වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




Feedback

මෙම මස හත් වැනිදාට යෙදෙන අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් සිහිගන්වමින් පාඨකයන් කිහිප දෙනෙකු ප්‍රතිචාර තීරයට එවූ අදහස් බිඳකි මේ.

 

ජෝති අමරණීයයි

ජෝතිපාලගේ ගැඹුරු ලයාන්විත රත්තරං කට හඬ එදා අපේ දෙසවන් සැනසූ අයුරු ජීවිතය තිබෙන තුරා අමතක වෙන්නේ නැහැ.

ඔහු ගැයූ චිත්‍රපට ගීත එදා වගේම අප අදත් ඒ අයුරින්ම රස විඳිනවා.

ගීතයකින් ලැබිය යුතු උසස්ම උපරිම වින්දනය ඔබේ ගීතවලින් අප ලැබුවා.

සෝමා එච්. පතිරණ

කහවත්ත.

තවමත් ජනප්‍රියයි

අදටත් ලංකාවේ ජනප්‍රිය ගායකයා ජෝතිපාලයි. ඔහුගේ මධුර හඬින් ගැයූ ගී පදවැල් අදටත් රසික සිත් සතන් තුළ අමරණීයව පවතියි.

මාතලේ - ධර්මා ඒකනායක

මෙම මස හත් වැනිදාට යෙදෙන අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලයන් සිහිගන්වමින් පාඨකයන් කිහිප දෙනෙකු ප්‍රතිචාර තීරයට එවූ අදහස් බිඳකි මේ.

ඔබ මිය ගියේ නැත . . .

අඩු තාක්ෂණ මට්ටමක් තිබුණු යුගයක සිංගප්පූරුවෙහි රූපවාහිනී නාලිකාවක සජීවීව ගී ගැයූ, ඒ වගේම එම රටෙහි සංගීත ප්‍රසංගයක් පැවැත් වූ ප්‍රථම ගායකයා අපේ ජෝතිපාල බව බොහෝදෙනා නොදන්නා කරුණකි. ඒ වගේම කොතරම් ජනප්‍රිය පුද්ගලයකු වුවත් ඉතා සරල මිනිසකුª බව ඔහුගේ ගතිගුණ පිළිබඳ දන්නා අයට අමුතුවෙන් පැවසිය යුතුª නොවේ.

ඔහු වරෙක අප නිවස ආසන්නයේ මුහුදු වෙරළට පැමිණ අප හා විනෝද වූයේ තමා ජනප්‍රිය අයකු බව අමතක කරමිනි. ඔහු ගැන කතා කරනවා නම් දවසක් මදිය. පිටු ගණන් ලිවිය හැකිය. ඔහු මිය ගියේ නැත. අද ද ජෝති අප අතරය.
 

ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත, වත්තල

ජෝති යනු පහන් ටැඹකි.

ඔබ මිය ගියද ඒ පහන් ටැඹෙහි ආලෝකය තවමත් අප අතර පවතියි. ජෝති සැබවින්ම අමරණීයයි.
 

කොලොන්නාවේ විජයසිරි

සෙනෙහසේ කොවුලාණෙනි .

එච්. ආර්. ජෝතිපාල ගායකයාණෙනි
ඔබේ ගී හඬ සදා අමරණීයයි
සෙනෙහසේ සුන්දරත්වය
මෙන්ම විරහවද
ඔබේ ළයාන්විත මධුර ගී
හඬින්
සිය දහස්වර ගැයුණේය
දෙසවනට නොව හදවතට
ගී ගැයූ කෝකිලයාණෙනි
ඔබ නැවත අප අතර
ඉපදේවා . . .
මියුරු හඬින් අප හදවතට
ආදර ගී ගයන්නට
යළි සසරේ ඔබ මුණ ගැසේවා
 

දේශබන්දු

අනුෂ්‍යා බෙම්මුල්ල

තවම ඔබ සිහි වේ . . .

ජෝතිපාලයන්ගේ ගීත රස විඳින විට අපව වෙනමම මානයකට රැගෙන යන්නේ නිරායාසයෙනි. ඒ ප්‍රතාපවත් හඬ දෙසවනට වැටෙන විට කොතරම් සුන්දර ද යන වග වචනයෙන් විස්තර කිරීමට අපහසුය. ඔබ අපෙන් වෙන් වී විසිපස් වසරක් සපිරෙන මේ මොහොතේ ඔබව අප සිහිපත් කරන්නේ හද පිරි බැතියෙනි.

මංජුල පෙරේරා

කමල් ප්‍රියන්ත ජයසිංහ

කපිල ජයවිලාල් හේරත්

නවලෝක රොහාන්

හර්ෂනාථ බණ්ඩාර ඇතුළු පිරිස

හදවත රත්තරං ජෝති

ශ්‍රී ලංකාවේ අදටත් ප්‍රථම ස්ථානයෙන් වැජඹෙන ජනප්‍රියම ගීත කෝකිලයා හදවත රත්තරං ජෝතිය. ඔබ අපෙන් වෙන් වී වසර 25 ක් ගෙවෙන මේ මොහොතේ ඔබ අප අතරම සැරිසරන බව හැඟේ. ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානව හිතවාදී, සංවේදී උතුම් මහත්මයෙකි. සුන්දර කලාකරුවෙකි. මහ පොළොවේ පය තබා ජීවත් වූවෙකි. සහෝදර ශිල්පීන්ගේ දියුණුව දැක සතුටු වූවෙකි. කෝටි ගණනක් මුදල් ඉපයුවත්, මිය යන විට බැංකු පොතෙහි තිබුණේ සුළු මුදලකි.

ජෝතිමත් වූ ගී රාවය ලාංකික ධරණි තලයේ සදාකල්ම රැව් පිළිරැව් දෙන්නේය. ඒ මියගිය ජෝති ජීවත් වූ ජෝතිට වඩා බලවත් හෙයිනි.

ඉහළ තල්දූවේ - ආනන්ද වික්‍රමආරච්චි

**

එච්. ආර්. ජෝතිපාල නම් ප්‍රතාපවත් ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියාණන් සහෘද රසික ජනතාවගෙන් සමුගෙන විසිපස් වසරකි.

50 දශකයේ සිට මේ දක්වා දශක හයක් අඛණ්ඩව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යන් තුළින් ජෝති ගීත රැව් දෙන්නේය. සිංහල සිනමාවේ වැඩිම නළුවන් පිරිසකට ගීත ගැයීමේ දුර්ලභ වාසනාව ජෝතිපාලයන් හට උදා විය.

චිත්‍රපට කීපයකම රඟපාමින් නළුවෙකු ලෙස ද 80 දශකයේ තිරගත වූ ‘සුමිතුරෝ’ චිත්‍රපටයේ රඟපාමින් නිෂ්පාදනය කළේ එකල සිනමා කර්මාන්තය කඩා වැටී තිබූ අවධියකය.

ඔහුගේ ‘ජෝති රාත්‍රිය’ මෙන්ම එතෙර මෙතෙර පැවැත් වූ ගීත ප්‍රසංග බෙහෙවින් ජනප්‍රිය වූවා මෙන්ම අතිශය සාර්ථක විය. ගීත ලෝලී රසික රසිකාවියන් ඒ තුළින් හඬවන්නටත්, සනසන්නටත් ඔහු සමත් විය. ජෝති දශක තුනක් පුරා ගැයූ සුමියුරු ගීත තවමත් ඇසේ. මියගිය ජෝති ජීවත් කරවීමේ සැබෑ අරුත ඇත්තේ එතැනය. ජෝතිපාලයන් දෙස් විදෙස් ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කිරීම අරභයා කැසට්වලට හා ප්‍රසංග වේදිකාවේ ගීත ගයමින් කාර්ය බහුලත්වයට නතු වුව ද ඔහු සතු රුව, හඬ, ගුණ හා මිනිසත් බව උපරිම තලයේ පිහිටන ලදී.

එහෙයිනි, රටක් නැළ වූ, රටක් හැඬ වූ ගීත කෝකිලයාණනි, ඔබ එදා මෙන්ම අදත්, අද මෙන්ම හෙටත් අමරණීය ජෝති හෙවත් හදවත රත්තරන් ජෝතිපාල වනුයේය.

රන්මුතුගල - සරත් ලියනගේ

ජනප්‍රසාදය දිනාගත් ඔහු

ගොඩක් අය ජනප්‍රියයි. නමුත් ජනප්‍රසාදය දින ගෙන නැත. ජන ප්‍රසාදය දිනාගත් ලංකාවේ එකම උත්තරිතර ගායකයා එච්. ආර්. ජෝතිපාලයි. ගැයූ වසර තිහ තුªªළ අපව සනහාලීමට ඔහු අවම වශයෙන් ගීත 12000 කට වැඩි ප්‍රමාණයක් ගයන්නට ඇත.

මිය යන විටත් චිත්‍රපට 270 කට අධික ප්‍රමාණයක ගීත ගැයූ ඔහු ගීත ක්ෂේත්‍රයට දුන් ආලෝකය, ප්‍රභාව තවමත් අප විඳින්නෙමු.

ලංකාවේ පමණක් නොව විදේශීය ජනතාව අතරේ ද ඔහු සුපිරිම ගායකයා බව නොරහසකි.

ජෝතිපාලයන්ගේ වැඩිම කැසට්

ප්‍රමාණයක් නිපද වූ ජයනන්ද ස්ටෝර්ස් අධිපති ජයනන්ද

ජෝතිව පරයන්නට අන් කිසිවකුත් නැතේ

සුමියුරු ගීත පොකුරක් ජන හදට පුදා
ජෝතිය දැල්වුණා ගී ලොව අඹරේ එදා
අහිමිව ගියත් ඔබෙ රුව හඬ අපට සදා
ගී ලොව මළ ගෙයකි සුමිතුර ඔබ නැතිදා

ගැයුමෙන් පෑව දස්කම් දෙසවනට වැටේ
රසිකයෝ තවම වැලපෙති ගී සෑය වටේ
විරහා ගීත ගැයු ආදර කඳුළු කැටේ
ජෝතිගෙ මියුරු ගීයට පුද පිණිස වැටේ

මිනිසෙකු මරණයත් සමඟින් මතක නැතේ
නමුත් ජෝති නාමය අප හදේ ඇතේ
යුගෙන් බැඳී ජීවමානව හිඳිතේ
ජෝතිව පරයන්නට අන් කිසිවකුත් නැතේ

එස්. ඒ. නිමල් සරත් පෙරේරා

කැලණිය

ඔබ එනතුරු බලා හිඳිමු

හද විමන් දොරින් ඇවිත්, සොඳුරු ලොවෙහි පියමං කරමින් ගී සමන් මල් පියළි අතුරා දිනූ ලංකාවේ ආදර සත්ස්වරයේ ටජ්මහලක් ඉදි කළ ඔබ සසරෙන් නික්ම ගියත් පාළු සුසානයට වී නීල දෑස රිදෙන තුරු සුසුදු රැලි බිඳී නවතින තුරු අපි ඔබ එනකම් බලා හිඳිමු.

ලක්මාලි - වරකාපොළ

තව වසර සීයක් ගියත් . . .

ජෝති අදටත් ජනප්‍රියයි. එයට හේතු සාධකය වන්නේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් රූපවාහිනී සජීවී ප්‍රසංගවලදී ඔහුගේ ගීතයක් දෙකක් අදටත් ගයන නිසා.තව වසර සියයක් ගියත් ඔහු තමා ලංකාවේ ජනප්‍රියම සුපර් ස්ටාර්.

පී. දුමින්ද - මාලිගාවත්ත

ආශ්චර්යකි

වසරක් පාසා ලංකාවේ සමරන එකම ගායකයා ජෝතිපාලයි. ජීවමාන ජෝතිපාලගේ සහ අජීවමාන ජෝතිපාලගේ එකම ආශ්චර්ය එයයි.

ඒ. ජී. සරත් - මහල් නිවාස මාලිගාවත්ත