වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




 තිනෙ රූ ප්‍රභා 2012

 තිනෙ රූ ප්‍රභා 2012

සපුගස්කන්ද විශාඛා විද්‍යාලය පස්වන වරටත් පවත්වනු ලබන අන්තර් පාඨශාලයීය ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය මෙම මස 20 සහ 21 දෙදින තුළ ජාතික කලා භවන පරිශ්‍රයේදී මහාචාර්ය පැට්ට්‍්‍රක් රත්නායක මහතාගේ සහ සපුගස්කන්ද විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහි සමාරම්භක උළෙල 20 එන දින පෙරවරු 10.00 ට පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සඳහා දිවයිනේ පාසල් ඡායාරූප සංගම් 12 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගත් ඡායාරූප 200 ක් පමණ ඇතුළත් වේ. මෙම ඡායාරූප තරගය දිවයිනේ ප්‍රවීණතම විනිශ්චය මඬුල්ලක් විසින් විනිශ්චය කරනු ලබයි. මේ සඳහා කළු සුදු සහ වර්ණ යන දෙඅංශයෙන්ම ඡායාරූප ඇතුළත් වේ. සටහන - මාලන් කරුණාරත්න

අලුත් පරපුරේ ගී රචකයෙක්

යසස් සෙනරත් වීරකැටිය සිය පියාගේ අඩි පාරේ යමින් පද්‍ය නිර්මාණ කෙරෙහිද ඇල්මෙන් මේ වන විට ගී පද රැසක් එළි දක්වා තිබේ.

දිවයිනේ ප්‍රකට හිටිවන කවියකු වූ දිවංගත සිරිසේන වීරකැටියගේ පුත්‍රයා වන යසස් සෙනරත් වීරකැටිය දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබයි.

පද්‍ය රචනා අංශයෙන් සමස්ත ලංකා මට්ටමෙන් ජයග්‍රහණ ලබා ඇති ඔහු ගීත රචනයට අමතරව කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට ද, ඡායාරූපකරණයට ද පිවිස සිටියි. ‘නුඹ සයුර සේ මැයි’, ‘කඳුළු වැල් පිසදා’, ‘සඳ රටා මවයි’, ‘වැනිසියා මල් සුවඳ’, ‘හුදකලා සිත්තම්’, ‘ඇහි පිල්ලමක් තරම්’, ‘වසන්තය අග පිපුණු මල නුඹ’ යසස්ගේ නිර්මාණ අතරින් කිහිපයකි.

‘නුඹ සයුර සේ මැයි’ සහ ‘නුඹේ සිහින ලොව’ යන ගීත නිර්මාණ දෙක කොළඹ විශ්ව විද්‍යාලයේ උදානි විජේවර්ධනගේ ‘නුඹ සයුර සේ මැයි’ ඒක පුද්ගල සංගීත ප්‍රසංගය තුළින් සමාජගත කිරීමට නියමිතය.