වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ කාලේ හීනයක් වුණේ රූපවාහිනියක් ගන්න එකඒ කාලේ හීනයක් වුණේ රූපවාහිනියක් ගන්න එක

ඒ කාලේ හීනයක් වුණේ රූපවාහිනියක් ගන්න එක

සුරම්‍ය රාත්‍රිය ගෙනෙන හිතවත් රසවතාගේ සංවේදී කතාව

රාත්‍රියේ ඇද වැටෙන වර්ෂාව නිමාවන බවක් නම් නොපෙනේ. දිනයක උදාවත් සමඟින් ඔබට මට අප කාහටත් සිදු කළ යුතුව ඇති රාජකාරී කටයුත රාශියකි. කාර්යබහුල ඔහුගේ දිවියෙන් මා ඉල්ලා ගත් කාලය ඔහුට කෙතරම් වටින්නේද? වැස්සක් හේතුවෙන් ඒ කාලය අපතේ දැමිය නොහැකිය. වර්ෂාව එලෙසම පවතිද්දී මම ඔහු හමුවීමට ගියෙමි.

මා යන විටත් ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ අමුත්තන්ගේ ආලින්දයේය.

සෞන්දර්යාත්මක රාත්‍රිය, ‘සුරම්‍ය රාත්‍රිය’ සංගීත වැඩසටහනෙන් ඔබේ ආලින්දයට පැමිණි ඔහු මහේෂ් නිශ්ශංක. ඒ සංගීත වැඩසටහනේ මිහිරිතම වූ රසාස්වාදයක් රැගෙන ඔබ මා හමුවට පැමිණියත් සැබැවින්ම ඔහු තිරයේ පිටුපස යෝධ මෙහෙවරක යෙදෙන්නෙක්.

මහේෂ් ඔබ රූපවාහිනි සංස්ථාව සමඟ සම්බන්ධ වෙන්නේ?

1991 වසරේදී තමයි මම ශ්‍රීී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවයට බැඳුණේ. ලිඛිත සහ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීලා අවසාන වශයෙන් විසි එක් දෙනෙකු තෝරා ගත් කණ්ඩායමට මා ඇතුළත් වුණා. එහිදී පුහුණුවන නිෂ්පාදන සහායකවරයෙක් ලෙස තමයි සේවයට බැඳුණේ. පසුව නිෂ්පාදක, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක ලෙසත් මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සංගීත ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරනවා.

ඔබ නිවේදකයකු ලෙස වරම් ලබන්නේ?

1998 වසරේදී. ඒ කාලෙදි දැන් වගේ රූපවාහිනි නිවේදකයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාව ලෙහෙසියෙන් ලැබුණේ නැහැ. නිරීක්ෂණ මණ්ඩලයක් විසින් එය අනුමත කළොත් පමණයි ඒ වාසනාව ලැබෙන්නේ. එදා මා තෝරා ගැනීමේ නිරීක්ෂණ මණ්ඩලයට ලූෂන් බුලත්සිංහල, ජැක්සන් ඇන්තනි, හේමනලීන් කරුණාරත්න සහ චන්ද්‍රාණි ලියනාරච්චි ඇතුළත් වුණා. මගේ සුදුසුකම් හැකියාවන් අනුව මා රූපවාහිනි නිවේදකයකු ලෙස කටයුතු කිරීමට සුදුසු බව ඔවුන් එදා ගත් තීරණය අනුව මට මෙම වටිනා අවස්ථාව හිමි වුණා. ඒ අනුව සද්ධා මංගල සූරියබණ්ඩාර එවකට නිෂ්පාදනය කළ ආයුබෝවන් වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. මේ අයුරින් නිවේදන කටයුතු සඳහා දායක වුණත් අදටත් මගේ රාජකාරිය වැඩසටහන් අධ්‍යක්ෂණය මිස නිවේදනය නෙවෙයි.

ඔබගේ වැඩිම මනාපය මේ දෙඅංශයෙන් කුමක් සඳහා ද?

තිරය පිටුපසට වඩා ඉදිරිය තමයි රසවත්. ජනතාවට ආමන්ත්‍රණය කරන්න ලැබීම වාසනාවක්. ඇත්තටම එය හරිම සුන්දරයි. මේ සියලු දේ මට ලැබුණේ පෙර කරන ලද පුණ්‍යකර්මයක් නිසා.

මෙරට රූපවාහිනි නාලිකා අතර තිබෙන සංගීත වැඩසටහන් අතුරින් වෙනස්ම ආකාරයකට ඉදිරිපත් කළ සුරම්‍ය රාත්‍රිය ගැනත් කතා කරමු ?

ඒක මගේ ජීවිතේ සුවිශේෂී කඩ ඉමක්. සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහන මගේම සංකල්පයකට අනුව නිර්මාණය වූවක්. එහි වැඩසටහන් 80 ක් පමණ විකාශය කළා. ලංකාවේ සංගීත ශිල්පීන් රැසකගේ දායකත්වය මේ සඳහා ලැබුණා. මෙරට පමණක් නොවෙයි බොහෝ විදෙස් රටවලින් පවා මේ සඳහා යහපත් ප්‍රතිචාර හිමි වුණා. 2008 වසරේදී හොඳම සංගීත වැඩසටහන ලෙස සුමති සම්මානයට පාත්‍ර වන්නටත් සුම්‍ය රාත්‍රියට හැකි වුණා. ඒ වගේම මගේ ජීවිතයේ ස්වර්ණමය කාලය කියලත් කියන්නත් පුළුවන්.

මේ ‘සුරම්‍ය රාත්‍රිය’ තුළ ඔබ සිත ගත් වැඩසටහන ?

ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ සහභාගි වූ වැඩසටහන මා සිත්ගත් අතර ගායන ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී සහභාගි වූ වැඩසටහන සංවේදී එකක් වුණා.

මේ මඟින් රූපවාහිනි සංගීත වැඩසටහන් අතර ඔබ බලාපොරොත්තු වූ වෙනසක් සිදු වුණාද ?

අද කාලේ සංගීත ලෝලීන් අතර දෙපයට සංගීතය ඉල්ලන අය වගේම ඉතා සංවේදී සරළ සංගීතය ප්‍රිය කරන අයත් ඉන්නවා. මෙහි වූ සරළ සංගීත රිද්මයට මේ සියලු දෙනාම ඇබ්බැහි වුණා කියල කියන්න පුළුවන්. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දෙස බැලුවාම විවිධ වයස් මට්ටම්වල පුද්ගලයන් එය නියෝජනය කරනවා. ඒ හැමෝගේම ඉල්ලීම යළිත් වැඩසටහන ආරම්භ කරන්න කියල තියෙන ඉල්ලීමයි. ඒ වගේම මෙම සංගීත සම්ප්‍රදාය මුල් කර ගනිමින් ගායන ශිල්පීන් සංගීත තැටි පවා නිර්මාණය කළා. තවත් සමහර නාලිකා මෙම ආකෘතියට අනුව එයට සමාන වූ සංගීත වැඩසටහන් ඉදිරිපත් කළත් ඒවා නම් සාර්ථක වූ බවක් පෙනුණේ නැහැ.

යළිත් සංගීතයෙන් බැහැරව වෙනත් වැඩසටහන් කෙරෙහි යොමුවෙන්නට අදහසක් නැද්ද ?

ආයුබෝවන් වැඩසටහන නැවත ඉදිරිපත් කරනවා. ඒ අනුව සෑම මාසෙකම දෙවැනි ඉරිදා ආයුබෝවන් වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ හැරුණාම සංගීත ඒකකයේ තමයි කටයුතුª කරන්නේ.

අපි ආයෙ මුලට යමු. මේ හැම දෙයකටම පෙර මුලකුරු කරන්නට පටන්ගත් කාලය ගැනත් සඳහන් කළොත් ?

මම ගොංගිතොට විද්‍යාසාධක කනිෂ්ඨ විද්‍යාලයේ පහ වසර තෙක් අධ්‍යාපනය හදාරල ගුරුකුල මහා විද්‍යාලයෙන් තමයි වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේ. මගේ කලා ජීවිතයට මුලකුරු තැබුවෙත් එහිදීම තමයි. සීලරත්න සෙනරත් මහතා තමයි මගේ ගුරුවරයා වුණේ. එතුමා මගේ දක්ෂතා හඳුනා ගත්තා.

පාසල් කාලෙත් හීන දැක්කේ රූපවාහිනියේ පෙනී සිටින්නද ?

නැහැ. පුංචි කාලේ හීනය වුණේ රූපවාහිනියක් ගන්න එක තමයි. ඇත්තටම ඒත හීනයකට වඩා හීන දාහක්. අපි බොහොම පුංචි මට්ටම්වල පවුල්වල අය. අපිට ලොකුවට සල්ලි තිබුණේ නැහැ. පුංචි කාලේ මම ළඟ ගෙදරකට රූපවාහිනිය බලන්න ගියා. එදා ඒ අය මාව එළියට දාල දොර වැහුවා. ඇත්තටම එහි කම්පනය මගේ හිතේ තිබුණා. අද ඒ ගෙදර තියෙන රූපවාහිනියේ මම ඉන්නවා. ඔවුන් මගේ වැඩසටහන බලල මට ප්‍රතිචාර ලබා දෙනවා. ඇත්තටම ඒක දෛවය නිර්මාණව කළ අපූරු සිදුවීමක්. ලෝකය කැරකෙනවා කියන්නේ ඒකට තමයි.

අලුතෙන් ක්ෂේත්‍රයට එන අයට දෙන උපදේශය ?

සාමාන්‍යයෙන් අපි කතා කරන ආකාරයත් මාධ්‍ය ඔස්සේ ආමන්ත්‍රණය කරන ආකාරයත් වෙන් වෙන්ව හඳුනා ගන්න ඕනෑ. ඔහේ දොඩවන්නේ, කෑගහන්නේ නැතුව අදාළ දේ ගැන හඳුනාගෙන ඒ පිළිබඳ අවබෝධයෙන් මිනිසුන්ට කතා කරන්න පුළුවන් නම් ඔහුට නිවේදකයෙක් ලෙස පැවැත්මක් තියෙනවා. ඒ වගේම හැම මොහොතකම තමා ළඟ ඉන්න කෙනාට වඩා තමා දැනුමෙන් අඩුයි කියල හිතනවා නම් ඒක වැදගත්. ඉවසන්න, සවන් දෙන්න පුළුවන් නම් ඔහුට නිවේදකයෙක් වෙන්න පුළුවන්.

මහේෂ් නිශ්ශංක අනාගතයේදී ?

අනිවාර්යයෙන්ම දේශපාලනයට එනවා. ඒ සමාජයට මීට වඩා යහපතක් විය යුතු නිසා.

මහේෂ් නිශ්ශංක - 0725682886