිර්මාණ මා දකින්නේ ඉඩෝර කාලය නිමවීමක් ලෙසය.

අජිත් ලක්මාල්

මීගමුව

විලි වැසුනොත් හොඳයි නේද?

රූපවාහිනිය යනු බොහෝ විට පවුලේ සැම එකට හිඳ නරඹන රසවිඳින මාධ්‍යයකි. එහෙයින් රූපවාහිනි නාලිකාවල වැඩසටහන් මෙහෙය වන කාන්තාවන්ට විලි වැහෙන ඇඳුමක් අන්දවා රූපවාහිනි කැමරා අබියසට එවන්න.

නොමිල් ජයතිස්ස

වැලිමඩ

දක්ෂයන් පිරිසක්ම එකම නාට්‍යයේ

දැන් බොහෝ ටෙලි නාට්‍යවල කැති පොලු පිස්තෝල ගත් සල්ලාලයන්, චණ්ඩින්, මිනීමරුවන්ගේ චරිතවලින් පිරිලා.

ඒ අතරින් අම්මාවරුනේ ටෙලි නාට්‍යය තරමක් හොඳ වුණත් කොස්තාගේ චරිතය පෙන්වන කාලය අඩු වූවා නම් හොඳයි. ‘තාත්තෙ අපි ආවා’ ටෙලි නාට්‍යය රසවත්. එහි මනෝරත්න ඇතුළු සියලුම ශිල්පීන්ගේ රඟපෑම් අගය කළ හැකිය. දක්ෂතා පිරුණු පිරිසක් එකම නාට්‍යයක දැක ගත හැකිවීමත් සතුටකි.

සුජාතා ගුණවර්ධන

කඩවත

එදා වගේ අද නැත්තේ ඇයි?

චිත්‍රපටයක් හෝ වේවා වෙන යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් සාර්ථක ලෙස අලෙවියට යම් මට්ටමක ප්‍රචාරයක් අත්‍යවශ්‍යමයි. එදා අසූව අනූව දශකයේ සිංහල චිත්‍රපට සඳහා අති මහත් සාර්ථක ප්‍රචාරයක් චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සිනමාහල් හිමියන් ද ගෙන යන ලදී.

එය චිත්‍රපට නරඹන්නන් සිනමා ශාලා කර ඇද ගැනීමට කදිම තෝතැන්නක් විය. අභාග්‍යයකට මෙන් අද චිත්‍රපට ප්‍රචාරය අතිශයින්ම දුර්වල තත්ත්වයකට පවතින බැවින් ඉක්මනින්ම සිනමාහල් වෙතින් චිත්‍රපට ගැල වී යයි. විශේෂයෙන්ම මෙය වඩාත්ම බලපාන්නේ ගම්බද සිනමාහල් වලටය. එදා අත් පත්‍රිකා සේම සෑම අස්සක් මුල්ලක් නෑරම සිනමා ශාලාවල තිරගත වන චිත්‍රපටය කාල වේලාව නළු නිළියන්ගේ නාමයන් රූගත දැන්වීම් අලවා තිබෙනු දැකිය හැකි විය. අද ඒ කිසිත් නැත. විශේෂයෙන්ම තම ගමේ සිනමාහලේ තිරගත වන චිත්‍රපටය කුමක්දැයි දැන ගැනීමට සිනමා ශාලාව වෙතටම යා යුතුය.

 

කරූ මන්දාවල

නාත්තන්ඩිය

ජීවන් කුමාරතුංගට

තිස් වසරක සලරුවෙ සිත්තම
පහළොස් වසරක සමාජ ගෙත්තම
කවුරුත් ඔබ ගැන දුටුවම දැක්කම
පතනෙමි සුබ ඔබ හට මැතිඳුනි උත්තම
 

දයානන්ද ද සිල්වා

හික්කඩුව

 

එස්. එම්. එස්.
 

කෝරලේ මහත්තයා ටෙලි සිතුවම ගොඩක් ලස්සනයි. එය අධ්‍යක්ෂණය කළ පද්මසිරි කොඩිකාරට තවත් එවැනි නිර්මාණ කිරීමට ධෛර්යය ලැබේවා.

පී. එන්. ඒ. නිලුකා

කුඩගම

හරූන් ලන්ත්‍රා අමරණීය ගායකයෙකි. ඔහුට දීර්ඝායුෂ වේවා.

නිමල් කුලසේකර

අඟුලාන

කලා ලොවට වටිනා ගීත රැසක් දායාද කළ චාමර වීරසිංහ ගැන වැඩිපුර කතා නොකිරීම ගැටලුවකි.

සඳුන් මධුසංඛ

බෙන්තර

නව පරපුරේ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ ‘පොලිසිය’ ගීතය සුපිරියි. රිදෙන්න ඕනෑ තැන්වලට රිදෙන්නම ගීතවලින් පිළිතුරු දෙන ඔහු මින් පෙර බිහි කළ නිර්මාණත් හුඟක් හොඳයි. ඉදිරියේදීත් නොබියව මෙවැනි ගී නිර්මාණය කොට අප වෙත තිළිණ කරන ලෙස ඉල්ලා සිටිමි.

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

අපේ මිනිසෙක්

අල්හාජ් මොහිදීන් බෙග් මෙරට බෞද්ධ ගීත සංස්කෘතියක් බිහි කළා. ඔහුට සෑම බෞද්ධයෙක්ම ගෞරව කළ යුතුයි. ඔහු කළ මෙහෙය අපමණයි. බෙග් මාස්ටර් අපේ මිනිසෙක්. අපි සදා ණය ගැති වෙමු ඔහුට.

ඉන්දික මුණසිංහ

කෙහෙල්ඇල්ල

ගුණදාස කපුගේ නැති අඩුව අපට අද තදින් දැනෙනවා.

රත්න කහදව

අලව්ව
කැකුලාවෙල

අසහාය රංග ශිල්පී විජය කුමාරණතුංග රඟපෑ වරදට දඬුවම්, ජය සිකුරු වැනි චිත්‍රපට ඩී. වී. ඩී. ගත කරන්න.

අනුලාවතී

අවිස්සාවේල්ල

සිහින සිත්තරාවි නාට්‍යය නරඹද්දී උත්පලා මධුශානි කොච්චර දක්ෂ ද කියලා හිතෙනවා.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

දයාබර ඔබ ජෝති දුර්ලභ වස්තුවකි

සිත් ගැඹුරෙහි මිහිදන් වූ සදාතනික විරහවට ස්වකීය මියුරු හඬින් ආමන්ත්‍රණය කළ ආදරය, මවු ගුණය, පිය සෙනෙහසට තම ආත්මය එක් කළ යුගයෙන් යුගයට රසික සවන්පත් සනසන සදාදරණීය ජෝති ඔබ සිරිලකට පහළ වූ දයාබර දුර්ලබ වස්තුවකි.

තවත් සහසක් කල් ඔබේ හඬ ජීවමානයි.

චතුරංග සම්පත්

තැන්නැන

හංවැල්ල

අඛිල ධනුද්ධරගේ රුව තිරයටමයි ගැළපෙන්නේ. දිගටම රඟපාන්න. සිරි පැරකුම් හි සීසාන දර්ශනය හරිම ලස්සනයි.

ජේ. ඒ. සුනිල් ශාන්ත

නාවලපිටිය

සතියේ දින පහේම ජාතික ගුවන් විදුලිය මඟින් ඉදිරිපත් කරන ‘සුභාවිත ගීතය’ ප්‍රසංගය දෑතට දෙපයට නොව රසිකයන් ආනන්දයෙන් ප්‍රඥ්ඥාව කරා ගෙන යන වැඩසටහනකි. එය මනසට භාවනාවක් වැනිය. හරසුන් සිංදු අසා මනස විකෘති කරගත් ශ්‍රාවක පිරිස් ද මෙවැනි වැසටහන් ඇසීමට යොමු වන්නේ නම් යහපතක්ම වේවි.

ඩබිලිව්. දමයන්ති කුමාරි

හොරණ

ජෝතිගේ ගීත අසන කොට ගාමිණිගේ රඟපෑම් දකින කොට අපේ ආයුෂ වැඩි වෙනවා. එම දෙපොළ නිවන් දකින්නට අද අප විඳින සතුටම ඇති.

ලක්ෂ්මන් ද සිල්වා

මෝදර

ග්‍රේෂන් ආනන්දගේ අඩුව ඔහුගේ පුත් මාරියෝට පිර විය හැකියි.

වසන්ත

පෙරියන්කුලම