ෆුට් සයිකල් පදිනවා නම් ලොරි ටෝක් මොකටද?
ෆුට් සයිකල් පදිනවා නම් ලොරි ටෝක් මොකටද?
යාය හතර එක්ක
චාමර පීරිස්
ලංකාවේ හරවත්, ගුණවත්, රසවත් මෙන්ම අර්ථවත් ටෙලි නාට්‍ය නරඹන බුද්ධිමත්
ප්‍රේක්ෂකයන් චාමර ජනරාජ් පීරිස් හොදින්ම හඳුනන්නෝ වෙති. වෙනස්ම ආරක් මෙන්ම පාරක්
ගත් ටෙලි නාට්‍ය තනමින් ලංකාවේ ප්‍රචලිත ‘තිබ්බා ගැහුවා’ ටෙලි නාට්‍ය සංස්කෘතියට
අභියෝග කළ චාමර සම්මානනීය අධ්‍යක්ෂවරයකු ද වේ.
නොවෙනස් ගති පැවතුම් සහ වෙනස් වන සිතුම් පැතුම්වලින් හෙබි චාමර මේ දිනවල තමාගේ නවතම
නිර්මාණය වෙනුවෙන් කැප වී සිටියි. අයාල්, යාය හතර, පියවි අපට තිළිණ කළ චාමර සහ
සරසවිය මෙතැන් සිට හමු වෙයි.
* අලුත් කටයුත්ත ගැන කතාබහ කරමින් ගමන අරඹමු.
ලංකාවේ මෙතෙක් තවදුරටත් වෘත්තිකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් ටෙලි නාට්‍යයක්
නිපදවලා නැහැ. නමුත් ලෝකයේ එලෙස හදපු අති සාර්ථක නිර්මාණ බොහොමයක් තිබෙනවා. උදාහරණ
විදියට වෛද්‍යවරුන් ගැන, පොලිස් නිලධාරීන් ගැන, තෙල් ආකර කම්කරුවන් ගැන ලෝකයේ
සුන්දර නිර්මාණ බිහි වුණා. නමුත් ලංකාවේ එහෙම නිර්මාණ නැහැ.
මෙවර මගේ නිර්මාණයේ තිබෙන්නේ ගුවන් තොටුපළ සේවක සේවිකාවන් ගැන කතාන්දරයක්. සිවිල්
ගුවන් සේවයේ අන්තර්ගත වෘත්තිකයන් සියලු දෙනාම පාහේ මේ කතාවේ අන්තර්ගත වෙනවා.
මේ අදහස ලංකාවට අලුත්. ඒ වගේම මෙවැනි ටෙලි නාට්‍යයක් රූගත කිරීම ඉතාමත් අපහසු
කටයුත්තක්.
* මොකද හැංගිලා වගේ මේ නිර්මාණය කරන්නේ?
එහෙම නැහැ. මේ ටෙලි නාට්‍යයේ ෂූටින් පැටන් එක හරිම වෙනස්. ඒ වගේම වෙනස්ම
ක්‍රමවේදයක් තමයි අපි රූගත කිරීම්වලට යොදා ගන්නේ. ගුවන් තොටුපළට පැමිණෙන සහ පිටවන
ජාත්‍යන්තර මඟීන් සමඟ අපි ගනුදෙනු කළ යුතුයි. මේ නාට්‍යයේ කන්ටියුනියුටි තියාගන්න
බැහැ. ඒ වගේම අපිට ඕන ඕන විදියට රූගත කරන්නත් බැහැ. ගුවන් යානයක් පිට වුණොත් පිට
වුණාම තමයි. අපේ ෂොට් එක ඕකේ නෑ කියලා ගුවන් යානය ආයේ නග්ගවන්න බැහැ. මේ වගේ කාරණා
නිසා සද්ද නැතුව තමයි කටයුතු සිදු වන්නේ.
ඒ වගේම ටෙලි නාට්‍යයක් රූගත කරනවා කියලා දැන ගත්තොත් ගුවන් මඟීන් කැමරාව දිහා
බලාගෙන ඉන්නවා. එතකොට අවශ්‍ය දේ නෙවෙයි සිදු වෙන්නේ.
ඒ නිසා අපේ කැමරා කොහේවත් පෙනෙන්නට තියලා නැහැ. ගෝප්රෝ කැමරා තාක්ෂණය වගේම ඉ ච්
මාර්ක් 3 වගේ කැමරා තමයි මේ සඳහා යොදා ගත්තේ. ඒ වගේම ඇපල් ෆෝන් හරහා ලබා ගන්නා
දර්ශන, ස්වයංක්‍රීය පාලන කැමරා, එෆ්. එම්. මයික් වගේම වයි ෆයි තාක්ෂණයත් මේ රූගත
කිරීම් සඳහා යොදාගෙන තිබෙනවා.
පැහැදිලිවම කිව්වොත් මේ සඳහා අධි තාක්ෂණික උපකරණ යොදා ගත්තා. ගුවන් තොටුපළ ඇතුළෙම
කතාවක් රූගත කරනවා කියන්නේ පහසු කටයුත්තක් නොවෙයි. ඒ නිසා හිමින් සැරේ වැඩේ පටන්
ගත්තා.
* නමක් දැම්මද?
තාම නෑ. මං නම දාන්නේ වැඩේ කරලා ඉවර වෙලා. නම් දාගෙන ලොකුවට කටවුට් ගහල, ලොකු ලොකු
නැව්වල, බෝට්ටුවල, හෝටල්වල ප්‍රෙස් කන්ෆරන්ස් තියල දඟලන උණ මට නැහැ. මං කවදත් වැඩ
පටන්ගන්නේ චාමෙට. වැඩේ කරල තමයි පෙන්වන්නේ. වැඩේ කරන්න ඉස්සෙල්ලා ටෙලි නාට්‍ය
පෙන්වන්න බෑනේ. ඒ නිසා මං ළඟ නැව් ටෝක් නැහැ. තියෙන්නේ වැඩ විතරයි. නමට වඩා මට
වටින්නේ නිර්මාණයේ ගුණාත්මක බවයි.
* දැන් මේ වැඩේට බෙල්ට් එකක් එහෙම ලැබුණද?
ඔව්. ස්වාධීන රූපවාහිනි සේවයේ නොවැම්බර් මාසයේ සිට මේ ටෙලි නාට්‍යය විකාශය වෙනවා.
* ඒ කියන්නේ මේ සැරේ ඔබත් කරන්නේ තිබ්බ ගැහුව වැඩක්නෙ?
නෑ. මේ ටෙලි නාට්‍යයේ මුල සිට අග දක්වාම සැලසුම් කර හමාරයි. ටෙලි නාට්‍යය ඉවර
වෙන්නේ කොතනින්ද කියලා මට දැන් ඇහුවත් කියන්න පුළුවන්. නමුත් යම් යම් අවස්ථානුකුලව
පිටපතේ වෙනසක් ඇති වේවි. ඒත් මේක නළුවො ඉන්න විදියට පිටපත ලියලා කරන එදා වේල
ටුවර්ස් එකක් නෙවෙයි.
* චාමර මේ වගේ වෙනස් වැඩ කරලා චරිතයක් වෙන්නද හදන්නේ?
නැහැ. ගෙදරටත් සාරිය ඇඳන් ඉන්න සුරංගනාවියො ගැන ටෙලි නාට්‍ය කරන පිරිසක් ඕනවටත් වඩා
ඉන්නවා. මමත් එතනට වැටිල ඒ ගොඩ වැඩි කරන්න වුවමනා නැහැනෙ. ඉතිං මං වෙනම පාරක් හදා
ගත්තා. පාර හරි ද කියලා මං දන්නේ නැහැ. මං යන්නේ වෙනම පාරක. ඒ ඇරෙන්න වෙන වෙනසක් මට
නැහැ. ඒ වගේම පොරක් වෙන්නත් මට වුවමනා නෑ.
හැමෝම කියන්නේ මං කරන වැඩ වෙනස් කියලා. ඒ වෙනස දැනෙන එකත් පුදුමයක්නෙ.
* ලංකාවේ සම්මාන උළෙල ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ සම්මාන උළෙවල් තියන්නේ බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරන්න මිසක් සම්මාන දෙන්න නෙවෙයි.
ඒ උළෙලවලින් ලැබෙන සම්මාන ගැන මම තෘප්තිමත් නැහැ. ඒ සම්මාන ගැන මට
විශ්වසනීයත්වයකුත් නැහැ. මේ සම්මාන උළෙලවල නිර්මාණයේ ගුණාත්මක බව මනින්න තිබෙන
මිම්ම කුමක් ද?
අනෙක තමයි ටෙලි නාට්‍යවල තිබෙන කැමරාකරණය, ශබ්ද පාලනය වගේ ඉතාමත් වැදගත්ම අංග
පිළිබඳ මහාචාර්යවරු දන්නේ නැහැ. මේවයේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ නමගිය මහාචාර්යවරුන්
මිසක් ක්ෂේත්‍රය ගැන දන්න උදවිය නෙවෙයි. මේ කතාව මං කියන්නේ සම්මානලාභියෙක් විදියට.
මටත් සම්මාන ලැබිල තියෙනවා. ඒත් යම් නිර්මාණයකට සම්මානයක් දෙන්න හේතුවක් තියෙන්න
ඕනෑ. එත් මේ විනිශ්චය මණ්ඩලවල බොහෝ දෙනා සම්මානෙ දුන්නේ ඇයි කියල දන්නේ නැහැ.
රයිගම් ටෙලි සම්මාන උළෙල නිමා වෙලා මං ප්‍රශ්න කිහිපයක්ම ඇහුවා. පැට්රික් රත්නායක
මහත්මයට ඒ ප්‍රශ්නවලට උත්තර නැති වුණා. කොයි සම්මාන උළෙලෙත් ප්‍රශ්න තියෙනවනෙ කියල
එතුමා කතාව මඟ හැරියා. මං අහන්නේ මොකක්ද සම්මාන දෙන ක්‍රමවේදය කියලයි. මට සම්මාන
වුවමනා නැහැ. දුන්නත් මං වැඩ කරනවා, නොදුන්නත් වැඩ කරනවා.
* චාමරගෙ නිර්මාණ සාර්ථකද?
ඉස්සර මගේ එෆ් බී එකේ යාළුවො හිටියේ 434 යි. දැන් 2000 ට වැඩි ගාණක් ඉන්නවා. තව
1500 විතර මං රිජෙක් කරලා තියෙනවා. එහෙම වුණේ මං ටෙලි නාට්‍ය කරන්න ගත්තට පස්සේ.
මං කැමැතිම නාට්‍ය තමයි අයාල්. පළමුවෙන් හමුවන දරුව වගේ නිසා වෙන්න ඇති ඒකට මං
එච්චර ආදරේ. පියවි කියන්නේ ඕනැම කෙනෙකුට කරන්න පුළුවන් විදිියේ කතාවක්. ඒ නිසා මං
යාය හතර ටිකක් වෙනස් කළා. මේ හතර මොනව වේවිද කියලා කියන්න බැහැ. මං හිතන්නෙ මගේ වැඩ
සාර්ථකයි කියලා.
* ඔයාගේ නාට්‍ය හැමෝම බලන්නේ නැහැනේ?
ඔව්. මං ඒක දන්නවා. මගේ නාට්‍ය හැමෝම බලන්නත් වුවමනා නැහැ. මං කතා කරන පිරිස වෙනස්.
ගෙදර කුස්සියේ පොල් ගාන ගමන්, ඇඳුම් මදින ගමන්, එළවළු කපන ගමන් ටෙලි නාට්‍ය බලන
පිරිසට මගේ නාට්‍ය වැඩක් නැහැ. එහෙම අය මගේ නාට්‍ය නොබලා ඉන්න එක තමයි හොඳ. මොකද
එහෙම බලන පිරිසට නෙවෙයි මම නාට්‍ය හදන්නේ.
ඒත් මගේ නිර්මාණ විඳින, ඒවා ගවේෂණය කරන පිරිසක් ලංකාවේ ඉන්නවා. මං එහෙම කියන්නේ ඒ
කණ්ඩායමේ ඉන්න පිරිස් මට හමුවෙලා තියෙන නිසයි. මගේ ටාගට් එක මාස් ටාකට් එක නෙවෙයි.
* ඔබ නාට්‍ය හදලා සම්මාන බලාපොරොත්තුª වෙනවා නේද?
නැහැ. කවදාවත් මං නාට්‍යයක් හදල සම්මාන බලාපොරොත්තු වෙලත් නැහැ. ඉදිරියට
බලාපොරොත්තුª වෙන්නෙත් නැහැ. නමුත් අපක්ෂපාති, දැනුමෙන් පිරි විනිසුරු මණ්ඩලයකින්
සමන්විත කලාකරුවන් නිසි ආකාර අගැයුමට ලක්වන සම්මාන උළෙලක් අපේ රටට අවශ්‍යමයි. එවැනි
සම්මාන උළෙලක අවශ්‍යතාවය අද අපට තදින්ම දැනෙනවා.
* චාමරට හොඳ මාර්කට් එකක් තියෙනවද?
ඔව්. මට චැනල්වලින් ටෙලි නාට්‍ය කරන්න කියලා ආරාධනා එනවා. එහෙම කතා කරන්නේ මට
මාර්කට් එකක් තියෙන නිසානේ.
* චාමර හොඳ සබඳතා තියෙන කෙනෙක්. හොඳ පබ්ලිසිටියක් ගන්න පුළුවන්නේ සද්ද නැතුව ඉන්නේ.
සද්ද දානවට වඩා සද්ද නැතුව හොඳ වැඩක් කරන්න තමයි මං කැමැති. බොරු ලොරි ටෝක්ස් දාලා
ෆුට් සයිකලේ යන්න මට බැහැ.
* මේ ගැම්මෙන්ම චිත්‍රපටයක් කරන්නත් පුළුවන්නේ. නමත් මාර්කට් නිසා?
ඊළඟට කරන්නේ චිත්‍රපටයක්. නම නෙමෙයි වැඩෙයි වැදගත්.
* ඉදිරිය කොහොමද?
ලොකු සැලසුම් නැහැ. මේ ටෙලි නාට්‍යය සාර්ථකව නිමා කරන්න තමයි බලාපොරොත්තුව. ඉන්
පස්සේ අලුත් කටයුත්තකට අත ගසනවා.
- චතුර
ඡායාරූපය -
ටෙනිසන් එදිරිසිංහ
|