වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්වර සිත්තම්’ සමඟ එන දර්ශනී චන්ද්‍රසේන

‘ස්වර සිත්තම්’ සමඟ එන දර්ශනී චන්ද්‍රසේන

‘ආර්. ඒ. චන්ද්‍රසේන කලායතනය’

ඒ කාලයේ හිටිය අයට ඒ නම අරුමයක් නොවෙයි. සංගීතය පිළිබඳ දැනුම බෙදා හදා දුන්න මේ අපූරු තක්සලාවට ආව ගිය අය බොහොමයි. ඒ අය අතර සංගීත ශිල්පය හදාරන අයත් බොහොම හිටියා. ‘දස බලධාරී’ ගීතය ගැයුවෙත් චන්ද්‍රසේන මාස්ටර්. චන්ද්‍රසේන මාස්ටර්ට හිටියේ දෝණියැන්දලාම දෙන්නෙක්. ඒ වගේම පුතෙක්.

ඒ දෝණියන්දලා දෙන්නගෙන් බාලයා දර්ශනී. දර්ශනී දෝණි මෙලොව එළිය දකින මොහොතෙදිත් ඈට ඇහුණේ පියානෝ හඬක්. කෑ ගසා අඬමින් හිටිය මේ පුංචි දෝණිගේ හැඩිල්ල එකපාරටම නතර වුණා. ඒ නිවෙසේ එක කොණක වැයෙන පියානෝ හඬ අහන්න වගේ. තබ්ලාවේ මියුරු හඬත්, වයලීනයේ මියුරු හඬත් නිසා ඈ කවදත් සැනසුණා. යන්තමට හය හතර තේරෙන වයසේ වුණත් ඈ තාත්තගේ කලිසමේ එල්ලුණා.

ඒ මාවත් සංගීත ඉස්කෝලෙට අරන්න යන්න කියලා වගේ. දර්ශනී නිතරම හිටියේ තාත්තගේ ඇඟේම එල්ලිලා. චන්ද්‍රසේන මාස්ටර් ගීතයකට තනුවක් දැම්මත් ඈ නෙමෙයි ළඟින් හෙල්ලුණේ. කාලය ගෙවිලා ගියා. පුංචි දෝණිත් තාත්ත වගේ පියොනෝව වාදනය කළේ පුරුදුකාරියක් වගේ. දවසක් චන්ද්‍රසේන මාස්ටර් ළඟට ආවේ ඩබ්ලිව්. ප්‍රේමරත්න. ඔහුට ඕනෑ වුණේ ඔහු කියන අලුත්ම ගීතයට සංගීතය නිර්මාණය කර ගන්න. චන්ද්‍රසේන මාස්ටර් ඒක බාර ගත්තේ ඉත සිතින්.

එදා විවේක පාඩුවේ සිටිය මොහොතේ මාස්ටර්ට ගීතය මතක් වුණා. ඔහු පියානෝවට අත තිබ්බේ බොහොම සුන්දර තනුවක් දාන්න හිතාගෙන. තාත්තගේ කටයුතු දිහාම ඇහැ ගහගෙන හිටිය දර්ශනී දෝණි තාත්තා ළඟින් වාඩි වුණා. තාත්තා දැම්ම තාලයට හරි යන අලුත් තාලයක් ඈ වාදනය කළේ, පුරුදුකාරියක් වගේ. දෝණිගේ පියානෝ වාදනයට සවන් දුන්න චන්ද්‍රසේන මාස්ටර් ගේ සතුට දෝරේ ගැලුවා. ඒ පස් හැවිරිදි වියේ ඉන්න දූ සිඟිත්තගේ දක්ෂකම දැකලා.

‘මට මතකයි එදා තාත්තගේ ඇස්වල සතුටු කඳුළු පිරුණා. ඒ විතරක් නෙමෙයි තාත්තා ඒ සංගීත ඛණ්ඩය ‘මිහිලියගේ තුනු සපුව පුරා’ කියන ගීතයට ඇතුළත් කළ බවත් මට මතකයි. එහි ඇහෙන මවුත්ඕගන් නාදය මා වාදනය කළ ඒ සංගීත කණ්ඩයයි. ඒ සියල්ල මට කළ හැකි වුණේ තාත්තගේ සංගීත දිවියෙන් මා ලැබූ ආභාසය නිසයි. අද මම යම් තැනක සිටිනවා නම් ඒ ගෞරවය හිමි විය යුත්තේ ඔහුටයි.

එදා ඒ තරම් දස්කම් දැක් වූ දෝණි, දර්ශනී චන්ද්‍රසේන අද දැනුවත් කාන්තාවක්. අතීතයේදී ප්‍රවීණ සංගීතවේදී ආර්. ඒ. චන්ද්‍රසේන නම් විශාල නුග රුක සෙවණෙහි හැදී වැඩුණු ඈ දැන් සංගීතයෙන් ලත් පරිචය ඇත්තියක්. ඒනිසා සිය පියාගෙන් ලැබූ පරිචය අද වන විට ඈ ඔහු නොසිතූ දුරකට රැගෙන ඇවිත්. බටහිර සංගීතය පිළිබඳ හසල දැනුමකට උරුමකම් කියන්නට සමත්වෙලා. ඒ සමත්කම අවසන් වුණේ කාලයක පටන් දර්ශනීගේ හිතේ තිබුණ හීනයක් හැබෑ කරන්න.

‘පෙරඅපර දෙදිග සංගීතය පිළිබඳ තුලනාත්මක පිවිසුමක් කරන්නට මම කාලයක පටන් බොහෝ මහන්සි ගත්තා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදියටයි ‘ස්වර සිත්තම්’ කෘතිය දොරට වඩින්නේ. මුලින්ම මේ කෘතිය මම රචනා කිරීමට සිතන්නේ මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහායි. ඒත් ඒක කළ නොහැකි වුණා. ඒ එවැනි මාතෘකාවක් කලින් කෙනෙකු කළ බව දැන් වූ නිසයි. කොහොම නමුත් මේ මාතෘකාව පිළිබඳ පළ වූ පොතක් සොයා ගන්නට නොහැකි වුණු නිසා මා මෙය මුද්‍රණයෙන් පළ කරන්නට තීරණය කළා. ඒ සඳහා සරසවි ප්‍රකාශන අධිපතිතුමාගෙන් මට ලැබුණු සහයෝගය මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒ මොකද කාලයක් පටන් මගේ හිතේ තිබුණු හීනයක් සැබෑ කර ගන්න සහාය වීම පිළිබඳයි’.

ඒ හීනය සැබෑ වෙන්න කාලය ළඟයි. ඒ සොඳුරු මොහොත උදාවනතුරු ඈ මේ දවස්වල ඉන්නේ ඇඟිලි ගැන ගැන.

‘ඒ සොඳුරු දවස උදා වෙන්නේ මේ මාසයේ 27 වැනිදා අඟහරුවාදා සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. ඒ පැවැත්වෙන පොත දොරට වැඩීම සිද්ධ වෙන්නේ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන්. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, ආචාර්ය රෝහණ වීරසිංහයන් සමඟ විශාරද නන්දා මාලිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උළෙලට ගායන වගේම වාදන නර්තන අංග රැසකින්ම සමන්විතයි. ගායන හා වාදනයේදී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ, හර්ෂදේව ආරියසිංහ සහ ආර්. ඒ. චන්ද්‍රසේන කලායතනයේ සිසු සිසුවියන් සමඟ මමත් සම්බන්ධ වෙනවා.

නර්තන නිර්මාණයෙන් සහභාගි වෙන්නේ ප්‍රාසංගික කලාවේදී ධනංජය බණ්ඩාරයි. සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ වගේම ලේඛක සේපාල් අමරසිංහ යන දෙදෙනාගේ විශේෂ දෙසුම් දෙකක් ද පැවැත්වීමට නියමිතයි. ලාල් ආනන්ද ද අබේධීර ගේ කථනය උළෙල සුන්දර හෝරා කිහිපයක් කරා ඔබව රැගෙන යාවි. ඒත් සමඟම කිවයුතු තවත් විශේෂ යමක් මගේ හිතේ තිබෙනවා. ඒ උළෙල පැවැත්වෙන දවස ගැනයි. ඒ දිනය යෙදිලා තියෙන්නේ තාත්තගේ උපන් දිනය දවසෙයි. ඒ දිනයටම අපට හෝල් එක ලැබුණත්, තාත්තගේ උපන් දිනය එදා නේද කියලා මට මතකයට නැංගුණේ පසුවයි. බොහොම අහම්බයෙන් සිදුවුණු ඒ සිදුවීමත් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මේ උළෙලට සහභාගිවෙන්න මම හැමෝටම ආරාධනා කරනවා.

දර්ශනීගේ සිත සතුටින් පිරිලා. ඒ සතුට අතර ඈ නැවතත් අතීතයට පිවිසියා. ඒ තාත්ත හිටිය කාලයට. දක්ෂ දරුවෙක් වුණු දර්ශනීට පාසලේ ඉගෙන ගන්න වුණේ පෙරදිග සංගීතය. ඈට පෙරදිග සංගීතය වහකඳුරු වගේ වෙන්න වැඩි කාලයක් ගතවුණේ නෑ. ඒ ගුරුවරුන්ගෙන් ලැබුණු අදහස් නිසා. කොහොම වුණත් අවසානයට සිද්ධ වුණේ ඇගේ සිත අපරදිග සංගීතයට යොමුවුණු එකයි.

‘පාසලේ ගුරුවරුන් දැරූ විවිධ අදහස් නිසා මගේ සිත බටහිර සංගීතය පැත්තට අඳිලා ගියා. බටහිර සංගීතය මට අමුතු දෙයක් නොවුණත් ඒ ගැන තිබුණු අවධානය වැඩිවීම නිසාම දිගින් දිගටම මම බටහිර සංගීතය ඉගෙන ගත්තා. ඒ කාලයේ මගේ හිතේ විභාගවලට ඒතරම්ම වැඩි කැමැත්තක් තිබුණේ නෑ. ඒත් ඒ සඳහා උනන්දුවක් ඇති වුණේ තාත්තා නිසාමයි.

තාත්තා ඒ කාලයේ කිව්ව යමක් මගේ හිතේ ගැඹුරේම තැන්පත් වුණා. ‘පුතේ ඔයාට කොයි තරම් දක්ෂකම් තිබුණක් වැඩක් නෑ, ඒකට සහතිතයක් නැත්නම්. ඒක නිසා ඒ ගැනත් ඔයා හිතන්න ඕන’ කියලා කිව්ව සිතුවිල්ල නිසයි මගේ සිත ඒ පැත්තට යොමුවුණේ.

මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නට හැකි වුණෙත් ඒ නිසයි. අපි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන කාලේ බටහිර සංගීතය විෂයයක් විදියට විශ්වවිද්‍යාලයේ ඇතුළේ ඉගැන්වූවේ නෑ. ඒ නිසා මට සංගීතය විෂයය විදියට හැදෑරුවේ පෙරදිග සංගීතයයි. ඒත් අද දරුවන්ට ඒ පහසුකම් සියල්ල හිමි වෙලා. මේ වෙනකොට බටහිර සංගීතය කියන විෂයය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පමණක් නොවෙයි පාසල් අධ්‍යාපනයටත් ඇතුළත් කරලා. ඒක හොඳ පිවිසුමක්.’’

ජීවිතය ගැන කප්පරක් බලාපොරොත්තු රැඳුණු ඇගේ සිතට සතුට අහිමි වෙන්නේ නොසිතූ විදියට. ඇගේ ජීවිතයට සෙවණ දුන්න විශාල නුග රුක ඉදිරී බිම වැටෙන්නේ මේ අතරතුරදී. සමනලියක් වගේ හිටිය දර්ශනීගේ ජීවිතයට පැවරෙන්නේ වගකීම් රාශියක්. විසි හැවිරිදි වියේ සිටිය ඈ අම්මාත් සමඟ ඒ වගකීමට උර දෙන්නේ දිරිය දියණියක් වගේ.

ආර්. ඒ’ චන්ද්‍රසේන කලායතනය කියන්නේ දිගුකාලීන පැවැත්මක්. ඒ පැවැත්මේදී බිහිවුණු බොහෝ දුව දරුවන් අද සිටින්නේ ඉහළ ස්ථානයක. ඒ ඉතිහාසය පිළිබඳ අපූරු කතාවක් දර්ශනීගේ මුවඟ රැඳුණේ ඉබේමයි.

‘මේ වනවිට ලංකාවේ ඉහළ නමක් දිනාගෙන සිටි ප්‍රේමසිරි කේමදාසයන් පවා වසර කිහිපයක් යනතුරුම ඉගෙන ගත්තේ තාත්තගෙන්. ඔහු මට මතක විදියට වසර හතකටත් වඩා වැඩි කාලයක් තාත්ත ළඟ හිටියා. තාත්තා ඔහුට සැලකුවේ දරුවෙකුට වගේ. ඔහු කලායතනයට ඇතුළු වුණු අයැදුම් පත්‍රය පවා තවමත් අපි ළඟ තිබෙනවා. ඒ වගේ විශාල වටිනා මිනිසුන් බිහි කළ ආයතනයක් තමයි මේ සංගීත කලායතනය.’

දර්ශනී කිව්වේ සිය කලායතනයේ මතකය අතරින් සිය සිත මුදා ගන්නා ගමන්.