වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්වයාත්‍රා සමඟ යළි එන හේමපාල ගොඩගේ

විශ්වයාත්‍රා සමඟ යළි එන හේමපාල ගොඩගේ

කලක් ගාල්ල දිස්ත්‍රික්කයේ බයිසිකල් ධාවන ශූරයා මෙන්ම අත් පන්දු, ජවන හා පිටිය ධාවන ශූරයා ලෙස කිරුළ පැලැන්දූ හේමපාල ගොඩගේ ශූරීන්ගේ ජනප්‍රියත්වය කලාව දෙසට යොමු කර වූයේ ආශා පීරිස්ය. ඒ, ආශා පීරිස් නිර්මාණය කළ ‘රන් හිය දෝතට’ වේදිකා නාට්‍යයේ ගෝඨාභය නමැති භූමිකාව හරහායි.

එහිදී දැක් වූ විශිෂ්ට රංගන කුසලතාව නිසා 1970 වර්ෂයේදී හොඳම නළුවාට හිමි සම්මානය ද ඔහුට දිනා ගැනීමට හැකි විය. එතැන් සිිට ක්‍රීඩාවට අමතරව කලා කටයුතුවලට හිත යොමු කළ ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ජයසේකර අපොන්සු හමුවී එඩ්වින් පීරිස් රචනා කළ ‘නිරුවත සහ කළු කුමාරයා’ වේදිකා නාට්‍යය නිෂ්පාදනයට දායකත්වය ලබාදීමට අවස්ථාවක් උදාකර ගන්නා ලදී. මෙම නාට්‍යයේදී හේමපාල ගොඩගේ ශූරීන්ට අමතරව රංජිත් සුරංග, ආනන්ද වික්‍රමගේ, ජයසේකර අපොන්සු, ශ්‍රියානි ෆොන්සේකා යන නළු නිළියන් ද රංගනයෙන් දායක විය.

එම නාට්‍යය පසු කාලයේදී ගාලු දිස්ත්‍රික්කයේ පමණක් ‘වල්මත් වූවෝ’ ලෙසින් නැවතත් වේදිකා ගත කළ අතර මැණිකේ අත්තනායක ද ඊට රංගනයෙන් දායක විය. මෙම නාට්‍යය සඳහා දීපව්‍යාප්ත කෙටි නාට්‍ය තරගයෙන් ‘වල්මත් වූවෝ’ රඟපෑම වෙනුවෙන් ද හොඳම නළුවාට හිමි සම්මානය හේමපාල ශූරීන්ට හිමි විය.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිස එහිදී ගොඩ නැගුණු නම ඔස්සේ වෙනත් ක්ෂේත්‍ර තුළට පිය නැගුව ද වේදිකාවට තිබූ දැඩි කැමැත්ත නිසාම දිගින් දිගටම ඒ සඳහා වෙහෙස වී කටයුතුª කරන ලදී. ඒ අනුව 1984 වසරේදී සංචාරක ව්‍යාපාරය තුළින් බිඳ වැටුණු ධීවර කර්මාන්තය, තරුණ

පරපුර මත්ද්‍රව්‍යයට ගොදුරුවීමේ ව්‍යසනය පිළිබඳ බුද්ධිමත් විග්‍රහයක යෙදීමේ අරමුණ ඇතිව ‘වියරුව’ වේදිකා නාට්‍යය වේදිකා ගත කෙරුණා. එය දර්ශන වාර 80 ක් දක්වා වේදිකා ගත කළ අතර රංගනයෙන් නිල්මිණි තෙන්නකෝන්, සනෝජා බිබිලේ, ඇන්ජලා සෙනෙවිරත්න, දෙනවක හාමිනේ, ලිලියන් එදිරිසිංහ, පර්ල් වාසුදේවි, රත්නා සුමනපාල, ප්‍රශාන්ති ප්‍රනාන්දු, සුනේත්‍රා දිසානායක, මර්වින් ජයතුංග, රන්ජන් ගයිනර්, යනාදී නළු නිළියෝ විශාල සංඛ්‍යාවක් දායක විය. තවද එහි අධ්‍යක්ෂණය, නිෂ්පාදනයට අමතරව රංගනයෙන් ද හේමපාල ගොඩගේ ශූරීන් ඊට දායකත්වයක් දැක්වීය.

ඊට අමතරව තිලක් වේහැල්ලගේ ‘කතරගම රූමතිය, විලියම් පාවුලුවගේ ‘සුදු කාක්කෝ’, සොමී රත්නායකගේ ‘රන් සලකුණ’ යන නාට්‍යවලට රංගනයෙන් දායක වූ ඔහු පරාක්‍රම නිරිඇල්ලගේ ගැලීලියෝ නාට්‍යයේ පුහුණුවීම් කළ නමුත් නාට්‍යය ප්‍රදර්ශනය අවස්ථාවේදී එයින් ඉවත් කරතිබිණි. පසුව භීෂණය ගිනි අවියට එරෙහිව පාතාල ලෝකය සහ මැර දේශපාලනය පිළිබඳ පිළිබිඹු කරන ‘වවුලා’ නාට්‍යය නිෂ්පාදනය විය.

කෙසේ වෙතත් කාලය වේගයෙන් ගෙවී ගිය ද ජීවිතය හා සමාන වේදිකාව අමතක කළ නොහැකි නිසා 2003 ලෝක නාට්‍ය දිනය සැමරීම වෙනුවෙන් ඇරැඹූ ශ්‍රී ලාංකීය නාට්‍යවේදීන්ගේ මධ්‍යම සංසදයේ සභාපති ලෙස කටයුතුª කළ අතර නාට්‍ය කලාව, වේශ නිරූපණය හා රංග භූමි අලංකරණය යන ක්ෂේත්‍ර තුනේම විශිෂ්ටයෙක් ද විය. මේ නිසාම 2011 වසරේදී හේමපාල ගොඩගේ කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ දිනවල රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කිරීම සඳහා ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වන විශ්ව යාත්‍රා වේදිකා ගත කිරීමට නියමිතයි. එහි විශේෂ දර්ශනයක් මේ මස 14 වන දින සවස 2.30 ට සහ 6.30 ට ඇල්පිටිය කුරුඳුගහ හැතැප්ම ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලීය රංග ශාලාවේදී වේදිකාගත කිරීමට නියමිතය. මේ සඳහා පාදක වී ඇත්තේ අප රට තුළ දශක තුනක කාලයක් පුරා පැවති කුරිරු යුද්ධයේ අදෘශ්‍යමාන පැතිකඩ විදහාපෑමයි. විකල්ප නාට්‍යයක් ලෙස සාම්ප්‍රදායික ආලෝක රටාවන්ගෙන් බැහැරව විකල්ප ආලෝක රටාවන් ද භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙහිදී රංගනයෙන් දායකවීමේ අවස්ථාව ප්‍රාදේශිය කලාකරුවන්ට ද හිමි වීම විශේෂිතයි.

තවද නාට්‍යය නිර්මාණයෙන් හේමපාල ගොඩගේ, රත්නශීලා පෙරේරා, එෂාන් මධුරංග, බුද්ධික බෝධිනායක, චන්දිමා සුදර්ශනී, විමුක්ති ගයාන් ඇතුළු රංගන ශිල්පීන් 20 කට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙති. ඒ අතර භාග්‍යා නෙළුම් ප්‍රියදර්ශනී, සරත් පත්මසිරි, ලක්ෂිත හේෂාන්, රදික ස්වර්ණමාලි, ශෂිනි සුලෝචනා, රොෂානි තනෝජා යන අය ද වේ. විශ්ව යාත්‍රා නාට්‍යය නිර්මාණයට සංගීතයෙන් විලී පාවුලුවගේ, ඇන්ටන් පාවුලුගේ, සුපුන් මාධව ද, ආලෝකකරණයෙන් රවීන්ද්‍ර කුමාර ද, ඉදිරිපත් කිරීම රෙජී මහිමදාස ද, සංවිධායක ලෙස පී. ඒ. සමරපාල ද දායක වන අතර රචනය, අධ්‍යක්ෂණය, රංග වස්ත්‍රාභරණ, වේදිකා පසුතල, අංග රචනය, හේමපාල ගොඩගේ විසිනි.