වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

අධ්‍යක්‍ෂ රෝයි ද සිල්වා මහතා වඩාත් දක්‍ෂතාවක් පෙන්වා ඇත්තේ රංගනයෙන් ද, නැතහොත් අධ්‍යක්‍ෂණයෙන් ද?

ගිල්බට් පෙරේරා - හෝකන්දර.

මේ කාරණා දෙකෙන්ම ගිල්බට්. ඒ වගේම මේ කාරණා දෙකෙන්ම තවත් දක්‍ෂතා පළකරන්නට ඉඩ තිබුණා.

වේවා ඔබ මගෙ සුදු අයියා, හැම දිනකම යන ගීතය ගායනා කරන ලද්දේ කවුද?

රංජනී රණසිංහ – උතුරු හෝකන්දර.

ඩී. ඩී. ඩැනී සමඟ චන්ද්‍රා කබ්රාල් ද සිල්වා.

සුනිල් අරණ වීරසිරි ගේ ‘වීර්යා’ චිත්‍රපටයේ වැඩ අතරමග නතර වූවාද? එහි ඇන්ටන් ජූඩ් කලාකරුවා වෙනුවට වෙනත් කෙනෙක් ආදේශ කළා ද?

සුදත් නිශාන්ත – මීගමුව.

වීර්යා චිත්‍රපටයේ වැඩ නිමයි. ඇන්ටන් ජූඩ් කලාකරුවා වෙනුවට කවුරුත්ම ආදේශ කළේ නැහැ.

ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම වියදම් සහ වැඩිම ආදායම් යන වාර්තා දෙකම පිහිට වූ චිත්‍රපටය කුමක්ද? එහි අධ්‍යක්‍ෂවරයා කවුද?

එම්. ෆෙ‍්‍රඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ල.

වැඩිම වියදම් සහ ආදායම් දරා නිපද වූ චිත්‍රපටය වන්නේ අවතාර් චිත්‍රපටයයි. එය ඩොලර් මිලියන 23 ක් වියදම් කොට ඩොලර් බිලියන 27 ක් උපයා තිබෙනවා. එහි අධ්‍යක්‍ෂවරයා වන්නේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ ජේම්ස් කැමරොන්ය.

ලංකාවේ සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළ මුල්ම කතානාද විදේශ චිත්‍රපටය කුමක්ද?

රෝහිණී දයාරත්න - හොරගස්මුල්ල, දිවුලපිටිය.

’බිල්වා මංගල් ’ නම් හින්දි චිත්‍රපටය.

චායා මායා සිංහල චිත්‍රපටය, හින්දි චිත්‍රපටයක කොපියක් ද?

යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය.

ඔව්, එය ‘චාල් බාස් ’ නම් හින්දි චිත්‍රපටයේ අනුකරණයක්.

කඳුළු සලන්නේ නැති සිංහල චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය තිබේද?

ඒ. කරුණාදාස - යාලගම, ඉඳුරුව.

එහෙම ඒවා නැහැ. ඒවායේ කඳුළු සලන්නේ නැතිනම් අපිට හරි ඇඬෙනවා.

මල් දෙණියේ සිමියොන් චිත්‍රපටය නැවත නැරඹිය නොහැකි ද?

ලක්‍ෂමන් ලියනගේ – මතුගම.

පුළුවන්. මේ ළඟදිත් රූපවාහිනියේ පෙන්නුවා.

ජනප්‍රිය හින්දි ගායිකා අල්කා යාග්නික් ගේ ලිපිනය සඳහන් කරන්න.

අංජලී වික්‍රමසිංහ – මහනුවර.

ALKA YAGNIK,
34, AKANANDA, APARTMENT,
10, GULMOHAR, CROSS RD,
JVPD SKIM, MUMBAI – 40049.

ඔබ පසුගිය කලාපයක සඳහන්කර තිබුණා ‘අඩුක්ක වීටු පෙන් ’ නම් ද්‍රවිඩ සිතුවම් පටය ඇසුරෙන් නිපද වූ ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටය ද්‍රවිඩ සිතුවම් පටය අහළකින්වත් තබන්න බැරි බව. ඔබ ඉන් අදහස් කළේ කුමක්ද?

කරු මන්දාවල – නාත්තන්ඩිය.

අල්ලපු ගෙදර එහි ආභාෂය ලැබූ අනෙකුත් නිර්මාණවලට වඩා ආකර්ෂණීය හා නිර්මාණාත්මක අතින් ඉහළ බව.

මර්වින් ජයතුංග, බී. එස්. පෙරේරා, ඇන්තනී සී, දොන් සිරිසේන වැනි කලා කරුවන්ගෙන් අද ජීවමානව සිටින්නේ කවුද?

චතුරංග - තුන්තාන.

අද ඒ කවුරුත් නැහැ චතුරංග.

අප රටේ ඇතිවන මත්ද්‍රව්‍ය ප්‍රශ්නවල දී නිළියන්ගේ නම් පමණක් ගෑවෙන්නේ ඇයි.

චන්ද්‍රසිරි මානවඩු - අම්බලන්ගොඩ.

නළුවන්ගේ නම්වලට ඩෝප් වෙන්නේ නැති නිසා.

ඔබ ලෝකයේ දීර්ඝතම චිත්‍රපටය වූ හයිමාට් ගැන පසුගිය සතියක විස්තරයක් පළ කර තිබුණා. ඒ පිළිිබඳ මට ඇති වූ පැනය නම් මෙම ජර්මන් චිත්‍රපටයේ පැය ගණන එක දිගටම තිරගත වුණා ද යන්නයි.

අජිත් ලක්මාල් - මීගමුව

එය සිනමාශාලාවල තිරගත වූයේ පැය 16 ක සංස්කරණයකින්.

ටෙලිවිෂන්වල නම් පැය 54 ම විකාශය වූවා.

පූජා උමාශංකර්ගේ අලුත් විස්තර දැනගන්න ප්‍රළුවන් ද? ඇයගේ කලා කටයුතුවලට සුබ පතමි.

නිලූ ප්‍රියාද් රගීන් – හම්බන්තොට.

ඇය මේ දිනවල ‘මිරේජ්’ ඉංගී‍්‍රසි කෙටි චිත්‍රපටයේ රඟපාන බව ආරංචියි. පසුගිය දා ඇගේ මිත්තනිය ද මිය ගියා.

ගොපලු චිත්‍රපටවල රඟපෑ බර්ටි ලැන්කැස්ටර් දැන් කෝ?

ඩී. ඩී. කුලතුංග - පූගොඩ.

ඔහු 1994 ඔක්තෝබර් 20 දින ජීවිතයෙන් සමුගත්තා.

අපේ අල්හාජ් මොහිදීන් බෙග් ගායන ශිල්පියා ඉන්දියානු ගායිකා ලතා මංගේෂ්කාර් සමඟ ගැයූ ගීතය කුමක්ද?

එඩ්වඩ් –

’ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමී’ ගීතය. ඔහු එය සැඩ සුළං චිත්‍රපටයට ගැයුවේ.