|
|
හිතුවක්කාරයෙකුගේ සමුගැන්මමෙරට ටෙලිවිෂන් කලාවේ නව මං පුළුල් කළ රචකයකු මෙන්ම, ගුවන් විදුලි ඉතිහාසයේ අලුතින් සිතූ මිනිසකු වූ තිලක් ජයරත්න පසුගියදා අභාවප්‍රාප්ත විය. කඩුල්ල, අඳුකොළ, දණ්ඩේ ලූ ගිනි ඇතුළු ඔහු විසින් රචනා කරන ලද ටෙලි නාට්‍ය පිටපත්ම තිලක් පිළිබඳ වර්ණනාවෙන් තොර හඳුන්වා දිය හැකි මැහැඟි නිර්මාණයන්ය. මේ තිලක්ගේ සමීපතම සහෘදයකු විසින් ලියන ලද ඔහු පිළිබඳ මතක සටහනකි.
‘අභ්‍යාස ආයතනයෙන් රේඩියෝ නාට්ටියක් කරනවා. ඒකෙ සමන්ටත් චරිතයක් තියෙනවා. හෙට හවස දෙකට ඒකට එන්න ඕනෑ’ සුගත් අයියා ගුවන් විදුලියේදී කීය. ඔය කියන එක්දහස් නවසිය හැත්තෑවේ දවසේ ඉස්කෝලේ ඇරුණු සැණින් මම ගුවන් විදුලියට ආමි. අපේ ඉස්කෝලේ සිට ගුවන් විදුලියට විනාඩි 10 ක පමණ පා ගමනකි. මා මෙන්ම ඉස්කෝල ඇඳුමෙන්ම සැරසුණු පොඩි නංගියෙක් ද, ඇගේ අම්මා ද තවත් කීප දෙනෙක් ද එහි සිටියහ. අපි සේරම අභ්‍යාස ආයතනය වෙත ගියෙමු. ඒ කාලයේ අභ්‍යාස ආයතනය තිබුණේ ගුවන් විදුලිය ඉස්සරහ ඇති පාරේ ගෙදරකය. තුනේ පංතියේ ඉගෙනුම ලබන ඒ නංගී ඉක්මනින්ම මා සමඟ යාළු විය. ‘දන්නවද ඔයා . . . අද මගේ මේස් දෙකම ඉරිලා හිල් හිල් හැදුණා’ කියා ඇය සපත්තු ගලවා මේස් දෙකේ හිල් මෝස්තර මට පෙන්වූවාය. ඇගේ අම්මා මෙය දැක නංගිට බැන්නාය. අම්මාගේ නම සෝමලතා සුබසිංහ බවත්, නංගී කෞශල්‍යා ප්‍රනාන්දු බවත් ටික වේලාවකින් මම දැනගතිමි. නාට්‍යයෙහි ප්‍රධාන චරිත දෙක නිරූපණයට තිබුණේ මටත් නංගිටත්ය. ඩග්ලස් රණසිංහ, බන්දුල විතානගේ සහ නංගිගේ අම්මා අනෙක් චරිත නිරූපණය කළහ. අපට නාට්‍යය පුරුදු කළේ තිලක් ජයරත්න නැමැත්තෙකි. ඔහු එවක ගුවන් විදුලියේ ක්‍රියාකාරී සහකාරවරයකු ලෙස සේවය කරමින් සිටියේය. තිලක් සමඟ මගේ මුල්ම නිර්මාණ අත්දැකීම ඒ නාට්‍යයයි. ‘තාත්තා ලෙඩින් අපි නුවර යනවා’ නම් වූ ඒ නාට්‍යය තිලක් ලියා නිෂ්පාදනය කළ මුල්ම ගුවන් විදුලි නාටකය ද වෙයි. ඉන් පසුව තිලක් ඇසුරු කරන්නට ලැබෙන්නේ ඔහු අපේ කට්ටිය වෙනුවෙන් නිෂ්පාදනය කළ ‘රතැසි උවදුර’ වේදිකා නාට්‍යයත් සමඟය. ගුවන් විදුලියේ අලුතින් හිතන, වෙනස් දෙයක් ගැන කතා කරන, විවේචන ඔස්සේ නිවැරැදි වීමට උත්සාහ දරන කල්ලියක් හෙමි හෙමින් බිහිවෙමින් තිබූ අවදියකි ඒ. වැඩසටහන් සඳහා සහභාගී වීමට ඉස්කෝලේ ඇරුණු සැණින් ගුවන් විදුලියට එන අපි ද ඇදී ගියේ ඒ කල්ලිය වෙතය. වසර ගණනාවක් තිස්සේ මේ කල්ලිය තුළ සිදු වුණු කතාබහ තුළින් දැන උගත් දෑ ක්‍රියාවට නංවන්නට අපට හැකි වූයේ ගුවන් විදුලියේ නිෂ්පාදන කාර්යයන් සඳහා ඉඩ හසර ලැබුණු අවස්ථාවේ පටන්ය. ගුවන් විදුලියේ ක්‍රීඩා අංශයේ නිෂ්පාදකයකු ලෙස වෙනස් වැඩක් කරන්නට මා උත්සාහ ගත් අවස්ථාවේ පිටපත් රචකයකු ලෙස තිලක් ලබා දුන් දායකත්වය අති මහත්ය. තිලක් අධ්‍යාපන සේවය හරහා හරඹ පාද්දී මම ද ඔහුට මදි නොකියන්නට සහාය දුනිමි. නව අධ්‍යාපන සේවා වැඩසටහන් ඔස්සේ ලත් උත්තේජනය ඔස්සේ පාසල් නිවාඩු කාලයේ විශේෂ අධ්‍යාපන විකාශයක් සැලසුම් කරන්නට තිලක් මූලිකත්වය ගත්තේය. ගුවන් විදුලියේ එවක පැවති බොහෝ සම්මත ආකෘති පුපුරුවා හරිමින් සැකසුණු විශේෂ අධ්‍යාපන සේවා විකාශය අසන්නන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය විණි. වැඩසටහන් අතරතුර මැදිරියේ සිට කෙරෙන සජීවී නිවේදන කාර්යයන් ද නිර්මාණාත්මක හා සංවාදාත්මක ලෙස ඉදිරිපත් කිරිමේ වගකීම පැවරී තිබුණේ මටය. එක් වරුවක නිවේදන පිටපත සැකසීම සඳහා තිලකුත් මමත් වරු ගණනක් වෙහෙසුණෙමු. තවත් බොහෝ නිර්මාණවේදීහුද මේ කාර්යයේදී තිලක්ට සහාය ලබා දුන්හ. ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ දිනකට ගෝනි ගණනක් ලිපි හා තැපැල්පත් ප්‍රතිචාර වශයෙන් ලැබීමයි. රූපවාහිනියේ ආගමනයේ උණුසුම මැද්දේ ද උසස් ගණයේ වැඩසටහන් පෙළ ගැස්මක් ඔස්සේ එවැනි ශ්‍රාවක ප්‍රතිචාරයක් ලබන්නට ගුවන් විදුලියට හැකි බව තිලක් ඔප්පු කර පෙන් වූයේය.
තිලක් සමඟ වැඩක් කරද්දී ඔහු පරිපූර්ණත්වයම බලාපොරොත්තු වෙයි. මේ නිසා ජපන් ත්‍යාග වැඩසටහන සංස්කරණයේදී මතු වූ මත ගැටුම් හා ඇති වූ උණුසුම් සංවාද ඉවරයක් නැත. ‘උඹලා ඕන මඟුලක් කර ගනිල්ලා’ කියමින් බැන වදිමින් තිලක් සංස්කරණ මැදිරියෙන් පිටව ගිය අවස්ථාවක් ද තිබිණි. වැඩසටහන සංස්කරණය කළ කුලරුවන් කුසුම්තිලකගේ ඉවසීමේ හැකියාව කිසිදු සංස්කරණයකට බඳුන් වී නොතිබුණ නිසා අවුලක් වූයේ නැත. ලෝකයේ රටවල් ගණනාවක් පරදවමින් තිලක් ගේ වැඩසටහනට ‘ජපන් ත්‍යාගය’ ලැබුණු අවස්ථාවේද තිලක් ගුවන් විදුලි බලධාරීන් සමඟ හැප්පුණේය. ඔහු ඉල්ලා සිටියේ ඒ සඳහා ලැබුණු මුදල් ත්‍යාගය තමන්ට පමණක් නොදී වැඩසටහනට සම්බන්ධ වූවන් සියලු දෙනා අතරම බෙදා දෙන ලෙසය. එය එසේ වුණා ද, නැත්නම් තිලක්ටත් නො ලැබුණා ද යන්න ගැන නිශ්චිත මතකයක් මට නැත. මේ කාලයේදීම තිලක් රූපවාහිනි මාලා නාටක පිටපතක් ලියුවේය. ඊට නමක් දමා තිබුණේ නැත. මුල් පිටපත දුටු සැණින් මමත්, ඩබ්ලිව්. ජයසිරිත් කීවේ කෙසේ හෝ අර්ථපතියකු සොයා ගෙන මේ නාට්‍යය රූගත කළ යුතු බවය. අර්ථපතියකු සොයා ගැනීමෙන් පසුව තිලක්ගේ පිටපතෙහි තිර නාටකය සැකසීම අප කාගේත් අදහස විණි. නමුත් ජයසිරි හැම විටම කීවේ ‘සල්ලිකාරයො හොයන්න කලින් අපි තිර නාටකය ලියමු’ කියාය. තිලක්, ජයසිරි සමඟ එක් වී තිර නාටකය ලියන්නට පටන් ගත්තේ ජයසිරිගේ බලහත්කාරකමට වගේය. තිර නාටකය ලිවීමෙන් පසුව ද මේ සඳහා අර්ථපතියකු සොයා ගැනීම දුෂ්කර විය. තිලක් උකටලී විය. ‘මීට පස්සෙ නං මං මේ වගේ කාලය කන නිරර්ථක වැඩ කරන්නේ නෑ’ යැයි කීවේ. කාලය කා දැමීමේ වැඩකට තමන්ව පෙලඹවීම ගැන ජයසිරිට දොස් කීවේය. දැඩි වෙහෙසකර ව්‍යායාමයකින් පසු, බිහි කළ කෘතියක් ෆයිල් කවරයක් අස්සකට සිර කරන සමාජ පරිසරයක සංවේදී කලාකරුවකුට එවැනි සිතිවිල්ලක් ඇති වීම අරුමයක් නොවේ. දිනක් මම තරුණ සේවා සභාවේ සභාපති චරිත රත්වත්තේ මහතා සමඟ තිලක්ගේ පිටපත ගැන කීවෙමි. ශ්‍රීී ලාංකේය ටෙලිවිෂන් කලාවට නව මානයක් එක්කිරීමේ හැකියාව ප්‍රදර්ශිත මෙවැනි නිර්මාණකරුවකුගේ පිටපතක් එළි දැක්වීමට නොහැකි වීම ඛේදවාචකයක් බවද පැවසීමි. රත්වත්තේ මහතා මගෙන් පිටපත ඉල්ලා ගත්තේය. එය කියවා ආශ්වාදයට පත් වූ ඔහු, ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘතියක් ලෙස එකී පිටපත නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අනුමැතිය එවක තරුණ සේවා ඇමති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ලබා ගත්තේය. මේ නාටකයේ ප්‍රධාන චරිතය නිරූපණය සඳහා අප තෝරා ගත්තේ ජෝ අබේවික්‍රමයන්ය. නාටකයේ පූර්ව නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතිද්දී පවා ඊට නමක් යොදා තිබුණේ නැත. බොහෝ නම් යෝජනා වුව ද, තිලක්ටත්, ජයසිරිටත්, මටත් සෑහීමකට පත් වන්නට පුළුවන් ඒවා නොවීය. එක් දිනක අඳුරු රාත්‍රියක අපි ලයනල් වෙන්ඩ්ට් රඟහලේ මධු ශාලාවේ කතා බහක යෙදී සිටියෙමු. නිමිත්ත වූයේ නාටකයේ ප්‍රධාන කාන්තා චරිතය වූ ‘සුචිත්‍රානි’ චරිතය නිරූපණය සඳහා සුදුසු ශිල්පිනියක සොයා ගැනීමේ ප්‍රිතියයි. මාස ගණනක වෙහෙසීමකින් හෙම්බත්ව සිටියදී, මේ තරුණිය අපට හඳුන්වා දුන්නේ අකාලයේ වියෝ වූ රිචඩ් ද සොයිසා විසිනි. ඇය අරුණි දේවරාජාය. අද අරුණි විදේශ සේවයේ පරිණත නිලධාරිනියකි. අරුණිගේ සොයා ගැනීම තිලක්ට කෙතරම් සිතට අල්ලලා ගියාද කීවොත් ඔහු රූගත කිරීම් අවසන් වනතුරුම අරුණිට කතා කළේ ‘සුචිත්‍රානි’ කියාය. සුචිත්‍රානි ප්‍රීතිය භුක්ති විඳින්නට එදා ජෝ අබේවික්‍රමයන්ද අප සමඟ සිටියේය. හිටි අඩියේ ජෝ මහත්තයා නැගිට්ටේය. වට පිට බැලුවේය. වීදුරුව උඩට ඔසවා මධු වඩිය උගුරට හළා ගත්තේය. උගුර පෑදුවේය. ‘හිහ්, නමක්ආවා’ හීන් හඬින් පැවසුවේය. අපි සද්ද නැතුව බලා සිටියෙමු. මදකින් යළි අසුනේ හරිබරි ගැහුණු ජෝ මහත්තයා, වීදුරුව පුරවා ගෙන තොල් උල් කොට, ඒ මත අතැඟිලි දෙකක් නටවා මොහොතක් ගල් ගැසී සිට ‘අඳුකොළ’ කියා කීවේය. එදා තිලක්ගේ සතුට දෙගුණ තෙගුණ වූ දවසකි. ‘අද නම් මූට හොඳට නින්ද යනවා’ ජයසිරි තිලක්ට ඔච්චම්පාමින් කීවේය. තිලක් පසුව ලියූ රූපවාහිනී මාලා නාටකයන් අතරින් ‘කඩුල්ල’ විශිෂ්ටතම නිර්මාණය බවට අවිවාදිතය. ‘කඩුල්ල’ මුලින්ම නිර්මාණය වන්නේ ගුවන් විදුලි නාටකයක් ලෙසය. එය දීර්ඝ කාලයක් තිස්සේ තිලක් විසින් සිදු කරන ලද සමාජ පර්යේෂණ ක්‍රියාවලියකින් එක් රැස් කරගත් දත්ත හා සාධක පදනම් කර ගත්තකි. අඳුකොළ නිර්මාණයේදී ද යම්කිසි ප්‍රාථමික මට්ටමක සමාජ පර්යේෂණ කාරියක තිලක් නිරත වුව ද, එවැන්නක් විධිමත් ලෙස සිදු කිරීමේ නිදහස් අවකාශය තිලක්ට පෑදුණේ ‘කඩුල්ල’ සමඟය. ඔහුගේ සෙසු නිර්මාණයන් ද මෙවැනි පර්යේෂණ ගණනාවක් පසුබිම් කරගෙන නිර්මිත ඒවාය. ‘දණ්ඩේ ලූ ගිනි’ නිර්මාණය සඳහා තිලක් සිදු කළ යම් යම් පර්යේෂණ කාරියනට එක්වීමට මට ද අවස්ථාව ලැබුණු බැවින්, ඒ ව්‍යායාමයේදී විඳින්නට සිදුවන අසීරුතා හා අභියෝගයන් ගැන මම හොඳීන්ම දනිමි. තිලක් ඒ සියල්ල ඉවසූයේ අති මහත් තෘප්තියකිනි. එහෙත් සාමාන්‍ය සමාජයට තිලක් පෙනුණේ නාහෙට අහන්නේ නැති, මුරණ්ඩු හිතුවක්කාරයකු ලෙසිනි. ඔහු කතාබහේදී නිර්දය ලෙස කියන්නට ඇති දෑ නොසඟවා පවසයි. ඒ ඔහු සත්‍ය යැයි අවබෝධ කරගත් දර්ශනය පදනම් කර ගනිමිනි. කියන විදිය සැර වැඩි නිසා සමහර අවස්ථාවල පපුව හරහා අනින පිහිතුඩක වේදනාව දනවයි. නමුත් තිලක් සමඟ දීර්ඝ ඇසුරක් තිබූ හෙයින් අපිට ඒවා ගාණක් වුණේ නැත. මේ නිසාම තිලක් ලවා නාටක පිටපතක් ලියා ගැනීමට බොහෝ අය ඉදිරිපත් වූයේ නැත. තිලක් හමු වී එසේ ඉල්ලා සිටියොත් නැති අමනාපයක් හෝ ප්‍රශ්නයක් හෝ මතු විය හැකි යැයි සැකයෙකි.
එහෙත් ඉවසාගෙන ඉන්නට බැරිම මදයක් ඇති සමහරු මේ වැඩේ සඳහා කපුකම කරන මෙන් මගෙන් ඉල්ලා සිටි අවස්ථා ද විය. සුදත් මහදිවුල්වැව ඉන් කෙනෙකි. මම කපුකම කළෙමි. ‘දණ්ඩේ ලූ ගිනි’, ‘වනස්පති’ ඒ කපුකමෙහි ප්‍රතිඵලය. මුල්ම වතාවට තිලක් හා දිවුලා අතර හමුව සංවිධානය කෙරුණේ කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයීය ශාලාවේදීය. දිවුලාට එහෙම තැන් එච්චර හුරු පුරුදු නැත ද බෑ නොකියා ආවේ එතැන සිදු කෙරෙන වැඩේ බරපතල නිසාය. දිවුලා සෝඩා බොද්දී තිලකුත් මමත් සෝඩාවලට යමක් කවලම් කරගෙන බීවෙමු. දීර්ඝ සාකච්ඡාවක් අවසානයේ තිලක්ට සමුදීමෙන් පසු දිවුලා මගේ අත අල්ලාගෙන කියූ දේ මට අද වගේ මතකය. ‘සමනා ( දිවුලා මට කතා කරන්නේ එහෙමය) ලොක්කා මහ නපුරෙක් වගේ පිටට පෙනුණට හරිම සුන්දර මිනිහෙක්නේ.’ ඇත්තෙන්ම තිලක් සුන්දර මිනිසෙකි. තිලක්ගේ ඒ සුන්දරත්වය දැන හඳුනා ගත්තෝ ඔහු සමඟ අවසන් මොහොත දක්වාම හැකි ශක්ති ප්‍රමාණයෙන් සම්බන්ධතා පැවැත්වූහ. මිය යන්නට දින තුන හතරකට පෙරදී ඔහු දුරකථනයෙන් මට කතා කළේ වෛද්‍යවරයෙක් හමුවීමට වේලාවක් ලබා ගැනිමක් සම්බන්ධයෙනි. එතැනදි මතු වූ ගැටලුවක් ගැන තිලක් මේ කොණේ සිටි මටත්, ගෙදර කොණක සිටි අයිරින්ටත් හොඳටම බැන්නේය. බැනුම් වැස්සෙන් ගැළවුණේ අයිරින්ට දුරකථනය ලබා දෙන ලෙස ඉල්ලා, ඇය සමඟ කතාකොට වැඩේ තේරුම් බේරුම් කර ගැනීමෙනි. මා මේ බව සඳහන් කරන්නේ අවසන් මොහොත දක්වාම තිලක්ගේ හිතුවක්කාර මුරණ්ඩුකම තරුණ කාලයේදී වගේම එක ලෙස පැවතුණ බව පෙන්වා දෙන්නටය.ඒ වුණත් මේ මුරණ්ඩු හිතුවක්කාරයා අපට හරිම සුන්දර මිනිසෙකි.
|



එක්දහස් නවසිය හැත්තෑවේ දවසක්. මම ඉස්කෝලෙ හතේ පංතියේ. ඒ කාලේ ගුවන් විදුලි රඟමඬලේ
ළමා චරිතයක් තිබුණොත් ඒක රඟපාන්න බාර වෙන්නෙ මට. සුගත් අයියට (සුගතපාල ද සිල්වා)
හිටපු හොඳම ළමා ශිල්පියා මම.
අසූ නවය භීෂණය හමුවේ ගුවන් විදුලියේ රස්සාව කරන අය ඝාතනයට ලක් වෙද්දී ද තිලක් පසු
බැස්සේ නැත. ජපන් ත්‍යාගය වැඩසටහන සඳහා අවිධිමත් අධ්‍යාපනික වැඩසටහනක් නිෂ්පාදනය
කොට ජපානය වෙත යැවීමේ වගකීම පැවරී තිබුණේ තිලක්ටය. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,
ප්‍රේමසිරි කේමදාස, මාලිනී බුලත්සිංහල ආදීන්ගේ සම්පත් දායකත්වයෙන් තිලක් වැඩසටහන
සැලසුම් කළේය. නිවේදන කටයුතු බාර වුණේ මටය. වැඩසටහන පටිගත කිරීමෙන් පසුව දින ගණනක්
පුරා නිදි නැතිව, රෑ එළිවනතුරා වැඩසටහනෙහි සංස්කරණ කටයුතු කළෙමු. දින ගණනාවක් පුරා
එහෙම වෙහෙසීම අමාරු වැඩකි. ඒ කාලයේ ගුවන් විදුලිියට තදබල ආරක්ෂාවක් යොදා තිබුණ ද, ඒ
සියල්ල මැද්දේ මුරකාවල් බාරව සිටි විශේෂ කාර්ය බලකායේ සොයුරු ප්‍රියන්ත අපේ වෙහෙස
නිවාලන කටයුතු සඳහා පහසුකම් සැලසීය.