වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව’ හඳුන්වාදීම විසි වැනිදා පොත් ප්‍රදර්ශන භූමියේ

 ‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව’ හඳුන්වාදීම විසි වැනිදා පොත් ප්‍රදර්ශන භූමියේ

මෙරට විශිෂ්ටතම සිනමාවේදිණිය සහ ගෙරෟවණීය කලාකාරිණියක ලෙස ගෞරවාදරයට පාත්‍ර වන සුමිත්‍රා පීරිස් මහත්මියගේ ජීවිතය සහ සිනමා ජීවිතය විවරණය කරමින් අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව‘ ග්‍රන්ථය හඳුන්වාදීමේ උත්සවය සැප්තැම්බර් 20 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඇති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පැවැත්වේ.

මෙහිදී ස්වර්ණා මල්ලවආරච්චි, දීප්ති කුමාර ගුණරත්න සහ දිනේෂ් ගුණවර්ධන යන දැනවතුන් සුමිත්‍රා නිරූපණය කළ ස්ත්‍රී චරිත, සුමිත්‍රාගේ ස්ත්‍රීවාදය සහ ඇගේ වංශයේ කතාව යන මැයෙන් දෙසුම් පැවැත්වීමට නියමිතය. 1978 සිට දශක හතරක් පුරා සුමිත්‍රා සිනමාවේදිනියගේ සිනමා කෘති පෙළෙහි රඟපෑ නළු නිළියන් ඇතුළු සම්භාවනීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වනු ඇත.

මෙම උළෙල mirrorarts.lk  වෙබ් අඩවිය ඔස්සේ මුලු ලෝකය පුරා සජීවීව විකාශය කෙරෙන අතර ශ්‍රී ලංකාවේ මෙවන් සජීවී අන්තර්ජාල විකාශයක් සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.

මෙම ග්‍රන්ථය පසුගියදා හිල්ටන් රෙසිඩන්ට්ස්හිදී නිල වශයෙන් එළිදක්වන ලදී.

එහිදී සුමිත්‍රා මහත්මිය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද එදින නිකුත් කෙරිණ. එම උළෙල සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරණතුංගගේ කෘතවේදී සංවිධානයකි.

දුර්ලභ ඡායාරූප 175 ක් පමණ ඇතුළත් මෙය පිටු 276 කින් යුක්තය. ප්‍රේම් දිසානායකගේ මුද්‍රණයකි.

ග්‍රන්ථය අජිත්ගේ සිව්වැනි සිනමා විචාර ග්‍රන්ථය වන අතර ඔහු දැනට සමාජ විද්‍යාපති පශ්චාත් උපාධි අපේක්ෂකයකු ලෙස සිනමාව පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතව සිටියි. ඔහු දැනට දැන්වීම් ප්‍රචාරක සමාගමක සිංහල නිර්මාණ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

‘රාස් 3’ හෙට සිට ලිබර්ටි

වික්‍රම් ඛාන් අධ්‍යක්ෂණය කළ රාස් චිත්‍රපට මාලාවේ තෙවැන්න හෙට සිට වැල්ලවත්ත ලිබර්ටි ශාලාවේදී තිරගත වේ.

ෂනායා නම් වූ රංගන ශිල්පිනියක් වටා ගෙතී ඇති කතා ශරීරයකින් යුක්ත වන මෙහි ඉම්රාන් භෂ්මි, බිපාෂා බාසු, ඊෂා ගුප්තා, ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්, ආනන්ද්, සියාන් කාලීඩ් රංගන දායකත්වය සපයති.

මෙය මහේෂ් ඛාන් සහ මුකේෂ් ඛාන් නිෂ්පාදනය කොට ඇත.

අමරසිරි සහ දීපිකාගේ ප්‍රථම ද්විපුද්ගල ප්‍රසංගය

‘යුග්ම සර’ හෙට බිෂොප් විද්‍යාලයේ

හෘදයාන්විත සුප්‍රේමය, ජීවිතය හා සමාජය පිළිබඳව රමණීය ගී වැලක් සමාජගත කළ අමරසිරි පීරිස් හා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ප්‍රථමවරට පවත්වන ‘යුග්ම සර’ ද්වි පුද්ගල ප්‍රසංගය හෙට (14) සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම ජනප්‍රසාදිත ගායන ශිල්පීන් දෙපළ මෙතෙක් ගැයූ සොඳුරුතම ගීීත සමුච්ඡයකින් සමන්විත මෙම සුභාවිත විචිත්‍රවත් ගී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. -යතේජා

ප්‍රේමරත්නගේ සිනමාව ගැන තුසිතගෙන් පොතක්

මැද මාවතෙහි සිනමාකරු ලෙස විරුදාවලිය ලත් එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ සිනමාපටයන් අළලා තරුණ සිනමා විචාරක තුසිත ජයසුන්දර විසින් රචිත ‘එච්. ඩී. ප්‍රේමරත්න’ ‘සමාන්තර සිනමාවේ ශ්‍රී ලාංකේය ලකුණ’ ග්‍රන්ථය නොබෝදා එළි දැක්විණි.

සිකුරුලියා සිට කිනිහිරියා මල් දක්වා ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කොට තිරගත වූ චිත්‍රපට දහසයෙහිම ප්‍රකට අප්‍රකට තොරතුරු මෙන්ම සිනමාවේදියාගේ ප්‍රකාශ රීතීය සහ සමාජ දැක්ම චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙන් වෙන් වශයෙන් මෙහි විශ්ලේෂණය කර තිබීම විශේෂත්වයකි.

මෙම ග්‍රන්ථය කර්තෘ ප්‍රකාශනයකි.