වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මල් ලෝකේ සරලා ගුමු නාදේ දීලා - බඔරා ගියා සේ පෙම් ගී ගයාලා

මල් ලෝකේ සරලා ගුමු නාදේ දීලා - බඔරා ගියා සේ පෙම් ගී ගයාලා

පසුගිය සතියේ දවසක මෙරට දැන්වීම් කේෂත්‍රයේ පරිගණක ග්‍රැෆික් නිර්මාණ පිළිබඳ නම ගිය ගැටවරයන් කිහිප දෙනෙකු සමග මම සැන්දෑවරුවක් ගත කරමින් උන්නෙමි.ඔවුහු සියල්ලම මට වඩා වයසින් අවුරුදු විස්සකින් පමන බාලය. මේ අය අතර වැඩිමහල්ලා ජෝතිපාලයන් මිය යන විට දෑ අවුරුදු සිඟිත් තෙකි.

තව ඉලන්දාරියෙක් ජෝතිපාල ඇතුළු කලාකරුවන් රැසක් සමීපව ඇසුරු කළ පවුලක සාමාජිකයෙකි.එහෙත් ඔහු ද ජීවත් වූ ජෝති දැක තිබුණේ නැත.ඔවුන්ගේ වීරයන් හෝ පරමාදර්ශි චරිත බවට පත්ව ඇත්තේ මා හෝ මගේ සමකාලිනයන්ගේ වීරයෝ නොවෙති.මා විශ්වාස කරන්නේ කලින් පරම්පරාවලට වඩා ඇට්ටකුණා නොවූ එමෙන්ම ලෝකයේ වඩා නිර්මාණශීලි වන මේ ගැටවරයන් අපට වඩා හොඳීන් අලුත් නිර්මාණ රස විඳීන බවකි .

ඔවුන්ගේ හෝ අපේ කලාවේ මානයන් ඉඳුරාම වෙනස්ය.අපට වඩා ඔවුන් කලාව සම්බන්ධව අවංකය.එහෙත් යාවත්කාලීන වන්නට කැමැති මට මේ ඇසුර මනරම්ය.ඔවුන් සමග මතවාදි ගැටුම් තිබුන ද මා අලුත් යමක් දැන ගන්නේ ඔවුන් ගේ ඇසුර සමගය.ලෝකයේ බොහෝ නිර්මාණ පිළිබඳ කතා බහේ යෙදුණ අපගේ මාතෘකාවකට එච්.ආර්.ජෝතිපාලයන් යොමුවුනේ අහම්බයක් හැටියටය.

"මාර ෆීලිං වොයිස් එකක් " එකෙක් කියා සිටියේය.

"එහෙම වොයිස් එකක් තවමත් අපට නැහැ."

අනෙකෙකු ද කියා සිටියේය.දීර්ඝ කතා බහක් සාරාංශ ගත කර ගත්තොත් එළෙසය.මේ පිරිස ජෝතිපාලයන් ගී ගැයූ චිත්‍රපට නැරඹුවෝ නොවෙති.ඔවුන් ජෝති ගේ හඬ ඔස්සේ ගී වලට රඟ පෑ නළුවන් බහුතරයකගේ චිත්‍රපට දැක නැත.එමෙන්ම එසේ රඟ පෑ බොහෝ නළුවන් ඔවුනට වීරයන් ද නොවෙති. එහෙත් ඔවුන් ජෝති ට කැමැති ඇයි?

''ජෝතිපාල ගේ සිංදු අපේ එවුන් කිව්වත් ඒ ඔර්ජිනල් එකට ගහන්න බෑ"

ඔවුන් අපේ එවුන් යැයි කිව්වේ ජෝතිපාලයන් ගේ ගී අලුතෙන් ගැයූ ගායකයන්ටය. ඒ බහුතරය ඔවුන් හොඳීන් දන්නා ඇත්තන්ය.මෙයින් එකෙකු මියුසික් වීඩියෝ නිර්මාණයේ කෙළ පැමිණි යන්ය.

එසේ නම් ජෝතිපාල හඬ සිනමා තිර හඬක් පමනක් ද? 1908 වසරේ දී මුල් වරට ගැයුණ දන්නෝ බුදුන් ගේ ගීතයේ මුල් ගායකයා කවුරුන්දැයි එක එල්ලේ විමසූ කළ එකවර පිළිතුර දිය හැක්කේ කාටද එය හියුබට් රාජපක්ෂ නම් ගායකයා විසින් ගයන ලද්දේයැයි සිහිපත් කරන කිසිවකු නැත.

එහෙත් මේ ගීතය තවමත් අප විසින් වෙනත් ගායකයන්ගේ හඬින් රස විඳීනු ලබන්නෙමු.එය ගැයූ මුල් ගායකයා කවුරුන්දැයි විමසුමක් නැත.එහෙත් විසි පස් වසරක් ගෙවන කළ ජෝතිපාලයන්ගේ හඬ ශ්‍රවණය කළ තරුණයන් එම හඬින් තවමත් වසඟ ව ඇත්තේය.මේ බහුතරයට ජෝතිපාලයන් රස විඳීන්නට ලැබෙනුයේ එකල මෙන් සංගීතය පරයා නැගෙන ජෝතිපාල හඬ නොවේ.බහුතරය ඇත්තේ නව ඉලෙක්ට්‍රොනික සංගීතය මගින් පාලනයෙන් තොරව ජෝති ගේ හඬ මුසු කළ අවස්ථාවන් ය.එයින් ජෝතිපාලයන් ගේ ප්‍රතාපවත් හඬ නොමරා මරනු ලබන්නේය.

අග්නි දිග ආසියානු කලාපයේ චිත්‍රපට මාධ්‍යයයේ දී ගීතය යනු රූපය අභිනය මෙන්ම වැදගත් ප්‍රකාශන මාධයයකි.ශෘංගාරය ද විරහව ද ආදි මිනිස් හැඟීම් වඩා හොදින් ප්‍රේක්ෂකයාට ග්‍රහණය කිරීමේ ලා ගිතය වඩා පහසු හා ජනප්‍රිය දෙයකැයි සිනමාකරුවන්ගේ මතයයි.

චිත්‍රපටයක ගීත සංඛ්‍යාව වැඩිවීම එකල නම් මහත් ආනන්දයට හේතු විය. දෛවයෝගය වැනි චිත්‍රපටයක රුක්මණී දේවි විසින් ගයන මියුරු ගී එම චිත්‍රපටයේ ඇයට රංගනයේ හැකියාවන් පළ කළ හැකි විශිෂ්ට අවස්ථාවන් අහුරාලූයේය. ජෝතිපාලයන් ගේ හඬ සිනමාවේ දී නළුවන්ට අනුප්‍රාණයක් ව නැගී සිටි අවස්ථා එමටය.එය විටෙක ප්‍රේමවන්තයාටය.විටෙක දුෂ්ඨයාටය.කොයි කාට වුවත් ජෝතිපාලයන් නැගී සිටියේ ය.

සිනමාවට ගීතය එළැඹෙනුයේ හොලිවුඩ් සංගීතමය චිත්‍රපට නිසාවෙන්යැයි ඇතැම් විද්වතුන් පැවසුව ද මුල්ම හින්දි කතානාද චිත්‍රපටය වූ අලම් අරා චිත්‍රපටයට ගීත 32 ක් ඇතුළත් ව තිබිණ. ඉන්දියානු සිනමාව ගීත උපයෝගී කොට ගත්තේ හොලිවුඩ් සංගීතමය චිත්‍රපට ආභාෂයෙන් නොව පැරැණි සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායේ ම දිගුවක් හැටියටය.

ඉන්දියානු සිනමාවේ නිතර දකින සම්ප්‍රදායන් සියල්ල එම සංස්කෘත නාට්‍ය වල එන ගති ලක්ෂණ ප්‍රකට කරයි.මේ නිසාම මුල් යුගයේ ඉන්දීය කතානාද චිත්‍රපට වල රඟ පෑ නළු නිළියන් සියල්ලම පාහේ රංගනයට වඩා ගායනයේ නිපුන වූහ.චිත්‍රපට ගී සඳ හා පසුබිම් ගායක ගායිකාවන් අවතීර්ණය වූයේ ටික කලකට පසුවය.

කෙසේ වෙතත් ලෝක සිනමාවේ කල් පැන ගිය ඉපැදුන දරුවකු වූ අපේ සිනමා?වේ ආරම්භක චිත්‍රපටයේ ගී ගායනය යෙදුනේ එහි රඟ පෑ නළු නිළියන් ම ය.මෙරට මුල් වරට චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහි ලා වෙනම ගායක ගායිකාවන් අවතීරණය වනුයේ දෙවැනි චිත්‍රපටය වූ අශෝකමාලා සමගය.කෙසේ වෙතත් මෙරට චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහි ලා මුලින් ම සැලකිය යුතු තිර ගායකයා මොහිදින් බෙග් ය.ඔහු මුල් දශකයේ ආරම්භයේ වැඩිම චිත්‍රපට ගනනාවකට විවිධ මාදිලියේ ගී ගැයුවේය.

අනතුරුව එම ස්ථානයට පැමිනෙනුනේ ධර්මදාස වල්පොල ය.ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගී ගායනයට අවතීරණය වනුයේ මුල්ම කතානාද චිත්‍රපටය තිර ගත වී හරියටම දශකයක් පිරෙන්නට ඔන්න මෙන්න තිබිය දීය.ඔහුට එම අවස්ථාව ලැබෙනුයේ සෙස්සන්ට සාපේක්ෂව පහසුවෙන් නොවේ.එය ඉතා කැපවීමක ප්‍රතිඑලයකි.

චිත්‍රපට පසුබිම් ගී ගායනයෙහි මතු නොව ගීත ගායනය සඳහා ඔහු බෙහෙවින් උත්සාහයක නියැලි වග ජෝති ගේ විවිධ විස්තර සොයා යද්දී පෙනී යයි.ඒ සඳහා ඔහු අප්‍රමාණ කැපවීම් කළේය.ඔහු ගායනයට අවතීරණය වනුයේ වසන්තා සන්දනායක ගයන මහවැලි නදියේ ගීතයේ තොටියෝ යන පදය ගැයීමෙනි.

චිත්‍රපට පසුබිම් ගී ගායනයට ඔහු ට ලැබෙන අවස්ථා කිහිපයක් ම අනපේක්ෂිත අයුරින් ගිලිහී යයි.?සිරිසේන විමලවීරයන් ගේ පොඩි පුතා චිත්‍රපටයට ඔහු විසින් ගයන ලද ගීතය එළියට එන්නේ වෙනත් ගායකයකු ගේ හඬිනි. ජෝතිපාල පමනක් නොව විමලවීරයන් පසු කලක සිනමාවේ පතාක යෝධයන් තිදෙනෙකු ම තමන් සමීපයට පැමිණිය ද හඳුනා ගන්නට අපොහොසත් වෙයි.ඒ ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම සහ ජෝතිපාලයන් ය.මේ තිදෙනාම පසු කලක අපේ සිනමාවේ සිය මුද්‍රාව තැබීමෙහි සමතුන් වෙයි.

ගායකයන් අතර සිනමාවේ දී එච්.ආර්.ජෝතිපාල සිය මුල්ම සලකුණ තබනුයේ සුරතලී චිත්‍රපටයෙනි.ඒ ආනන්ද ජයරත්න වෙනුවෙන් සිය හඬ මුසු කරමිනි.එය ආනන්ද ගේ ද මුල් චිත්‍රපටය විය.ඒ වන විට අපේ චිත්‍රපට කේෂත්‍රයට අවතීරණය ව සිටි සියළු නඵවන් බොහොමයකට වඩා වෙනස් පෞරුෂයක් ආනන් ද සතු විය.ඔහු ගැලපුනේ සමකාලින දෙමළ ඌරුව රැගත් නළුවන් බහුතරයට නොව ඉංග්‍රීසි නළුවකු ගේ පෙනුමටය.

ඔහුගේ රංගනය ප්‍රකට කළේ එම ගති ලක්ෂනයයි. ජෝතිපාල ගේ හඬ ආනන්දගේ රුවට කදිම පෑහීමක් විය.සිරිය මෙ සාරා ගීතය ගයමින් වැඩි දැඟලීමකින් තොරව කඳු ගැටයක් නැග එන ආනන්ද ගේ හැසිරීම බොහෝ සමකාලින සිංහල චිත්‍රපට වල දර්ශන මාලාවන්ට වඩා වෙනස් වූයේය.සුරතලී චිත්‍රපටය අද පවා නරඹන්නෙකුට එහි පෙම්වතා වූ රවීන්ද්‍ර රූපසේන වෙනුවෙන් ජෝතිපාලයන් යෙදුවා නම් හෝ ආනන්ද ගේ හඬ වෙනුවට එහි ජනප්‍රිය ගී රැසක් ගායනා කළ ධර්මදාස වල්පොල යොදා ගත්තා නම් විය හැකි අලකලංචිය සිතා ගත හැක්කේය.කෙසේ වෙතත් එයින් ඇරඹි ජෝතිපාලයන්ගේ සිනමා ගී සැරිය ඔහු මිය ගොස් විසි පස් වසරක් ගත වන විටත් තවමත් චිත්‍රපට සඳහා උපයෝගී කොට ගැනේ.

තවමත් අලෙවි වාර්තා තබන ගී තැටි අතර වෙයි.ගායකයක් රුසක් ජෝති ගේ ගීත අලුතෙන් ගායනා කරමින් පෙන්වන්නේ ද එච්.ආර්.ජෝතිපාල සතු වූ ඉල්ලුමයි. ලෝක සිනමාවේ කොතැනක හෝ මේ වාර්තාව තබන්නට සමත් වු කිසිවකු නැති වග මම විශ්වාස කරමි.ඉන්දියානු කලාපයේ චිත්‍රපට පසුබිම් ගී ගායනය සඳහා එක් එක් නළුවන්ට කදිමට ගැලපෙන හඬ සහිත ගායකයන් සිටියහ.

මේ ගී ගායකයන් විසින් ගයන ලද්දේ ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන පරිද්දෙනි.ජෝතිපාල ගේ ගී අද චිත්‍රපට සඳහා භාවිතයට ගනුයේ ජනප්‍රිය මෙවලමක් හැටියට වුවත් ඒ හඬ අදාල නළුවන් සියල්ලට ම පෑහෙන වගක් පෙනී යයි.

මෙහි පුදුමය නම් පසුකලක චිත්‍රපට සඳහා උපයෝගී කොට ගත් ඇතැම් ගීත එදා ජෝති ගායනා කරන ලද්දේ චිත්‍රපට සඳහා නොව සරල ගී හෝ වෙනත් වෙළඳ තැටි සඳහා වීමය.කෙසේ වෙතත් ජෝතිපාලයන් කලකට ඉහත වෙළඳ තැටියකට ගැයූ අඬන්නේ ඇයි සුදු මැණිකේ ගීතය ශ්‍රවණය කරන්නෙකුට ඔහු එම ගීතය ගයන හඬ පරාසය හා හැඟුම්බර බව විඳීන්නට හැකිවෙයි.ඔහු ඒ ගීතය ගයන්නේ සැබෑ විරහවක් සිත්හි මවා ගෙන බැව් අපට පසක් වෙයි.ජෝති මිය යන විට චිත්‍රපට ලෝකයට අවතීරණය නොවූ නළුවන් ට ද ඒ හඬ පෑහීම පුදුමයට නොවන්නේ එබැවිනි.

මේ ලිපිය ආරම්භයේ දී තරුණ කැල විසින් ජෝතිපාලයන් අගය කිරීමේ හේතුව එයම බැව් මම සිතමි.එමෙන්ම ජෝතිපාල ජීවත් ව සිටි සමයේම ඔහුගේ චර්යා රටාවන් අලුත් තාලයේ කතා මැවීමට සමත් විය.ඔහුගේ විවිධ සම්බන්ධතා ද නොමසුරු බව ද විටෙක හැම විටම ජීවමාන පුරාවෘතාන්තයක් විය.ඒවා බහුතරය හිතළු හෝ අතිශයෝක්ති හෝ නොවීය.ඔහු නිතර මිනිසුන් අතර සිටි මිනිසකු නිසාම ඔහු කෙරෙහි මැවූ බොහෝ කතා කෙසේ වෙතත් ප්‍රබන්ධ නොවන බව පෙනී යයි.

එහෙත් ජෝතිපාලයන් බඳු කලාකරුවන් ජීවත්ව සිටි සමයේ එතරම් පැසසුමට ලක් නොවෙති.ජනප්‍රියත්වය කෙසේ වෙතත් බොහෝ දෙනා තම ජනප්‍රිය ම ගායකයා ජෝතිපාලයැයි කීම විලාසිතාවක් කොට ගත්තේ ඔහු මිය ගිය පසුවය.එහෙත් ජීවත් ව සිටි සමයේ ඔහු වටා විශාල රසික සම්පතක් විය.

මේ වරප්‍රසාදය සම්බන්ධයෙන් ලොව එබඳු එකම පුද්ගලයා ජෝතිපාලයන් පමනක් ම නොවේ.මෙරට ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විද්වත් මතවාද නැගී එමින් ඒ පිළිබඳ මහා කතිකාවක් ඇති කිරීමට සමත් වූ බිඳ වැටුණු සංස්කෘතික බලකණුව මැයෙන් ආචාර්ය සරත් අමුණුගම විසින් විචිත්‍ර පුවත්පත ට ලිපියක් ලියන්නට ඉඩ ලබා ගත්තේ ද ජෝතිපාලයන් මිය ගිය පසුය.

ජෝතිපාලයන් ගේ අවමගුල සදහා රැස් වූ අධික ජනගහණය මෙරට ඇතැම් විද්වතුන්ගේ ඉස් මොල පුපුරුවන්නට සමත් විය.ජීවත් ව සිටි සමයේ ජෝතිපාලයන් පිළිබඳ ආචාර්ය අමුණුගම හෝ වෙනත් මැදිහත් විචාරකයකු එබඳු කතිකාවක් ඇරඹී නම් එය මෙරට කලාවන් පිළිබඳ අතිශය තීරණාත්මක වන්නට ඉඩ තිබිණ.

කෙසේ වෙතත් ජෝතිපාලයන් ගේ මරණය සම්බන්ධව ආචාර්ය සරත් අමුණුගම විසින් ගොඩ නගන ලද කතිකාව ජීවත් ව සිටි ජෝතිපාලයන්ට වඩා මිය ගිය ජෝතිපාල පිළිබඳ විදග්ධ පරපුරේ කතිකාවට හේතු වූයේය.එපමනක් නොව ඒ වන විට ඇට්ටකුණා වෙමින් තිබුණ මෙරට විචාර කලාවේ හැව ඇරවීමට ද එය සමත් විය.

එච්.ආර්.ජෝතිපාලයන් නළුවකු නිෂ්පාදක වරයෙකු හැටියට ද සිනමාවට සම්බන්ධ ව සිටියේය.සුමිතුරෝ ඔහු නිපද වූ එකම චිත්‍රපටයයි.නළුවකු ලෙස ඔහු ට රඟන්නට ලැබුණ අවස්ථා අතරින් තරමක් හෝ කතා කළ හැක්කේ තණ ගිරවි චිත්‍රපටයේ ඔහුට ලැබුණ අවස්ථාව පමණකි.ඔහුගේ නිෂ්පාදනයේත් තණ ගිරවි චිත්‍රපටයේ ත් අධ්‍යක්ෂවරයා රෝයි ද සිල්වා වීම විශේෂයකි.

එච්.ආර්.ජෝතිපලයන් කිහිප වරක් මා දැක තිබුනත් ඔහු මට මුණ ගැසුනේ එක් වතාවක් පමණී.එය ඔහු අවසන් වරට චිත්‍රපටයකට පසුබිම් ගී ගැයූ අවස්ථාවයි.එවකට ප්‍රෙම් දිසානායකයන් ගේ කතෘත්වයෙන් පළ වූ විචිත්‍ර පුවත්පතට විශේෂාංග ලේඛකයෙකු ලෙස දායක ව සිටි මම සිනමාවට ඇති ආසාව නිසාම ප්‍රේම් අය්යාගෙන් චිත්‍රපටයක ගී පටිගත කිරීමක් ආවරණය කරන්නට අවස්ථාවක් ඉල්ලා ගතිමි.එහි නිෂ්පාදක වූයේ අනුර අබේසේකර හා ජනප්‍රිය විකට නිළියක වූ පර්ල් වාසුදේවිය යි.

එහි නිෂ්පාදනය බාරව සිටියේ සුදර්ශන නමැති අප පාසලේ ම මගේ සමකාලින ව ඉගෙනුම ලැබූ සිසුවෙකි.ඔහු සිනමාවට සම්බන්ධ වනුයේ මට මතක හැටියට අනුරගේ නෑයකු වූ නිසාය.දින වකවානු හරියට කියනවා නම් එය 1987 වසරේ ජූලි පළමුවැනිදා හෝ දෙවැනි දා විතර විය යුතුය.නිෂ්පාදන කණ්ඩායම මා ද කැටුව මාලිගාවත්තේ ජෝති නිවහනට ගියේය.අනතුරුව එච්.ආර්.ජෝතිපාලයන් ද ලතා වල්පොල ද කැටුව නාරාහේන්පිට කිරුළ පාරේ ලංකා චිත්‍රාගාර ගොඩනැගිල්ලේ තිබූ ටරීටා ශබ්දාගාරයට පැමිණියහ.

ඒ අතරවාරයේ මරදානේ පොලීසිය අසල එකල තිබුණ විජයරත්න ෆාමසියෙන් ජෝති ට වැල්මිලික්ස් බෝතලය ක් ගත්තේ පොඩ්ඩක් උගුර සවුත්තු ව තිබෙන බව පැවසූ නිසාය.මුල් වරට මට මහත් ප්‍රසිද්ධ පුද්ගලයන් සමග ගමන් කරන්නට ලැබීමේ ආඩම්බරය මට ලැබුණේ ජෝතිපාලයන් වට කරගන්නට මරදානේ රැස් වූ ජනී ජනයා නිසාය.එහි ඇති විශේෂත්වය නම් මරදානට ජෝතිපාලයන් අමුත්තෙකු නොවීමත් සමග ය. කෙසේ හෝ වේවා ටරීටා ශබ්දාගාරයේ දී මර්වින් බේන්ස් ගේ ශබ්ද පරිපාලනයට ගීය ගැයිණ. ගීතය සංගීතවත් කළේ සෝමපාල රත්නායකය.චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ දිනේෂ් ප්‍රියසාද් ය. සහාය අධ්‍යක්ෂ වූයේ නිශාන්ත පුදීප් ය.

ඒ වන විට සිනමාවේ නමක් දිනා සිටි ඔවුන්ගේ කෙළි කවට සිනා මුල් වරට ශබ්දාගාරයකට ගොස් සිටි මට අරුමයක් විය. ඔව්නගේ හැසිරීම් ද විලාසය ද මාධ්‍ය මගින් පුම්බන චරිත වලට වඩා සමීප බවක් උසුලන්නේයැයි මට සිතිණ.මගේ මතකය හරි නම් අමිත් වල්පොල ද එදින ගීයක් ගැයුවේය.මාතලන් වැනි චිත්‍රපට වල ගී රචනා කරන ලද පැරණි ගීත රචකයකු වන බෙනඩික්ට් ප්‍රනාන්දු දිගු කලකට පසු ලියන ලද ගීයක් ජෝති සහ ලතා වල්පොල විසින් චිත්‍රපටයට ගයනු ලැබීය.

අදත් මගේ මතකයේ ඇති මේ ගීතය ඇරඹුනේ රමනීය කමනීය අපෙ ආදරේ යනුවෙනි.නළඟන චිත්‍රපටයට රුක්මනී දේවි සහ මොහිදින් බෙග් ගයන ලද පරම රමණී අපේ ආලේ ගීතය ද එදින ජෝති සහ ලතා ගයන ලද්දේ අලුත් චිත්‍රපටයටය.

චිත්‍රපටයේ නම ද අහංකාර ස්ත්‍රී චිතපටයේ එන ලෝකය පෙරළෙයි ගීතයේ එන පදයකින් උපුටා ගත්තකි.එනම් සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වේ ඒ නමයි.නමේ පරිදිම බොහෝ දේ සිදු විය. එදින ගී පටිගත කරද්දී ජෝතිපාලයන් කියා සිටියේ ඒ දවස්වල කතරගම පැවැති ගම් උදාව ප්‍රසංගයට පසු දින යන බවය. ගම් උදාවට ගිය ජෝති අවසන් වරට එහි වේදිකාවේ දී පෘතුගීසි කාරයා ගීය ගයා වේදිකාවෙන් බැස යළි කොළඔ පැමිණ දින දෙකකින් සදහටම වෙන්ව ගියේය.

ටරීටා ශබ්දාගාරයේ දී පටිගත කෙරුනේ බෙනඩික්ට් මාස්ටර් අවසන් වරටත් මුල් වරටත් ජෝතිපාලයන් වෙනුවෙන් ලියැවුණ එකම ගීතය විය. බෙනඩික්ට් මාස්ටර් ද තව ටික දිනකින් මිය ගියේය.චිත්‍රපටයේ සම නිෂ්පාදිකාව පර්ල් වාසුදේවි අනතුරුව මිය ගියාය. ප්‍රධාන චරිතයට තෝරා ගෙන සිටි විජය කුමාරතුංගයන් ඝාතනය කෙරිණ.අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් චිත්‍රපටයෙන් ඉවත් විය.

නිෂ්පාදක අනුර ගේ ජීවිතයට ද තර්ජන රැසක් එල්ල වී තිබුනෙන් ඔහු ජීවිතය බේරා ගන්නට ටික කලකට රට හැර ගියේය. පසුකලක අනුර ගේ නිෂ්පාදනයෙන් යුතුව පද්මසිරි කොඩිකාර එම කතාවම සුපිරි බලවතා නමින් චිත්‍රපටයට නැගුවේය. සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ නමින් ඇරඹුන චිත්‍රපටයේ ඉරණම එය විය.