වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මිතුරු දම් පෙරටු කොට රවී නෙළුම් පොකුණට

මිතුරු දම් පෙරටු කොට රවී නෙළුම් පොකුණට

රවීන්ද්‍ර රන්දෙණියගෙන් වාර්තාවක්

ජෝතිමත් ගායක එච්. ආර්. ජෝතිපාලයන් මියගිය 1987 වසරේ සිට ඔහු සමරමින් කලා ලංකා පදනම සංවිධානය කරන උපහාර ගී ප්‍රසංගය මෙවර ‘නෙළුම් පොකුණ’ රඟහලේ පැවැත්වෙන්නේ 25 වැනි වරටයි.

මෙතෙක් කලක් ‘සිරියාමේ සාරා’ නමින් පැවැත් වූ මේ ගී ප්‍රසංගය මෙවර නම් කොට තිබෙන්නේ ‘ජෝති රාත්‍රිය’ යනුවෙන්. ජෝති වෙනුවෙන් තමන්ට හැකි අයුරින් ඔහුගේ ගීතයක් ගයා උපහාර දක්වන්නට කලා ලොවේ සෑහෙන පිරිසක් එකට එකතු වෙනවා.

ප්‍රවීණ, නවක, ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන්, මාධ්‍යවේදීන් මේ විසි පස් වසර පුරා ජෝතිට උපහාර පුදන්න ජූලි 07 වැනිදා වේදිකාවට නැග්ගේ සැබෑම ගෞරවයකින් හා උනන්දුවකින්.

අපේ විශිෂ්ටතම රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය මේ විසි පස් වසර පුරාම ජෝතිගේ ගීතයක් ඒ උපහාර ප්‍රසංගයට ගැයුවා. ඒ විරල භාග්‍ය උදා වූ එකම කලාකරුවා රවීන්ද්‍ර පමණක්ම වෙන්නට ඇති. රවී සහ ජෝති සිනමාවේ ප්‍රබලයන් දෙදෙනෙක්.

ජීවත්ව සිටි කාලයේ රවීත්, ජෝතිත් අතර තිබුණේ පුදුමාකාර සෙනෙහසක්, ලබැඳියාවක්. කෙතරම් කාර්යබහුලත්වයක් තිබුණත් රවී තම ළෙන්ගතු මිතුරා ජෝති ගුණ සමරන්නට සෑම ජූලි 07 වැනිදාවකම ටවර් එහෙම නැතිනම් එල්ෆින්ස්ටන් රඟහලට ගොඩ වැදුණා.

මෙවරත් ඔහු වෙනදා වගේම ජෝති වෙනුවෙන් ගීතවත් වෙනවා. ඒ නෙළුම් පොකුණ රඟහලේදී.

මිය ගිය සහෝදර කලා ශිල්පියකු වෙනුවෙන් මේ තරම් දිගු කලක් උපහාර පුදන්නට තවත් කලාකරුවෙකු ඉදිරිපත් වීම උතුම් මිනිස් ගුණාංගයක්.

මෙවැනි දෙයක් සිදු වූයේ අපේ රටේ පමණක් වෙන්නටත් බැරි නැහැ. එහෙම බැලුවොත් ගිනස් වාර්තාවක්. කොහොම වුණත් ගායන ලොව දිග් විජය කළ ජෝතිපාලයන් හට රංගන ලොවේ විශිෂ්ටයකු වූ රවී මෙලෙස සිය හෘදයාංගම ළෙන්ගතුකම පුද කිරීම කලා ලොවේ සැමටම පූර්වාදර්ශයක්.

ජෝති රාත්‍රිය ජූලි 07 දා නෙළුම් පොකුණේදී

අපි මේ ප්‍රසංගය ඉහළින්ම පවත්වනවා

සමන් අබේගුණරත්න – උපසේන සුබසිංහ

ජනකාන්ත ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් වාර්ෂිකව කලා ලංකා පදනම සංවිධානය කරන ජෝති ගී ප්‍රසංගය මෙවර ‘ජෝති රාත්‍රිය’ නමින් ජූලි 07 සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

කලා ලංකා පදනමේ වත්මන් සභාපති මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ උපදෙස් පරිදි මෙම ගී ප්‍රසංගයේ සංවිධාන කටයුතු සිදු කරනු ලබන්නේ එම පදනමේ ලේකම්, කොළඹ නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්න සහ රංගන ශිල්පී උපසේන සුබසිංහ (පාල) දෙපළ විසිනි. මේ දෙදෙනාම ජෝතිගේ රසිකයන් වීම නිසා මෙවර ප්‍රසංගය සාර්ථක කර ගැනීමට ඔවුන් මේ වන විටත් ඉතාමත් කැපවීමෙන් කටයුතු කරනා බව ‘සරසවිය’ට දැනගන්නට ලැබුණි. ජෝති ගී ප්‍රසංගය පිළිබඳ අප හා කෙටි කතා බහකට අප ඔවුනට ඇරියුම් කළෙමු. ඒ පිළිබඳ මුලින්ම අපට අදහස් දැක්වූයේ සමන් අබේගුණරත්නය.

මගේ ප්‍රියතම ගායන ශිල්පියා එච්. ආර්. ජෝතිපාල. ඒ වගේම මගේ ප්‍රියතම නළුවා ගාමිණී ෆොන්සේකා. කොළඹ නාගරික මන්ත්‍රීවරයකු විදිහට එතුමාගේ පිළිරුවක් මම ඉදි කළා මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා නම් ගී සක්විති තමයි ජෝතිපාල. එතුමන් සමඟ මට ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ජෝති රාත්‍රිය 175 වැනි ප්‍රසංගය සංවිධානය කළේ මම. ඒ ප්‍රසංගය පැවැත්වුණේ මරදාන ටවර් රඟහලේදී. අතුරු සිදුරු නැතිව ජෝති රසිකයන්ගෙන් ශාලාව පිරී ගියා. සමහරු එළියේ ඉඳගෙන කලබල පවා කළා. එදා මට වැටහුණා ජෝති කියන්නේ මොන තරම් ජනතාවගේ ආදරය දිනූ ගායකයෙක් ද කියලා.

මෙවර ‘නෙළුම් පොකුණ’ රඟහලේ පැවැත්වෙන ‘ජෝති රාත්‍රිය’ උපහාර ප්‍රසංගය සංවිධානය කරන්නේත් ඔබ?

ඔව්. වෙලාවකට හිතෙනවා ඒක දෛවයේ සරදමක් ද කියලත්. කොහොම වුණත් ජෝති වෙන්වෙලා වසර විසි පහක් සපිරෙන මේ මොහොතේ ඔහුගේ උපහාර ගී ප්‍රසංගය සංවිධානය කරන්න ලැබීම මගේ භාග්‍යයක් කොට මා සලකනවා. මම හිතන්නේ මේක ලෝක වාර්තාවක්. මිය ගිහින් වසර විසි පහක් ගතවෙලත් ජෝති තමයි ලංකාවේ ජනප්‍රියම ගායකයා.

‘නෙළුම් පොකුණට’ ජෝති ප්‍රසංගය ගෙන ඒම විශාල අභියෝගයක් වෙන්නට ඇති?

ඔව්. අපි ලොකු මුදලක් වැය කරලා තමයි මේ ප්‍රසංගයට ‘නෙළුම් පොකුණ’ රඟහල ලබා ගත්තේ. ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යතුමන්ගේ උපදෙස් පිට මගේ මිත්‍ර කෝපි කඩේ පාල සහ කුමාර් ද සිල්වා සොයුරාගේ සංවිධාන ශක්තියෙන් තමයි මේ ප්‍රසංගය කරන්නේ. ලක්හඬ ගුවන් විදුලිය සහ ස්වාධීන රූපවාහිනිය මේ සුවිශේෂී ගී ප්‍රසංගයේදී අපත් සමඟ අත්වැල් බැඳ ගන්නවා. ඇත්තටම මේක දැවැන්ත ප්‍රසංගයක්. ප්‍රවීණ සහ නව පරපුරේ නළු, නිළියන්, ගායක, ගායිකාවන් එදාට මේ ප්‍රසංගයේ ගී ගයනවා. අපි හිතනවා වෙනදාටත් වඩා උත්කර්ෂවත්ව මෙවර ප්‍රසංගය පවත්වන්නට හැකියාව ලැබෙයි කියලා. කලා ලංකා පදනමේ හිටපු සභාපති ටී. එම්. සංඝදාස මහතාත් මේ වේලාවේ සිහිපත් කරන්නට ඕනෑ. ඔහු අද අප අතර නැතත් කලා ලංකා පදනමේ මෙහෙවර ඉදිරියට ගෙන යන්න කැප වී ක්‍රියා කරනවා.

උපසේන සුබසිංහ අපත් සමඟ ‘ජෝති රාත්‍රිය’ පිළිබඳ තම අදහස් ප්‍රකාශ කළේ ප්‍රසංගයේ සංවිධාන කටයුතු අතරතුරදීය.

ආරම්භයේ පටන් අප සෑම වසරකම ජූලි 07 වැනිදාට ජෝතිපාලයන් වෙනුවෙන් මේ ගී ප්‍රසංගය පැවැත්වූවේ ‘සිරියාමේ සාරා’ නමින්. මෙවර එය ‘ජෝති රාත්‍රිය’ කියා නම් කළා. නොයෙක් බාධක, හිරිහැර, කම්කටොළු මැද තමයි අපි මේ කාර්යය මෙතෙක් කල් කරගෙන ආවේ. නමුත් මර්වින් සිල්වා අමාත්‍යතුමන් කලා ලංකා පදනමේ සභාපති ධූරයට පත් වුණාට පසුව එතුමන්ගේ ශක්තිය, ධෛර්ය අපට ලැබුණා.

ඔබ ජෝති රසිකයෙක් වගේම ඔහුගේ ගීත ගයන ශිල්පියෙක් . . .?

ඇත්තටම මම ජෝති අයියට තිබුණ ආදරේ නිසාමයි මේ කටයුත්තට සම්බන්ධ වුණේ. මම මාලිගාවත්තේ ජෝති අයියා ඉන්න කාලේ ඔහු ඇසුරු කර තිබෙනවා. ජෝතිපාල කියන්නේ ජනප්‍රිය ගායකයෙක් විතරක් නෙවේ, හිත හොඳ මනුෂ්‍යයෙක්. මම හිතන්නේ ඒ නිහතමානි ගුණය නිසා තමයි ජෝති නාමය මේ තරම් ජනතාවට සමීප වුණේ.

ගායන ශිල්පියකු විදිහට ඔබ ජෝතිව මේ තරම් ප්‍රිය කරන්නට හේතුව?

ජෝතිපාලගේ ගායන හැකියාව විශ්මිතයි. ඒ වගේම තමයි ඔහුගේ හඬ. ඒක පපුවට දැනෙන හඬක්. ජෝතිපාල කියන්නේ කාටවත් අයිති කෙනෙක් නෙවෙයි. ඔහු ජාතික වස්තුවක්. එක එක්කෙනා ඔහු අයිති කර ගන්න හැදුවාට පලක් නෑ. ජෝති සිංදු කිව්වේ මේ රටේ මිනිසුන්ට. ඔහු ජීවත් වුණේ රසික ජනතාව වෙනුවෙන්.

අද බොහෝ දෙනෙකු ජෝතිගේ ගී ගයනවා?

කාටත් අයිතියක් තියෙනවා ජෝතිගේ ගීත ගායනා කරන්න. හැබැයි ඒවා අවලස්සන කරන්න, විකෘති කරන්න කාටවත් අයිතියක් නෑ. ජෝතිපාල සිංදු කියලා තියෙන්නේ ආයේ කාටවත් හිස්තැන් පුරවන්න, අලංකාර යොදන්න නෙවෙයි. ඔහු හරියටම ඒවා ගායලා තියෙනවා. මේ වෙලාවේ මම ඉල්ලා සිටින්නේ ජෝති ගී විකෘති කරන්න එපා කියලයි. ඒක පාපයක්.