|
|
50 ස්වර්ණ ජයන්තිය අබිමුවදඩුවම් මාරුවෙන් සරසවිය මුල් පිටුවටකලක් සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස (93 වසරේ සිට 2000 වසර දක්වා) කටයුතු කළේ ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය. කලා විචාරකයකු, ලේඛකයකු ලෙස කෘතහස්ත නමක් දිනූ කුරුවිට බණ්ඩාරයන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශකවරයකු ලෙස වර්තමානයේ කටයුතු කරයි.
එවක ප්‍රවීණ චිත්‍රපට විචාරකයකු වූ දිනමිණේ ජයවිලාල් විලේගොඩයන්ගේ චිත්‍රපට විචාර මම බොහොම ආශාවෙන් කියවූවෙමි. කරුණාසේන ජයලත් සිනමාව පිළිබඳ ලියූ ලිපි ද මම බොහොම ආශාවෙන් කියවූවෙමි. සාහිත්‍ය සංගමයේ කලාත්මක සිනමාව පිළිබඳ දේශන පැවැත්වීමට යම් අය තෝරා ගැනීමේදී මා ප්‍රවීණ සිනමා විචාරක රෙජී රණසිංහයන්ට ඒ සඳහා ආරාධනා කළ අවස්ථා විය. සාහිත්‍ය රසාස්වාදය ප්‍රිය කළ මා තුළ එයට නොදෙවැනි කැමැත්තක් සිනමාව කෙරෙහිද ඇති කරන්නට විය. චිත්‍රපට නැරැඹීමට තිබූ කැමැත්ත ද එසේම විය. මමත් මල්ලිත් (මහාචාර්ය සුනිල් ආරියරත්න) පුදුම ආශාවක් දැක්වූයේ චිත්‍රපට නැරැඹීමටය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, හින්දි කියා අපට භේදයක් නොවීය. නුගේගොඩ ක්වින්ලන්, මෙට්රෝ සිනමා ශාලාවලට එන ඕනෑම චිත්‍රපටයක් අතනොහැර බැලීමට අපි දෙදෙනා පුරුදුව සිටියෙමු. තාත්තාගෙන් මේ සඳහා කැමැත්තක් නොලැබුණ ද අම්මාගෙන් සහයෝගයක් ලැබිණි. රාත්‍රී කාලය චිත‍්‍රපට නැරැඹීමට යොදා ගෙන තිබුණේ තාත්තාට නොදැන මේ කාර්ය කිරීම සඳහාය. උදේ පාසල් යන අපි සවස හයේ සිට ගෙදර සාලයේ මේසයට වී පාඩම් කරනවා දැකීම තාත්තාට අවශ්‍ය විය. රාත්‍රී නමය පමණ වන විට තාත්තා නින්දට යාමත් සමඟ මමත් මල්ලිත් කරනුයේ රාත්‍රී නමයයි තිහ දර්ශනය සඳහා ගෙදරින් යාමය. ග්‍රිල් නොගැසූ ජනේලයක් අම්මාගේ අනුදැනුම මත අඩවල් කර තිබීමෙන් අපි චිත්‍රපටය ඉවර වී මධ්‍යම රාත්‍රියේ නිවසට ඇතුළු වනුයේ මේ ජනේලයෙනි. පාසල් අවධියේම සිනමාව පිළිබඳ ඇල්මක් තිබූ බැවින් මිනිසා හා කපුටා කෙටි චිත්‍රපටය පැමිණීමත් සමඟ මගේ සිත ඇදී ගියේ කෙටි චිත්‍රපට වෙතටය. විටෙක අප තානාපති කාර්යාලයන්ගේ උපකාරයෙන් විවිධ චිත්‍රපට ද පාසලට ගෙන්වනු ලැඹීය . එකල ලෝකයේ වෙනත් රටවල ද චිත්‍රපට රැල්ලක් ගොඩ නැගෙන අවධියක් විය. එය විශිෂ්ට සිනමා කෘති බිහිවන වකවානුවක් විය. ප්‍රංශ, ඉන්දියානු, අමෙරිකානු, පෝලන්ත, චෙකොස්ලෝවෙකියානු චිත්‍රපට උත්සවයන් නිතර ඇතිවන ප්‍රවණතාවක් තුළ මා හට රෝමියෝ ජුලියට් ඇන්ඩ් ඩාක්්නස් චිත්‍රපටය නැරැඹීමට අවකාශ ලැබිණි. ඒ සමඟ මට කෙටි චිත්‍රපට උළෙලක් කිරීමේ ආශාවක් සිත තුළ ඇති වූයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මා චෙයාස්, වටිකල් ලයින්ස් ආදී චිත්‍රපට එකතුවක් රැගත් කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කළෙමි. මේ නිසාම කෙටි චිත්‍රපටයක් කිරීමේ දැඩි ආශාවක් ද මා සිත තුළ මෝදු වන්නට විය. ඒ සඳහා අවශ්‍ය පිටපත පවා මා අතින් නිර්මාණය විය. පුංචි අවධියේ සිනමාවට තිබූ ලැදියාව නිසාම මා සිනමාවට සම්බන්ධ පොත පත කියවීමට ද රුචි විය. ඒ නිසාම මම සරසවිය පත්තරයේ ආරම්භක පාඨකයෙක් වූයෙමි. කවි, මැහුම් ගෙතුම්, ජ්‍යෝතිෂය, ළමා පුවත්, සිනමාව, නාට්‍ය ආදී නොයෙක් විශේෂාංගයන්ගෙන් එකතු වූ මුල් සරසවිය වසර තුන හතරකට පසු ඒවායින් බැහැරව සිනමා පත්තරයක් බවට පත් විය. සරසවිය ආරම්භයට පෙර ජාතික මට්ටමේ සිනමා පත්තරයක් ලෙස තිබුණේ විසිතුරය. එය ඒ වන විට සිනමාව පිළිබඳ ලොකු ප්‍රබෝධයක් ඇති කර තිබුණි. විසිතුර ජනප්‍රිය සිනමාව හා කලාත්මක සිනමාව සඳහා යෝධ පියවරක් ඉදිරියට තබා තිබුණි. සිරිල් බී. පෙරේරා, පියල් සෝමරත්න, තිස්ස අබේසේකර, විපුල ධර්මවර්ධන, සුගතපාල ද සිල්වා, ඩී. බී. සුරනිමල ආදීන් ඒ හරහා සුවිශාල කාර්යභාරයක් දේශීය සිනමාව වෙනුවෙන් කරමින් තිබුණි. පසුකාලීනව සරසවිය පැමිණීමත් සමඟ ඒ ජාතික කාර්ය පෙරටත් වඩා යෝධ පියවරක් ඉදිරියට තබමින් දේශීය සිනමාව නගා සිටුවීමට යෝධ හස්තයක් බවට පත් විය. දේශීය සිනමාවේ හොඳ පදනමක් ඇති කිරීම සඳහා සරසවිය හොඳ අත්වැලක් එකතු කරනුයේ සරසවිය සම්මාන උළෙල පටන් ගැනීමත් සමඟය. සිනමාවේ උන්නතිය උදෙසා සම්මාන පිදීමක් ඇරැඹියේ සරසවිය සම්මාන උළෙල හරහාය. උසස් සිනමා නිර්මාණ බිහිවන අවධියක සරසවිය පුවත්පත ජාතික කර්තව්‍යයකට උර දෙනුයේ අපේම කියා හොඳ සිනමා නිර්මාණ බිහි කිරීමට හොඳ අත්තිවාරමක්ද එක් කරමිණි. නළු නිළියන්ට, කාර්මික ශිල්පීන්ට, චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ මත ඉදිරිපත් කරන්න, සිනමා රසිකයන් අතර සබඳතා ගොඩ නගන්න, ප්‍රේක්ෂක ආකර්ෂණය සිනමා තරු වෙත ගෙන යන්න සරසවිය එවක අත්වැලක් විය.
හැටේ දශකයේ මම පත්‍ර කලාවට පැමිණියෙමි. ඒ වන විට මා තුළින් සිනමා කලාවට තිබූ ලැදියාව වියැකී ගොස් තිබුණේ නැත. දිනමිණ පත්තරයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතුª කිරීම මට මුලින් පැවරුණි. එහි සිට අනෙකුත් පත්තර වූ සරසවිය, සිළුමිණ, ජනතා සඳහා මා ලිපි ලියනු ලැබීය. වැඩි වශයෙන් මා එවැන්නකට ලියනු ලැබුවේ සිනමාව පිළිබඳ ලිපිය. මා සරසවියට ලියන්නට පටන් ගත්තේ ග්‍රැන්විල් සිල්වා සරසවිය මුල් පුටුව හොබවන අවස්ථාවේදීය. සරසවියේ කර්තෘවරයා වශයෙන් ඔහු මට සරසවියට ලියන්නට අවස්ථාවක් ලබා දෙනු ලැබීය. ඒ අවදියේ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටය තිරගත වන අවදිය විය. ග්‍රැන්විල් එම චිත්‍රපටය පිළිබඳ විවිධ අයගේ මත විමසුමක් සරසවියට ලියා දෙන ලෙස මා හට පැවරුවේය. මා දිනමිණ පත්තරයේ වැඩ කරන අතරේ ලියන ලද එම ලිපිය මගේ මුල්ම සරසවිය ලිපිය විය. ඒ කාලයේ පැමිණි විශේෂ චිත්‍රපට පහක් පමණ පිළිබඳ මම මේ ආකාරයේ මත විමසුමක් සරසවියට ලිව්වෙමි. එය සරසවියේ මැද පිටුවේ පළ කෙරිණි. සිළුමිණට හා ජනතා පත්තරයට ද මම ලිපි ලීව්වෙමි. ජනතා පත්තරයේ කලා පිටුව භාරව තිබුණේ සොලමන් රණසිංහයන්ටය. ඔහුගෙන් මට නළු නිළියන් ගැන ලියන්නට උදව් උපකාර ලබිණි. 93 වසරේ සිළුමිණ ප්‍රධාන කර්තෘ ධුරයට මා ගිය පසු ශාස්ත්‍රීය සංග්‍රහය අතිරේකයට පවා මා සිනමාව සම්බන්ධ කර ගත්තෙමි. බාහිර ලේඛකයෙක් ලෙසින් සරසවියට ලිපි ලියූ මට 1994 දී සිළුමිණ මුල් පුටුව අහිමිවීමත් සමඟ පරිපාලනමය තීරණයක් මත මට හිමි කර දෙනුයේ සරසවිය මුල් පුටුවයි. මට සිද්ධ කළ මෙය සමහරු දඬුවම් මාරුවක් ලෙස සැලකුව ද, මට හරියට ඉබ්බා දියේ දැම්මා වගේ විය. මගේ දෛවයේ තිබූ පෙර පිනකට මාව සිළුමිණ මුල් පුටුවෙන් තල්ලු වී ආවේ සරසවිය මුල් පුටුවටය. ජනප්‍රිය සිනමාව, කලාත්මක සිනමාව දෙපැත්තක තියාගෙන යාම දුෂ්කර බව මට හැඟී ගියෙන් එම භාරධූර කාර්ය මා සැලසුම් කළේ සිනමා කර්මාන්තය, නළු නිළියන්, ප්‍රේක්ෂකයන්, විචාරකයන්, පුවත්පතේ පැවැත්ම ආදිය ඉලක්ක කොට ගෙනය. එතෙක් සරසවියේ කවරය මුද්‍රණය වූයේ සාමාන්‍ය කවරයක කඩදාසියකිනි. නළු නිළියන් පිළිබඳ පළ වන මෙවැනි පුවත්පතක් ආකර්ශනය අතින් ඉහළ මට්ටමක තිබිය යුතු බව මගේ හැඟීම විය. ඒ අනුව මා පාලන අධිකාරියට සරසවිය පත්තරයේ කවරය ඔප කඩදාසියෙන් මුද්‍රණය කළ යුතු යැයි යෝජනා කෙරිණි. ඒ සඳහා මට අවසර ලැබිණ. මගේ කර්තෘත්වයෙන් සරසවිය කවරය ඔප කඩදාසිියෙන් හැඩ වෙන්නට පටන් ගත්තේය.
ඉතිරි කොටස ලබන සතියේ
|



සිනමාව පිළිබඳ මා තුළ
කැමැත්තක් ඇතිව තිබුණේ මා
නුගේගොඩ ශාන්ත
ජෝන්ස් විද්‍යාලයේ
ඉගෙනුම ලබන අවධියේ
පටන්ය. සාහිත්‍ය විෂය සඳහා
පළමු තැනත් උප විෂය සඳහා
සිනමාවත් මම විෂය කොට ගෙන තිබුණි.
විද්‍යාලයේ සාහිත්‍ය සංගමයේ ක්‍රියාකාරී
සාමාජිකයකු වූ මම සාහිත්‍ය සංගමයේ
නිර්මාණයක් වූ සංස්කෘතික සඟරාව තුළින්
කලාත්මක සිනමාවක් පිළිබඳ නිතර ලිපි පළ
කළෙමි.
එදා සරසවියේ තමන්ගේ පින්තූරයක් පළවනවා කියන්නේ නළු නිළියන්ට තම ජීවිතයේ භෞතීස්ම
ලැබීමක් හා සමාන විය. තරු සංකල්පය ප්‍රේක්ෂකයන් තුළ අරටු බැස තිබූ අවධියක නළු
නිළියන්ට සේම ප්‍රේක්ෂකයන්ටත් ඔවුනොවුන් අතර අදහස් හුවමාරුවට සරසවිය පාලමක් විය.