වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු භූමිකාවට සමුදී මාධ්‍ය ජීවිතයට එක්වූ නාරද විජේසූරිය

ගුරු භූමිකාවට සමුදී මාධ්‍ය ජීවිතයට එක්වූ නාරද විජේසූරිය

සිය මව්බිමේ ශිෂ්‍ය - ශිෂ්‍යාවන් අතර ආර්ථික විද්‍යාව හා තර්ක ශාස්ත්‍රය පිළිබඳ ප්‍රසිද්ධ ගුරුවරයෙක් වූ නාරද විජේසූරිය කාලයකට පස්සේ තම මව්බිමට පැමිණ සිටියි.

හේ ප්‍රංශයේ පදිංචිව සිට මව්බිමට පැමිණ ඇත්තේ විවිධ වැඩ කටයුතු රාශියක් සිත් හි දරාගෙනයි. මේ වන විට ගුරු භුමිකාවට සමුදී ඇති නාරද මාධ්‍යවේදියෙක් ලෙස විදේශයෙහි විකාශය වන රූපවාහිනී නාලිකාවක සේවය කරන්නේ සිය දක්ෂතා උරගා බලමිනි. ඊට අමතරව ගී පද රචනාවට පෙම් බැඳි නාරදගේ ගීත කිහිපයක් ද සිටි එෆ්. එම්, ලක් එෆ්. එම්, ලක්හඬ වැනි ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වේ.

මාධ්‍යවේදියකු කියන භූමිකාවට අමතරව මේ දවස්වල ඔබ ගී පද රචකයෙක් ගේ භූමිකාවට ද පිවිස සිටින්නේ?

‘කාලයක පටන් ගීතයට මා බොහොම ආදරය කළා. සමාජයේදී දකින අත්විඳින බොහෝ දේ පිළිබඳ සිතට දැනෙන දේ කොළයක කුරුටු ගාන්නට මා අමතක කළේ නැහැ. ඒ කුරුටු ගෑ බොහෝ දේ ගීතයක් ලෙස එළි දැකිය යුතුයි කියා මා සිතුවා. ඒ අනුව මා ලියූ තෝරා ගත් පද රචනා කිහිපයක් ප්‍රවීණ ගායක – ගායිකාවන් කිහිප දෙනකුට කියා ගයවන්නට හැකි වුණා.

සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, ටී. එම්. ජයරත්න, නිරෝෂා විරාජිනී, දීපිකා ප්‍රියදර්ශනී, ලක්ෂ්මන් හේවාවිතාරණ, ජානක වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල්, දයාන් විතාරණ, නලින් පෙරේරා, සංගීත් වික්‍රමසිංහ, ඩබ්. ඩී. ආරියසිංහ වැනි ගායන ශිල්පීන් කිහිප දෙනෙක් මා ලියූ ගී පද ගැයුවා. ඊට සංගීතය නිර්මාණය කළේ කලනි පෙරේරා, නාලක අංජන, ශාන්ත ජයලත් තිසේරා, ඉන්ද්‍රජිත් මිරිහාන, සංගීත් වික්‍රමසිංහ, කීර්ති පැස්කුවල් ඇතුළු සංගීතඥයන් කිහිප දෙනෙක්.

මේ ගීත එකතුව සංයුක්ත තැටියක් ලෙස දොරට වඩින්නේ කවදාද?

‘මෙම ගීත කිහිපය ප්‍රවීණ ගායක – ගායිකාවන්ට කියා ගැයුවත් කවදා හෝ සංයුක්ත තැටියක් ලෙසින් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්න මා කැමැති නැහැ. වෙළෙඳ පොළෙහි අලෙවිය පිළිබඳ සිතාගෙන නෙමෙයි මා ගීත කිහිපය පටිගත කළේ.

ඔබගේ බොහොමයක් ගීත සඳහා පාදක වූ තේමාවන් වන්නේ ආදරයයි. ගීත සඳහා ආදරය මූලික වීමට විශේෂ හේතුවක් තිබුණද?

‘අද ආදරය කියන්නේ සුලභ සංකල්පයක්. ආදරය කියන සංකල්පය වටහා ගන්නා ආකාරය එකිනෙකාට වෙනස්. එහි ප්‍රතිඵලයක් විදියට සැබෑ ආදරයට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. බොහෝ ගැඹුරින් හා හදවතින් ආදරය කරනා බොහෝ දෙනා වැඩිපුරම දුක් විඳින්නන් බවට පත් වෙලා. ආදරයක් ලැබිමට තරම් සුදුසු නැති ඇතැමෙක් හිතා ගන්නටවත් බැරි තරම් විශාල ආදරයක් භුක්ති විදිනවා. තමන්ගේ ආදරය අනිකාට තේරුම් ගැනීමට නොහැකි වීම නිසා වේදනාවට පීඩාවට පත්වන ප්‍රේමවන්තයා වරෙක කල්පනා කරන්නේ, තම ආදරය ඕනැවටත් වඩා වැඩි බවයි. මෙවන් කාරණා මගේ අවධානයට හසු වුණා. ඒ නිසා ඔවුන් විඳින දේ ඔස්සේ ලැබුණු අත්දැකීම් මගේ අත්දැකීම් බවට පත් වුණේ ඉබේමයි. ඉන් මගේ හදවතට දැනුණ දේ ගී පදවලට පෙරළුණා. ඒ වෙනස්ම තේමාවන් හා උපමා අලංකාර භාවිතයෙන්.’

මාධ්‍යවේදියා කියන භූමිකාවට ඔබ පිවිසෙන්නේ කුමන අයුරින්ද?

‘මා කලක් විදේශගතව සිටිද්දී යම් අභියෝගයක් එල්ල වුණා. ඒ මාධ්‍ය ආයතනයකින්. එහි විකාශය වුණු සිංහල සේවයකින් එල්ල වුණු අභියෝගයට මා බිය නැතුව මුහුණ දුන්නා. ඒ පිළිබඳ පැහැදුණු ඔවුන් දිගින් දිගටම මට ඔවුන් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන්නා. මා එහි වැඩසටහන්වලදී නිවේදනයේ පටන් බොහෝ කටයුතුªවලදී ඔවුන් සමඟ කටයුතුª කළා. දැන් මගේ මාධ්‍යය එයයි.

මේ වන විට ඔබ ලංකාවට පැමිණ සිටින්නේ විශේෂ හේතුවක් මතද?

‘ජාත්‍යන්තරයටම දැක බලා ගත හැකි අයුරින් රූපවාහිනි සේවයක් විදේශයේදී ආරම්භ කිරීමේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා. ජර්මනියේ ආරම්භ කිරීමට යන මේ සේවය ප්‍රංශ, ජර්මන්, ඉතාලි, සිංහල යන භාෂාවන්ගෙන් සමන්විතයි. මෙහි මූලික අදහස වන්නේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය, සාහිත්‍යය, කලාව පිළිබඳ දැනුවත් කිරීමයි. ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයෙහි තිබෙනා වැරැදි මතය වෙනස් කිරීමත් මෙහි තවත් අරමුණක්. ලංකාවේ කිහිප දෙනෙක් සමඟ මේ දවස්වල ඒ පිළිබඳ සාකච්ඡාවකයි සිටින්නේ.

ඔහුට අමතන්න ඔබට අවශ්‍ය නම් 0712953182 යන දුරකතනයට අමතන්න. ඊට අමතරව [email protected] යන ඊමේල් ලිපිනයට පණිවුඩයක් යැවීමෙන් ද ඔබට ඔහු හා සම්බන්ධ විය හැකිය.